2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා

සෝවියට් කාලෙ ලේඛකයන්ට රජ සැලකිලි....

 2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 331

සම්මානලාභී පරිවර්තක වෛද්‍ය පුෂ්ප රන්ජන් විජේසිංහ

මෙවර ගොඩගේ සාහිත්‍ය උළෙලේ දී හොඳම පරිවර්තන කෘතියට හිමි සම සම්මානය හිමිවූයේ වෛද්‍ය පුෂ්ප රන්ජන් විජේසිංහ රුසියානු බසෙන් සිංහලට පරිවර්තනය කළ බොරිස් අකුනින්ගේ ඔර්ලොව් දියමන්තියේ සාපය නවකතාවටයි. ඒ අතර පසුගියදා පුෂ්ප රන්ජන්ගේ නවතම පරිවර්තනය චිංගිස් අයිත්මාතොව්ගේ සරෝසෙක් බිමේ දුක් ගීතය නවකතාව ද සදීපා ප්‍රකාශනයක් ලෙස නිකුත් විය. ඉන්දියාවේ නවදිල්ලි නුවර ලෝක සෞඛ්‍ය සංවිධානයේ සේවය කරන වෛද්‍ය පුෂ්ප රන්ජන් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවක අප සමඟ සාහිත්‍ය සංවාදයක නිරත වූයේ මෙසේය.

ඔබට පරිවර්තන සාහිත්‍ය සඳහා වන ගොඩගේ සම්මානය මෙවර හිමිවුණා. ඒ ගැන කිව්වොත්?

මෙවර ගොඩගේ සාහිත්‍ය උළෙලේ දී මා විසින් පරිවර්තිත නව රැසියානු ලේඛක බොරිස් අකුනින්ගේ ඔර්ලොව් දියමන්තියේ සාපය නැමති කෘතියට ලාංගනී ප්‍රනාන්දු අබේධීර පරිවර්තනය කළ සුළි සුළඟ කෘතිය හා එක්ව සම සම්මාන හිමිවුණා. මෙය ගුණාත්මක වශයෙන් දොස්තයෙව්ස්කි හා තෝල්ස්තෝයිගේ කෘතීන්වල අතරමැද තැබිය හැකි කෘතියක් ලෙසයි රැසියානු විචාරකයන් සලකන්නේ. විශේෂයෙන් සෝවියට් දේශය බිඳවැටීමෙන් පසු ඇතිවූ කල්පිත රචනා රික්තකයේ හතු පිපෙන්නාක් සේ බිහිවූ රහස් පරීක්ෂක කෘතීන් අතර වූ ලිංගිකත්වය හා ප්‍රචණ්ඩත්වය මුල් කරගත් කෘතීන් හමුවේ ඉහළ ගුණාත්මකභාවයේ ඓතිහාසික රහස් පරීක්ෂක නවකතා ගෙන ඒමේ ගෞරවය නව රැසියාවේ ප්‍රමුඛතම ලේඛකයා වන බොරිස් අකුනින්ට හිමිවිය යුතුයි. එය රැසියාව තුළ පමණක් පිටපත් ලක්ෂ 130 ක් පමණ අලෙවි වී තිබෙනවා. විදේශ භාෂා රාශියකට එය පරිවර්තනය වී තිබෙනවා. ඔර්ලොව් දියමන්තියේ සාපය බ්‍රිතාන්‍යයේ රෑපවාහිනියට හා රැසියාවේ චිත්‍රපට මාධ්‍යයට නැගී තිබෙනවා.

ඍජුවම රුසියානු බසින් සිංහලට පරිවර්තනය කිරීමට උනන්දුවක් ඇතිවු‍ණේ කෙසේද?

රුසියානු බසෙන් අධ්‍යාපනය ලැබීමෙන් ලැබෙන භාෂා ප්‍රවීණත්වය මත මා ප්‍රිය කළ රැසියානු පොතපත රැසියානු බසෙන්ම කියවීමට ආසාවක් මා තුළ ඇතිවී තිබුණා. ඒ සඳහා ඉඩ ප්‍රස්ථාව ද මනා සේ ලැබුණා. රුසියාව තුළ අධ්‍යාපනයේ දී රැසියානු බස වසර 7 ක් තිස්සේ ගැඹුරට හදාරන්න ලැබුණා. අවසානයේ දී රුසියානු බස දෙවැනි බසක් සේ ඉගැන්වීමේ ප්‍රවීණතා ඩිප්ලෝමා සහතිකය රුසියානු රාජ්‍ය විශ්වවිද්‍යාලයෙන් ලබාගත්තා.

පරිවර්තනය කිරීමේ ආශාව තිබුණත් කාලය මඳකම නිසා ඒ කාර්යයට මා අතගැසුවේ නැහැ. එහෙත් 2015 වසරේ මාගේ සහෝදර විශේෂඥ කායික වෛද්‍ය රෝහණ දයාරත්න මහතාගේ දැඩි පෙළඹවීම මත විදෙස් භාෂාවලින් ග්‍රන්ථ සිංහලයට පරිවර්තනය කරන එක්තරා ව්‍යාපෘතියක් සඳහා මා යොමු වුණා. ප්‍රවීණ ලේඛක දයා දිසානායක මහතා විසින් එය සම්බන්ධීකරණය කරනු ලැබුවා. ඒ අනුව 2016 වසරේ මාගේ පළමු පරිවර්තනය සදීපා ආයතනය මගින් ප්‍රකාශයට පත් කළා

ඔබ චිංගිස් අයිත්මාතොව්ට වැඩි කැමැත්තක් දක්වන බව පේනවා. නවතම පරිවර්තනයත් ඔහුගේ කෘතියක්?

චිංගිස් අයිත්මාතොව් මාගේ ප්‍රියතම සෝවියට් ලේඛකයෙක්. එහෙත් මා වඩාත් ප්‍රිය කරන ලේඛකයා ඔහු පමණක් බව පවසන්නට මා බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒත් රැසියානු ලේඛකයන් හැරෙන්නට රැසියානු බස හසුරවන අන් පැරණි සෝවියට් සමූහාණ්ඩු (දැන් නිදහස් රාජ්‍යයන්) අතර ස්ලාවියානු නොවන (රැසියානු, උක්රේන හා බෙලරැසියානු) සමූහාණ්ඩුවලින් බිහිවූ විශිෂ්ටතම සෝවියට් ලේඛකයා ලෙස මා ඔහුව දකිනවා. ඒ හැරෙන්නට මා ඔහුගේ කෘති ප්‍රිය කරන්නේ ඔහුගේ සමාජ දේශපාලන දැක්ම නිසා. ඔහු ශ්‍රී ලංකාවේ පාඨකයා තුළ ජනප්‍රියම සෝවියට් ලේඛකයා බවට පත්වෙලා. එබැවින් ඔහුගේ ග්‍රන්ථ ප්‍රකාශයට පත් කරන්නට ප්‍රකාශකයන් ද මැලිවෙන්නේ නැහැ. නමුත් ඔහුගේ කෘතීන්වලින් දැනට සිංහලට නැගීමට ඉතිරි වී තිබෙන්නේ රැසියානු බසෙන් ඉංග්‍රීසියට නොනැගුණු කෘතීන් පමණයි. මගේ නවතම පරිවර්තනය වන චිංගිස් ඛැන් පැරදූ සරෝසෙක් බිමේ දුක් ගීතය එසේ ඉංග්‍රීසියට පරිවර්තනය නොවූ සියවසක් පවත්නා දවස කෘතිය හා සම්බන්ධ කෘතියක්.

රුසියාවේ අලුත් ලේඛකයන්ගේ කෘති ජාත්‍යන්තරයට යන්නේ අඩුවෙන්ද?

රාජ්‍ය අනුග්‍රහය ලැබූ ප්‍රගති හා රාදුගා ප්‍රකාශකයන් විසින් මුද්‍රණය කරනු ලැබ ලෝකයේ සියලුම රාජ්‍යයන් කරා රුසියානු ග්‍රන්ථ බෙදාහැරීමේ ක්‍රමවේදය බිඳවැටීම නිසා සෝවියට් යුගයට සාපේක්ෂව රැසියානු පොතපත ජාත්‍යන්තරයට යෑමේ අඩුවක් තිබෙනවා. එහෙත් රුසියානු ලේඛකයන්ගේ උසස් ගණයේ කෘති උතුරු අමෙරිකාව, යුරෝපය වැනි රටවලට ලැබෙනවා. මේ ජාත්‍යන්තරයට යන කෘති ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදිය හැකියි. ඒ රුසියානු හා රැසියානු බස කතා කරන ඩයස්පෝරාවට ලැබෙන රැසියානු බසෙන් මුද්‍රිත පිටපත් හා ඉංග්‍රීසියට හා අන් යුරෝපීය භාෂාවන්ට හැරවුණු රැසියානු කෘති වශයෙන්. විශේෂයෙන් රුසියාවෙන් පිට. ජාත්‍යන්තරයේ ප්‍රසිද්ධ රැසියානු ලේඛක පරම්පරාවට බොරිස් අකුනින්, මිඛයිල් ශිස්ක්හින්, ද්මිත්‍රි ග්ලූඛෝව්ස්කි, තත්යානා තෝල්ස්තයා, වික්තර් පෙලේවින්, ලුද්මිලා ඌලිත්ස්කයා, වේරා පොලස්කොවා ප්‍රධාන තැනක් ගන්නවා. රුසියානු බසෙන් ලියන නොබෙල් ත්‍යාගලාභී බෙලරැසියානු ලේඛිකා ස්වෙත්ලානා ඇලෙක්සියෙවිව් හා රැසියන් බසෙන් ලියන උක්රේනියානු ලේඛක අන්ද්‍රෙයි කුර්කොව්, සේර්හිය් ශදාන් (උක්රේනියන් බසෙන් එහෙත් රැසියානු බසට පරිවර්තිත කෘතීන් අයත්) ඇතුළු රැසියානු බස පරිශීලනය කරන ලේඛකයන් රැසක් ජාත්‍යන්තරයේ ඉතා ප්‍රසිද්ධයි.

70-80 දශකවල රැසියාවේ ප්‍රගති ප්‍රකාශන මන්දිරය සාහිත්‍ය පරිවර්තන රාශියක් සිංහලෙන් පළ කළා. මිහයිල් ගොර්බචොව්ගේ ප්‍රෙරස්ත්‍රොයිකාව නිසා එම සුබසාධන වැඩසටහන් නැතිවීම සාහිත්‍යයට පාඩුවක් නේද? 

ඒක හරි. මොස්කව් නුවර රාජ්‍ය අනුග්‍රහය යටතේ ප්‍රගති ප්‍රකාශන මන්දිරයත්, රාදුගා (දේදුන්න) ප්‍රකාශන මන්දිරයත් විදේශ බසට රැසියානු හා අන් සෝවියට් කෘතීන් අලංකාර සේ මුද්‍රණය කර සාධාරණ මිලකට ඒ රටවලට බෙදා හැරියා. ඒ යටතේ දැදිගම වී. රැද්‍රිගෝ, පද්මහර්ෂ කුරණගේ හා පියසේන මානිල්ගම මහත්වරැන් මොස්කව් නුවර සිට සෝවියට් පරිවර්තන ශ්‍රී ලාංකික පාඨකයන්ට ලැබෙන්න සලසනවා. ඒ ආකාරයටම මහාචාර්ය බෙල්කොවිච්, යූරි ඔස්නොස්, විහුහොලෙෆ්, ස්හෙවලොවා වැනි පරිවර්තකයන් ශ්‍රී ලාංකේය සිංහල, ද්‍රවිඩ කෘති පරිවර්තනය කර රැසියානු ජනතාවට ඉදිරිපත් කරනවා. නමුත් ආර්ථික වශයෙන් රාජ්‍ය දුබල වූ පෙරස්ත්‍රොයිකා සමයේ හා සෝවියට් දේශය බිඳවැටීමත් සමඟ මේ ග්‍රන්ථ බෙදාගැනීමේ දෙපැති ක්‍රියාවලිය බිඳ වැටෙනවා. එහි ප්‍රතිඵලය ශ්‍රී ලාංකීය පොතපත රැසියානු බසට නැගී රැසියාවේ පැතිරීම මුළුමනින්ම නතර වීමයි. 

රුසියාවේ කාලයක් ජීවත් වූ කෙනෙක් වශයෙන් එරට ලේඛකයන්ට දක්වන සැලකිල්ල ඔබ දකින්නේ කෙසේද?

මා රැසියාවේ ජීවත් වූයේ සෝවියට් දේශය ජීවමානව පැවති කාලයේ හා එය බිඳවැටී නිදහස් රාජ්‍ය බිහිවීමේ සංක්‍රාන්ති කාලයේ. සෝවියට් කාලය තුළ ලේඛකයන්ට අන් ක්ෂේත්‍රයන් තුළ මෙන්ම හොඳ පිළිගැනීමක් තිබුණා. එයට හේතු වුණේ සෝවියට් වැසියන් පොත් කියවීමට දැඩි ඇල්මක් දැක්වීමත් රාජ්‍යය විසින් සමාජවාදී ලේඛන කලාවට දැඩි රාජ්‍ය අනුග්‍රහය දැක්වීමත් නිසා. එහෙත් පක්ෂය යටතේ සියලු ලේඛකයන් එක ලේඛක සංවිධානයක් යටතේ ඒකරාශී වීම අවශ්‍ය වුණා. ඒ යටතේ ඔවුන් සෝවියට් කොමියුනිස්ට් පක්ෂයට සහය දැක්වීම අවශ්‍ය වුණු අතර එසේම ඔවුන් සමාජවාදී යථාර්ථය යන ක්‍රමවේදය යටතේ ලේඛන කලාවේ නිරත විය යුතු වුණා. මා විශ්වාස කරන ආකාරයට එය අධිරාජ්‍යවාදී රුසියාව තුළ තිබූ ලේඛන කලාවේ බහුවිධභාවයේ අභාවයට හේතු සාධක වුණා. මේ සංගමයේ සහ පක්ෂයේ මාර්ගය අනුගමනය කළ සෝවියට් ලේඛකයන්ට ලේඛක සංවිධානය මගින් තීරණය වුණු ගෙවීම්, පාරිතෝෂික, අනෙකුත් වරප්‍රසාද, නිවාඩු නිකේතනවල කාලය ගතකිරීමේ පහසුකම්, සාහිත්‍ය හා සම්බන්ධ විදේශ සංචාර හිමිවුණා.

නමුත් සෝවියට් දේශය බිඳවැටීමත් සමඟ සාහිත්‍ය කරා වූ වාරණ ඉවත් වූ අතර ප්‍රකාශන පෞද්ගලික ව්‍යාපාර බවට පත් වුණා. ඒ අනුව කතුවරැන් හා ප්‍රකාශන සමාගම් ක්‍රියාත්මක වුණේ වෙළෙඳපොළ ආර්ථිකය යටතේ.

ඔබ පිටරටක ජීවත්ව සිටින්නෙක්. අප රටේ පළවන කෘති කියවනවාද?

මා ශ්‍රී ලාංකික පුරවැසියෙක්. ජාත්‍යන්තර ආයතනයක සේවය කරන නිසා රටෙන් බැහැරව සිටියත් වසරකට 3-4 වතාවක් ශ්‍රී ලංකාවට පැමිණෙනවා. ඒ පැමිණි සෑම විටකම මම ශ්‍රී ලාංකික පොත් කිහිපයක් රැගෙන යනවා. 

අපේ නිර්මාණශීලී සාහිත්‍යයේ වර්ධනාත්මක බවක් මෑතකදී ඔබ දුටුවාද?

නිර්මාණශීලී බව නව මානයන් කරා යොමුවී තිබෙනවා. ඒවා විවිධ මාතෘකා ඔස්සේ නිර්මාණය වීම මේ නිර්මාණශීලීත්වය විදහා පාන්නක්. නිදසුනක් සේ පසුගිය කාලයේ ඉතා ජනප්‍රියතාවයට ලක්වූ හඳ පළුව තනි තරැව ග්‍රන්ථය අපේ සමාජයේ තිබෙන සංස්කෘතික, භාෂාමය විවිධත්වය නිර්මාණය සඳහා යොදාගන්නවා. ඒ වාගේම බොහෝ රචකයන් රුසක් විසින් භාවිත වුවද චුලාභය ශාන්ත කුමාරගේ මා වැනි කෘතියක ජාතිවාදය, ත්‍රස්තවාදය, යුද්ධය, මනුෂ්‍යත්වය වැනි බහුවිධ මාතෘකා ඔස්සේ යමින් පක්ෂග්‍රාහී නොවී සමබරව නිර්මාණය ඉදිරියට ගෙන යනවා. ඒ වාගේම තරැණ නිර්මාණකරුවන් නව තේමා හා ශානර සොයා යනවා. ඒ වාගේම නිර්මාණකරුවන්ගේ නව මානයන් සොයා යෑම වගේම නව ශානරයන් ඉදිරිපත් කිරීම ධනාත්මක දෙයක් ලෙසයි මා දකින්නේ. 

 කුසුම්සිරි

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00