2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා

ටජ් මහලටත් වඩා ජනප්‍රිය ධරාවි මුඩුක්කුව

 2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 232

ඉන්දියාවේ මුම්බායි නුවර ධරාවි පැල්පත් නිවාස නැරුඹීමට ගිය සංචාරකයකු තම අත්දැකීම පිළිබඳව තැබූ සටහනක එසේ ලියා තිබුණි. එම සටහන අවසන් කර තිබුණේ මෙසේය: හැම කෙනෙක්ම මිත්‍රශීලියි. කිසිවකු හිඟමන් යදින්නේ නැත.
ධරාවි ආසියාවේ විශාලතම මුඩුක්කුවයි. ඉහත සටහන තැබූ සංචාරකයා ධරාවි නැරැඹීමට ලොව දසතින් පැමිණෙන දහස් සංඛ්‍යාත සංචාරකයන් අතරින් එක් අයකු පමණි. මුඩුක්කු සංචාර දැන් වර්ධනය වෙමින් පවතින සංචාරක ව්‍යාපාරයකි. එය ඉංග්‍රීසි බසින් slum tourism හෝ poverty tourism ලෙසින් හැඳින්වේ.

සංචාරක ව්‍යාපාරය තුළ මෙම නව නැඹුරැතාව විවාදාපන්න වන නමුත් දරිද්‍රතාවයේ සැබෑ තත්ත්වය සියැසින් දැකබලා ගැනීමට සංචාරකයෝ මුඩුක්කු කරා ඇදී එති. ධරාවි මුඩුක්කු අතර වැටී ඇති පටු මාවත් ඔස්සේ සංචාරකයන් රැගෙන යාම සංවිධානය කරන එක් සංචාරක වෙබ් අඩවියක සටහන් කර තිබුණේ මෙය ඉන්දියාවේ ජනප්‍රියම සංචාරක අත්දැකීම වන අතර ටාජ් මහලටත් වඩා ජනප්‍රිය බවය. ඔවුන් එම සටහන තබා ඇත්තේ TripAdvisor වෙබ් අඩවිය උපුටා දක්වමිනි.

වැඩිම සංචාරකයන් පිරිසක් එන්නේ එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ඕස්ට්‍රේලියාවෙන් ක්‍රිෂ්ණා පූජාරි පවසයි. ඔහු විදෙස් සංචාරකයන් සඳහා ගමන් සංවිධානය කරන සංචාරක සමාගමක් පවත්වාගෙන යන්නෙකි. ධරාවි මුඩුක්කු සංචාරය සඳහා මෙම සමාගම විශාල ප්‍රසිද්ධියක් උසුලයි. මගේ සමාගමේ සම අයිතිකරු බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. අපි මුඩුක්කු සංචාර හඳුන්වා දෙමු කියල ඔහු මුලින්ම යෝජනා කළ විට මට තේරුම් ගන්න බැරිවුණා. මුඩුක්කුවක සංචාරකයන්ට බලන්න තියෙන්නේ මොනවද? කියල. පස්සේ මම තේරුම් ගත්ත එහි බලන්නත් ඉගෙන ගන්නත් බොහෝ දේ තියෙනවා කියල. ක්‍රිෂ්ණා පැවසීය.

මිනිසුන් දශ ලක්ෂයක්

ධරාවි මුඩුක්කුව පැතිරී ඇත්තේ මුම්බායි නුවර මධ්‍යයේ පවතින ඉහළ වටිනාකමක් සහිත බිම් ප්‍රදේශයක් මතය. එහි නිමක් කොනක් නොමැති පටු මං එමටය. පැල්පත් නිවාස පමණක් නොව අනේක විධ වැඩපොළද රුසකි. දස ලක්ෂයකට ආසන්න මිනිස් ගහනයක් ඒ තුළ දිවි ගෙවති. වැසිකිළි සහ ජල කරාම ඇති බව සැබවි. නමුත් සනීපාරක්ෂාව ඉතා පහළ මට්ටමකය. වැසිකිළිවලින් පිටවන මළාපවහනය දොරකඩ අද්දරින් ගලා යන්නේ පටු මං දෙපසිනි.

ඩොලර් මිලියන 650ක්

මේ පැල්පත්වාසීන් බොහෝ දෙනෙක් මුඩුක්කුව තුළම සරුවට කුඩා ව්‍යාපාර කරගෙන යති. එම්බ්‍රොයිඩර් ඇඳුම් ආයිත්තම්, අපනයන තත්වයේ සම් භාණ්ඩ, මැටි භාණ්ඩ. ප්ලාස්ටික් භාණ්ඩ මේ මුඩුක්කු තුළ නිමැවෙයි. ඉන් ජනිත වන වාර්ෂික ආදායම ඩොලර් මිලියන 650කට අධික බවට ඇස්තමේන්තු සාක්‍ෂි දරයි.

නමුත් මේ මුඩුක්කුව තුළ කසළ ශෝධකයෝද බොහෝ වෙති. මුම්බායි නගරය පිරිසිදු වන්නේ ඔවුන්ගේ දෑතිනි. කම්කරුවන්, කුලී රථ රියැදුරන් එමටය. මුම්බායි නුවර පැවැත්මට ඔවුන්ගෙන් වන සේවය අතිමහත්ය. ඔවුහු කිසිදා ඇගයීමකට ලක් නොවෙති. විවේකයකින් තොරව ඔවුන්ගේ දෛනික දිවි පෙවෙත ඔහේ ගෙවී යයි. 

එවන් ජීවන වටපිටාවක් සහිත මුඩුක්කුවක් තුළ සංචාරකයකුට වැදගත් විය හැකි අත්දැකීම කුමක්ද? ගතහැකි පැකේජ වලින් සමන්විත මෙම මුඩුක්කු සංචාර ඉතා සංවිධානාත්මකය. අවැසි නම් වායුසමනය කළ ප්‍රවාහන පහසුකම්ද සැපයෙනු ඇත. අගනා සංස්කෘතික හුවමාරුවක් අත්විඳීම සඳහා, මුඩුක්කු නිවාසයක් තුළ ආහාර වේලක රස බැලීමේ අවස්ථාවද ලබාගත හැකි සංචාරක පැකේජ පවතී. ඇත්තවශයෙන්ම මෙම මුඩුක්කු සංචාර බ්‍රසීලයේ සහ දකුණු අප්‍රිකාවේ කලක පටන් පවතින ව්‍යාපාරයකි. එම රටවලට සාපේක්ෂව ඉන්දියාවට මෙම සංචාරක පැතිකඩ පැමිණියේ මෑතකදීය.

අනෙක් සංචාරකයන් වගේම මමත් ධරාවි බලන්න ගියේ මුඩුක්කු ජීවිතයේ සැබෑ තත්ත්වය ගැන වැඩි අවබෝධයක් ලබාගන්න.* ධරාවි තුළ පැය හයක සංචාරයක් කළ මෙලිසා ලිස්බෙට් පැවසුවාය. ඇය එම සංචාරයට එක් වූයේ 2016 දීය. නමුත් එහිදී අසන්නට දකින්නට ලැබුණු දෑ ඇයට ප්‍රශ්නකාරී විය.

දරිද්‍රතාවය අලංකරණය කිරීම

මුඩුක්කු කියන්නේ ප්‍රශ්නයක් නැති දෙයක් ලෙස ඉදිරිපත් කෙරුණා. දුප්පත්කම සාමාන්‍ය දෙයක් නැත්නම් ස්වභාවික දෙයක් ලෙස පෙන්නුම් කෙරැණා. ඇතැම් විට එය සත්‍යයට වඩා අලංකාරයට බර කොට හුවා දැක්වුවා. ඇය ප්‍රකාශ කළාය.
පැල්පත්වාසීන් එක්ක කතාකරන්න අපට ඉඩක් දුන්නේ නැහැ. ඒ නිසා ඔවුන්ගේ හැඟීම් තේරුම් ගැනීමට අපහසු වුණා. ඒ මිනිස්සු තමන්ගේ එදිනෙදා වැඩවල නිරතව සිටියා මිසක් අපි ගැන කිසිම අවධානයක් යොමු කළේ නැහැ.

මෙලිසා ඒ පිළිබඳව සිතන්නට වූවාය. අනෙකුත් සංචාරකයන් මේ පිළිබඳව දරන අදහස ඇයට දැනගන්නට රිසිවිය. ඇය TripAdvisor වෙබ් අඩවියට පිවිස අනෙකුත් සංචාරකයන් තබා ඇති සටහන් පිරික්සන්නට වූවාය. එහි තබා තිබූ සටහන් අනුව, බොහෝ සංචාරකයන් ධරාවි නැරඹීම ආරම්භ කර ඇත්තේ දරිද්‍රතාවය පිළිබඳව සංවේගයක් සහිත හැඟීමකිනි. නමුත් ගමන අවසාන වී ඇත්තේ %දිළිඳු බව යනු ප්‍රශ්නයක් නොවේ ය යන හැඟීමකිනි.

මුඩුක්කු නරඹලා යන සංචාරකයන්ට හිතෙන්නේ එහෙම නම්, මොකක් හරි ලොකු වැරදීමක් වෙලා කියලයි මට හිතෙන්නේ. මේ සංචාරයේදී මුඩුක්කු පෙන්නුම් කෙරෙන්නේ ආර්ථික බලාගාර විදියට. මේ මිනිස්සු සමාජ පන්තිය හෝ කුලය නිසා පහත්කොට සැලකීමට ලක්වෙනවා කියන එක ඔවුන් කතාකරන්නේ නැහැ. මුඩුක්කුවාසීන්ට නිසි ජල සැපයුමක් හෝ විදුලිය සැපයුමක් නැහැ කියන එක අමතක කරනවා. මෙලිසා පවසන්නීය.

පැල්පත්වාසීන් අපහසුතාවයට පත්වේද යන්න පිළිබඳව සිතීමක් නොමැතිව ඔවුන්ගේ ඡායාරූප ගැනීමට සංචාරකයන්ට ඉඩ සලසන ඇතැම් ගමන් සංවිධායකවරුන් ගැනද ඇය සිහිපත් කළාය. නමුත් ක්‍රිෂ්ණා පූජාරි කියා සිටියේ, තම සමාගම පැල්පත්වාසීන්ගේ ඡායාරූප ගැනීම සඳහා සංචාරකයන්ට කිසිසේත් අවසර නොදෙන බවය.

2011 දී සිදුකර ඇති සංගණනයට අනුව, ඉන්දියාවේ මිලියන 65ක් පමණ ජනතාව පැල්පත්වාසීහු වෙති. එම වාර්තාවේ මුඩුක්කු අර්ථ දක්වා ඇත්තේ මිනිස් වාසයට නුසුදුසු නිවාස සහිත ප්‍රදේශ ලෙසිනි.

l බී.බී.සී. සිංහල වෙබ් අඩවිය ඇසුරිනි