2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා

විජයබා ඇත... කොල්ලය නැත......

 2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 434

ඩබ්. ඒ. සිල්වාගේ ඓතිහාසික නවකතාවල ඉතිහාසය ඒ. වී. සුරවීර වැන්නකුගේ අඳුර දුරලන රැස් වැනි කෘතියක පසුබිම මෙන් කිසිසේත් යථාර්ථවාදී වූවක් නොවේ. අවසානයේ ත්‍රිකෝණාකාර පෙම් කතාව පමණක් පාඨක මතයෙහි ශේෂ වෙයි. මහාචාර්ය ආරියරත්නයන් ද තම විජයබා කොල්ලය චිත්‍රපටය සඳහා. විජබා කොල්ලය නවකතාවෙහි පැනෙන අසංග, නයනානන්ද හා නීලමනීගේ පෙම්කතාව පමණක් දීප්තිමත් කර තිබේ. 

ප්‍රතිකාල්, අක්‍රමණ, රජවරුන් අතර බල අරගල වරින් වර මතුවන කාරණාය. එහෙත් අපි එක් කරැණක් අගය කරමු. වෙළෙඳාම අරමුණු කරගෙන රටවල් ආක්‍රමණයෙහි නිමග්න වූ පරංගින්ට ආගමක් නැත. ඒ නිසාම ඔවුහු සදාචාරයෙන් ද මනුෂ්‍යත්වයෙන් ද විහීනයෝ වෙති. හම්දාම්මා, නීලමනී වැනි කාන්තාවන් කෙරෙහි ඔවුන්ගේ ආකල්ප තමන්ගේ නොවන හැම කෙනකුටම සැලකූ නිහීන ආකාරය සුනිල් ආරියරත්නයෝ මැනවින් රූපගත කර ඇත්තාහ. එය අද්‍යතනයට මැනවින් ගෝචරය. ජාතිකාභිමානය යනු කුමක්ද? එය අවැසි වන්නේ කොතැනදී ද යන්න පැහැදිලි කරයි. හැම සිංහල නායකයකුම අවශ්‍ය හැම අවස්ථාවකදීම දළදා හාමුදුරුවන්ගේ පිහිට පතන ආකාරය පෙන්වා දීම අතිශයින් අගය කළ යුතුය. ප්‍රතිකාලුන් අතරත් කලාතුරකින් හෝ යහපත් මිනිසුන් සිටින බව පූජකවරයාගේ චරිතයෙන් පෙන්නුම් කිරීම අධ්‍යක්ෂකවරයා විවේක බුද්ධියෙන් චරිත නිරෑපණය කළ බවට නිදසුනකි.

අසංගට වඩා නීලමනී නයනානන්දට පෙම් බඳින්නීය. එය කෙළෙස සිදුවූයේ දැයි පැනයකි. අධ්‍යක්ෂකවරයාගේ පළමු සිනමා නිර්මාණය වූ සරාගී කෙටි චිත්‍රපටයෙහි මෙන් රාගය හා සමාන ගින්නක් නැතැයි පෙන්වීමට ගත් ප්‍රයත්නයක්ද? එසේ නැතහොත් සාස්තරකාරයාගේ කියමන මූර්තිමත් කිරීමට ප්‍රෝත්සාහී වීමක්ද? අසංගගේ මුවින් කියවෙන ඔහුගේ උත්තරීතර සෙනෙහස නීලමනීට ප්‍රමාණවත් නොවීමට කිසිදු හේතුවක් අපට නොපෙනේ. ඇය අද්‍යතන සංකීර්ණ සමාජයට උරැමකම් කියන්නියක් නොවේ. 1505 වර්ෂයේ ශික්ෂිත සමාජයේ බිහි වී හැදුණු වැඩුණු සංයමයෙන් යුතු යුවතියකි. කුස ජාතකයේ මෙන් ස්පර්ශ සුවයෙන් ඇති වන බැඳීම තරම් බැඳීමක් මිහිපිට නැතැයි පැවසීමට තරම් පසුබිමක නීලමනී අසංග සමඟ හැසිරැණු බවක් ද නිර්මාණයෙන් විද්‍යාමාන නොවේ. කෙසේ හෝ නයනානන්ද ප්‍රේමය වෙනුවෙන් දිවි පරදුවට තබා ඉදිරියට පැමිණෙයි. නීලමනී ඔහුට තව තවත් ආශක්ත වෙයි. උතුම් පෙම්වතකු පමණක් නොව තියුණු නුවණකට හිමිකම් කියන අසංග යථාර්ථය පසක් කර ගැනීමේදී ඇහේ ඇසිපිය හෙළීම පවා තමන් හඳුනන බව ප්‍රකාශ කිරීමෙන්ම එය තහවුරු වෙයි.

සිය සිනමා නිර්මාණ උදෙසා සුනිල් ආරියරත්නයන් නළු නිළියන් තෝරා ගැනීමට ඇති කුසලතාව කැපී පෙනුණ හොඳම අවස්ථාව හැටියට අප දකින්නේ ඔහුගේ යශෝධරා චිත්‍රපටයයි. නමුත් මෙහිදී සෙනාලි ෆොන්සේකා, අෂාන් ඩයස්, හේමාල් රණසිංහ, ආන්ස් බිලිමෝර් තෝරා ගැනීත් ඔවුන් සපයා ඇති රංගන දායකත්වයන් ද අතිශයින් ප්‍රශස්ත බව කිව යුතුය. මෙහි අවසන් රූප රාමුව ප්‍රේක්ෂක සිත් සතන්හි බොහෝ කාලයක් රැඳී පවතින බව පැවසීම ද කිසිසේත් සාවද්‍ය කරුණක් නොවේ.

සිනමා විචාරය පිළිබඳ පරිචයක් ඇත්තකුට චිත්‍රපටයට පාදක වූ කාල වකවානුව සමඟ සසඳා ඇඳුම් පැළඳුම්, පසුබිම් සැකසීම, තාක්ෂණය යොදාගත් අකාරයෙහි අඩුපාඩු පෙනෙන්නට ඉඩ තිබේ. චිත්‍රපටයේ පළමු ගීතයේදී නීලමනී උදෙසා භාවිත ඇඳුම් සිහියට නංවන්නේ එදා යුගය ද අද්‍යතනයදැයි පැනයක් මතු විය හැකිය. 

අද දවසේ සිංහල සිනමාව ඇද වැටී ඇති ප්‍රපාතයෙන් බේරා ගතයුතුය. ඒ උදෙසා ලිංගිකත්වයට නැඹුරැ විය යුතුද? ප්‍රේක්ෂකයාට එලොවක් මෙලොවක් පිළිබඳව නොතේරෙන අපභ්‍රංස චිත්‍රපටවලට පාදක කර ගත යුතුද යන පැනය අද ඉදිරියේ පවතී. චිත්‍රපටය හුදෙක් කලා නිර්මාණයක්ම නොවේ. ඒ හා බැඳුණු කර්මාන්තයක් ද පවතී. නූතන සිනමාකරුවෝ ඒ කෙරෙහි ද නොමඳ සැලකිල්ලක් දැක්විය යුත්තාහ. ප්‍රේක්ෂකයන්ගෙන් තොර සිනමා ශාලා වෙත ප්‍රේක්ෂකාකර්ශණය ඇති කළ සිනමා අධ්‍යක්ෂකවරුන් මේ යුගයේ පහළ වී නම් දෙතුන් දෙනෙකි. ඒ අතරින් සුනිල් ආරියරත්න පෙරමුණේ සිටී.

අවසාන වශයන් කිව යුත්තේ නවකතා චක්‍රවර්තී ඩබ්.ඒ. සිල්වා ෂෙරිඩන්ගේ (පිසාරෝ) නාටකයෙන් ද ආභාසය ලබා ගැටලුසහගත ඓතිහාසික පසුබිමක රචනා කළ විජබා කොල්ලය නම් ත්‍රිකෝණාකාර ප්‍රේම පුරාවෘත්තය පාදක කොටගෙන සුනිල් ආරියරත්නයන් සිංහල සිනමා කර්මාන්තයත් ගලවාගෙන සෞන්දර්යාත්මක චිත්‍රපටයක් නිර්මාණය කළ බවයි. දයාබර ප්‍රේක්ෂකයිනි උත්තරීතර නිර්මාණ අතර, මෙවන් සොඳුරැ නිර්මාණයක් රසවිඳිය යුතුය. එවිට හෙටත් අපට සිනමාවක් ඉතිරි වනු නොඅනුමානය.

 සුනිල් ගුණවර්ධන