ඇතැමකුගේ මතයට අනුව ඉන්ධන මාෆියාවක් මෙරට තුළ පවතී. ඉන්ධන ප්‍රවාහනකරුවන්, පිරවුම්හල් හිමියන් හා ඇතැම් නිලධාරින් ද සම්බන්ධ වී මාෆියාව ගොඩනගා ගෙන ඇති බවක් කියති. මෙම තෙල් මාෆියාව විවිධ වර්ගයෙන් සිදුවනු ඇති බවට ද බොහෝ පාරිභෝගිකයෝ චෝදනා නගති. මෙවැනි ජාවාරම් මගින් විශාල ලාභයක් ලැබිය හැකි අතර බොහෝ පාරිභෝගිකයෝ ඉන් බලවත් අසීරුතාවයකට පත්වෙති.
පෙට්‍රල්, ඩීසල් මෙන්ම ලිහිසි තෙල්ද මෙරට වාහන නඩත්තුව සඳහා අත්‍යවශ්‍යම සාධකයක් බව බොහෝදෙනා දනිති. එහෙත් මේ වනවිට රට පුරා බෙදාහරිමින් පවතින බාල වර්ගයේ ලිහිසි තෙල් නිසාවෙන් වාහන හිමිකරුවන් මහත් අපහසුතාවයන්ට පත්වන වාර ගණන වැඩිවී ඇත.
මෙලෙස බාලවර්ගයේ ලිහිසි තෙල් භාවිත කිරීම හේතුවෙන් වාහනවල එන්ජින් අමතර කොටස් විනාශයට පත්වී බොහෝ වාහන මේ වනවිටත් වාහන අලුත්වැඩියා කරනා ස්ථානවල ඇති බව සමස්ත ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රීරෝද රථ සම්මේලනය පෙන්වා දෙයි.
මෙම ක්‍රියාවලිය හේතුවෙන් රජයට ගෙවිය යුතු බදු අහිමි වීම් සහ ලක්ෂ 72කට අධික ප්‍රමාණයක් මෙරට තිබෙනා වාහනවල නඩත්තු කටයුතු සිදුකර ගෙනයාමට ද බාධා එල්ලවී ඇත. එමෙන්ම වාහන සේවා ස්ථානවලින් ඉවත් කරන ලද සඵලත්වය අවසන් වූ තෙල් නැවත පෙරීමට ලක්කර නියම තත්ත්වයේ තෙල්වල පැහැය ගන්වා ඉවත් කරන ලද ඇසුරුම්වල පුරවා සැබෑ නිෂ්පාදන ලෙස පෙන්වමින් ජාවාරම්කරැවන් විසින් මෙම ලිහිසි තෙල් ජාවාරම සිදුකරගෙන යන බවට මේ වනවිටත් අනාවරණය වී තිබේ.
ව්‍යාජ ලිහිසි තෙල් බැරලයක් (ඩ්‍රම්) රුපියල් 50000ක් 55000ත් අතර මිලකට ජාවාරම්කරුවන් විසින් අලෙවි කරනු ලබන අතර පිළිගත් ලිහිසි තෙල් බැරලයක මිල රුපියල් 90000ත් 100000ත් අතර මිලකට අලවි වේ. මෙම බාල වර්ගයේ ලිහිසි තෙල් ජාවාරම්කරැවන් ඉහළ ලාභයක් සොයාගැනීමේ අරමුණෙන් අගනගරය අවට ව්‍යාපාරිකයන් සමඟ එක්වී රහසිගතව විවිධ ප්‍රදේශවල කර්මාන්තශාලා ඉදිකර අනුමැතිය ලත් හිස් තෙල් බැරල් රැගෙන ගොස් ඒවා අලුත්වැඩියාකොට වැසීම් සීල් කර මෙම ක්‍රියාවලිය සිදුකරනා බව සමස්ත ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රීරෝද රථ සම්මේලනය විසින් ජනාධිපතිවරයාට බාර දුන් ලිපියේ සඳහන්ය.
රට පුරා වාහන හිමිකරුවන් අපහසුතාවයට පත්කරමින් සිදුකරනා මෙම බාල ලිහිසි තෙල් ජාවාරම පිළිබඳව එම ත්‍රීරෝද රථ සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන මහතාගෙන් අපි විමසුවෙමු.
“මේ වනවිට ලංකාව පුරාවට ලිහිසි තෙල් ජාවාරමක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මේ හේතුව නිසා ත්‍රිරෝද රථ ඇතුළු වාහන විවිධ කාර්මික දෝෂයන්ට ලක්වෙලා රට පුරාම ගරාජවල තියනවා. ඒ පිළිබඳ තොරතුරැත් අප සතුව තිබෙනවා. ඒ වගේම තමයි මේ රට පුරාම තිබෙන ෂෙඩ්වල, ගරාජ්වල, සර්විස්වල වගේම වාහන අමතර කොටස් විකිණීමට තිබෙන සෑම ස්ථානයකම අලවියට තබා තිබෙන්නේ අපිරිසිදු වුණු තෙල් නැවත පැහැය ගන්වායි. ඒ වගේම බොහෝ ව්‍යාපාරිකයන් තමන්ගේ ලාභය අරමුණු කරගෙන ජාවාරම්කරුවන් සමඟ එකතු වී මෙම ලිහිසි තෙල් ජාවාරම කරගෙන යනවා. වෙළෙඳ පොළේ හොඳ ලිහිසි තෙල් බැරලයක මිල රුපියල් ලක්ෂයක් පමණ වෙනවා. නමුත් මේ ජාවාරම්කරුවන් විසින් අලවිකරන ලද ලිහිසි තෙල් බැරලයක මිල රුපියල් 50000ක් පමණ තමයි වෙන්නේ. ඒ නිසා මේ තත්ත්වය මත ව්‍යාපාරිකයන් වැඩි ලාභයක් ඉලක්ක කරගෙන මෙම බාල තෙල් මිලදී ගන්නවා. මේ ජාවාරමට දේශපාලකයන් වගේම පාතාලයේත් සබඳතා තිබෙනවා. ලිහිසි තෙල් බෙදාහරින ආයතන 13ක් පමණ මෙරට තුළ තිබෙනවා. නමුත් මේ ජාවාරම්කරුවන් මේ ආයතනවල හිස්වූ බැරල් අරගෙන ගිහින් තමයි මේ ක්‍රියාවලියේ යෙදෙන්නේ මේ තත්ත්වය පිළිබඳ වහාම සොයා බැලීමක් සිදුකළ යුතුයි. එසේ නොමැති වුවහොත් වාහන හිමි බොහෝ ජනතාව අගතියට පත්වන දිනය වැඩි ඈතක නෙවෙයි.”
හොරකම, වංචා හා දූෂණ ගැන බරපතළ කතිකාවක් රට තුළ පවතී. දූෂණයට හා වංචාවට එරෙහිව නව ක්‍රියාමාර්ග රැසක්ද ගෙන තිබේ. එහෙත් මෙම ජාවාරම් පිළිබඳව ඇතැම් නිලධාරින් පවා තවමත් අනුගමනය කරන්නේ නිහඬ පිළිවෙතකි. මෙම ජාවාරම් පිළිබඳ සොයාබලා එම ජාවාරම්කරුවන්ට දඬුවම් පැමිණවීම රජය සතු වගකීමකි.
► සටහන - හසිත් අංජන