2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා

හදපු ගොඩනැගිලි එක්ක කැලේට විසිවෙන අංගම්පොර ගම්මානය

 2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 178

වර්තමානය වනවිට අංගම්පොර සටන් කලාව පුරුදු පුහුණු කරන හා ඒ ශිල්පය පිළිබඳව ප්‍රාමාණික දැනුමක් ඇතිව අපේ රටේ සිටින්නේ දෑතේ ඇඟිලි ගණනටත් වඩා අඩු පරම්පරා සංඛ්‍යාවක් බව පැවසේ.

ලාංකිකයන්ගෙන් ගිලිහී යන මේ මහා සටන් සම්ප්‍රදාය රුකගැනීමටත්, පැතිරවීමටත්, එහි නිරතවන්නන්ට උදව් කිරීමටත් මූලික අදිටනින් මීට වසර පහකට පමණ පෙර මහව, වැලියාව ප්‍රදේශයේ ‘තිඹිරිකැලේ’ නමින් හඳුන්වන බිම් කොටසේ අංගම්පොර ගම්මානයක් ඉදිකිරීමට පියවර ගනු ලැබීය. ලෝකයේ මුල්ම අංගම්පොර ගම්මානය ලෙස එය අබිසෙස් කිරීමට ද සූදානමක් තිබිණ.

ඒ අනුව තිඹිරිකැලේ අක්කර දහසය හමාරක බිමක් තෝරාගෙන ගම්මානයට අවශ්‍ය ගොඩනැගිලි හා සෙසු ඉදිකිරීම් ආරම්භ විය. අංගම්පොර හටන් කලාව පුහුණු වීමට ගොඩනැගිල්ලක්, පුස්තකාල ගොඩනැගිල්ලක්, නේවාසිකාගාර, මුලුතැන්ගෙයක්, භාවනා මධ්‍යස්ථානයක්, වැසිකිලි - කැසිකිලි ගොඩනැගිලි ආදිය ඒ අතර විය.

තිඹිරිකැලේ අංගම්පොර ගම්මානයේ වත්මන් තත්ත්වය ගැන මේ ගමට යාබද ගමක් වන මඩපොකුණ ගමේ පදිංචි ඒ. මොහොමඩ් මහතාගෙන් දැනගනිමු.

“ටී.බී. ඒකනායක මහත්තයා සංස්කෘතික ඇමැති වෙලා ඉන්න කාලේ එතුමාම තමයි මේ ගම්මානය පටන්ගත්තේ. ගොඩනැගිලිවල වහළය මට්ටමට ඉදිකරමින් තිබෙද්දි ආණ්ඩුව පෙරළුණා. වැඩ නතර වුණා. ඊළඟට 2015 පත්වූ ආණ්ඩුවේ සංස්කෘතික ඇමැති වූ නාවින්න ඇමැතිතුමා ඇවිත් උත්සවයක් තියලා නැවත වැඩ පටන්ගත්තා. ඔය උත්සව දෙකටම මං ආවා”

“දැන් මේ භූමියේ වටිනා ගොඩනැගිලි පහක් සම්පූර්ණයෙන්ම හදලා ඉවරයි. වැසිකිළියේ වැඩත් ඉවරයි. අක්කර දාසයහමාර වටා කම්බි පොටවල් දහඅටක් විතර ගහපු වැටකුත් හදලා තියෙනවා. තව අලි වැටකුත් ගහලා තියෙනවා. ඒකට විදුලිය දෙන්න සූර්ය කෝෂ කුටියකුත් හදලා තියෙනවා. ඒත් අංගම්පොර ගමේ වැඩ සම්පූර්ණයෙන්ම ඉවර කරන්ඩ බැරිවෙලා. දැන් මේ ගොඩනැගිලි ඇතුළු අනෙක් ඉදිකිරීම් කැලේට යට වෙනවා. මේ ගොඩනැගිලිවල තහඩු වහලයට උඩින් ඉලුක් වහලා තියෙන්නේ සිවිලිං ලෑලි ගහලා ඊට යටින් විශේෂ ගෝනි කවරවලින් ආවරණය කරලා තියෙන්නේ. දැන් ඒ ගෝනි රෙදි වවුල්ලු, මීයෝ, ලේන්නු වාගේ සත්තු ඇදලා ඉරලා දාලා තියෙනවා. වයරින් පවා කරලා තියෙන්නේ. අද මේවා ජරා ජීර්ණ වෙමින් පවතිනවා. මේකනම් මහා අපරාධයක්. මේවා මහජන මුදල්”

මහව, වැලියාව පදිංචි විශ්‍රාමික ගුරැවරයකු වන ජී. ඩී. සිල්වා මහතා කීවේ මෙවැන්නකි.

“අද අභාවයට යන අපේ පාරම්පරික සටන් කලාවක් ආරක්ෂා කරගැනීමට මේ වගේ වැඩසටහනක්, ගම්මානයක් ආරම්භ කරපු එක අගය කරන්න ඕනේ. අංගම්පොර ගම්මානය ආරම්භ කළා නම් දෙස් විදෙස් සංචාරකයෝ මෙහාට එන්න ගන්නවා. ගම්මානය හදන්නේ නැතිවත් ප්‍රධාන මාර්ගයේ දමා තිබූ බෝඩ් එක දැකලා කට්ටිය ගම්මානය බලන්න කියලා ආවා. හැදුවානම් කොච්චර එයිද කියලා හිතාගන්න පුළුවන්.

සංචාරකයන්ගේ පැමිණීමත් එක්ක මේ ගම්මාන දියුණු වෙන්න තිබුණා. නවාතැන් පහසුකම් සපයන්න, ආහාරපාන හා වෙනත් දේවල් අලෙවි කරන්න තිබුණා. ගමේ පළතුරු ටිකට, එළවළු ටිකට විතරක් නෙවෙයි කැලේ ගඩා ගෙඩියටත් මිලක් ලැබෙන්න තිබුණා.

අනික ගම ඉදිකරන භූමියත් හොඳයි. නගරයට කිට්ටුත් නැති දුරත් නැති භූමියක තමයි හදලා තියෙන්නේ. මහවට කෝච්චියෙන් ඇවිත් ත්‍රීවිල් එකකින් ගමට එන්න පුළුවන්. ඒත් අද මේ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම කඩාවැටිලා. ඉදිකළ ගොඩනැගිලි, සම්පත් කැලේට යටවෙනවා. මහජන මුදල් නාස්ති වීමට ඉඩ අරින්නේ නැතිව ව්‍යාපෘතියේ වැඩ සම්පූර්ණයෙන් අවසන් කරලා ඒ කටයුතු ආරම්භ කරන්න ඕනේ. එහෙම නැත්නම් දැනට ඉදිකොට ඇති ගොඩනැගිලි ප්‍රයෝජනවත් කටයුත්තකට යොදවන්න ඕනේ. අපේ ඉල්ලීම ඒකයි”

තිඹිරිකැලේ අංගම්පොර ගම්මානයේ නිර්මාතෘ ලෙස සැලකෙන්නේ එවකට සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යවරයා වූ හා කුරුණෑගල දිස්ත්‍රික් වත්මන් මන්ත්‍රී ටී. බී. ඒකනායක මහතාය. අප ටී. බී. ඒකනායක මන්ත්‍රීවරයා හමුවූයේ මේ ගම්මානයේ ඉතිහාසය හා වර්තමාන තත්ත්වය පිළිබඳව වැඩිමනක් තොරතුරැ දැන ගැනීමටය.

“අංගම්පොර ගම්මානයක් ඉදිකරන්න ඕන කියන සිතුවිල්ල ඇති වුණේ කාරණා කීපයක් නිසයි. ප්‍රධාන එක අපේ මේ ශ්‍රේෂ්ඨ සටන් කලාව රැකගැනීම. අංගම්පොර සටන් කලාව ගැන දන්න පරම්පරා කීපයයි අද ලංකාවේ ඉන්නේ. රත්නපුරය පැත්තේ, රිටිගල, අවිස්සාවේල්ල, හොරතොට වාගේ ප්‍රදේශ කීපයක ගුරුකුල කීපයක් තියෙනවා. මේක නිල ශාස්ත්‍රය එක්ක යන සටන් ක්‍රමයක්. සමහර පරම්පරාවල අය මාරාන්තික නිල ඉගැන්වුවේ නෑ.

මොකද ඒවා නරක විදිහට පාවිච්චි කරයි කියලා. වටිනා ශාස්ත්‍රයක්. ඒ ශාස්ත්‍රය ජාත්‍යන්තරයට අරන් යන්නත් විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණය ලබාගන්නත් මේ වාගේ ගමක් නිර්මාණය කරන්න ඕන කියලා හිතුවා. දෙස් විදෙස් සංචාරකයන්ගේ පැමිණීමත් සමඟ ප්‍රදේශයේ හා ජනතාවගේ ආර්ථික දියුණුව අපේක්ෂා කළා.

ඕවා හිතලා ගම්මානය ඉදිරි කරන්න සුදුසු ඉඩමක් සෙව්වා. අමාරුවෙන් තමයි ඔය ප්‍රදේශය සොයාගත්තේ. රජයට අයත් ඉඩම් වුණත් ඒවා මිනිස්සු අත්පත් කරගෙන හිටියේ. මිනිස්සුන්ගේ අකැමැත්ත මත ඉඩම් අක්කර දාසයහමාරක් සංස්කෘතික අමාත්‍යංශයට පවරාගෙන ඉදිකිරීම් ආරම්භ කළා.

පුහුණු මධ්‍යස්ථානය, පුස්තකාලය, නේවාසිකාගාර ගොඩනැගිලි, මුලුතැන්ගේ, භාවනා මධ්‍යස්ථානය හදලා ඉවරයි. ආරක්ෂිත වැට, වැසිකිළි ආදියත් ඉදිරිකරලා තියෙන්නේ. ඒවට රැපියල් කෝටි දෙකක විතර මුදලක් වැය කරලා තියෙනවා. අංගම් මඩුව හා ඌරා කොටු ළිඳ හදන්න තියෙනවා. ඒ ළිඳ ඇතුළෙත් සටන් කරන අවස්ථා තියෙනවා. ඒකට බහින්නේ ලේවලින් අත්සන් කරලා. ඒ තරම් ජීවිත අවදානම්. ඒ වගේම ගේට්ටුව දාන්න තියෙනවා. ඔය කටයුතු සඳහා තවත් රුපියල් ලක්ෂ 100ක් විතර වියදම් වෙයි. දැන් තියෙන්නේ මේ වැඩිලා තියෙන බූටෑව ශුද්ධ කරලා ඉතිරි අඩුපාඩු සම්පූර්ණ කරලා මේ ගම ලෝකෙට විවෘත කරන එක විතරයි.

මේ භූමියේ ඖෂධ වර්ග, මල් වර්ග වගා කරන්නත් අදහසක් තිබුණා. මේ මුලුතැන්ගේ හෝ මේ පරිශ්‍රයේ මස්, මාළු ආහාරයට දෙන්නේ නෑ. වස විෂ නැති එළවළු විතරයි පිසින්නේ. මත්පැන්, දුම්වැටි පාවිච්චිය බෑ. පුරාණ පිරිත් අනුව කටයුතු සිද්ධ වෙන්න ඕන. අංගම්පොර ශිල්පීන්ට නවාතැන් පහසුකම් දීලා ඒ සටන් කලාව පුහුණු කරන්න බලාපොරොත්තු වුණේ. ඒ අත්දැකීම් සංචාරකයන්ට බෙදා දෙන්න සැලසුම් කරලා තිබුණා. අධ්‍යයන පහසුකම් සැලසීමට කටයුතු කරන්න බලාපොරොත්තු වුණා.

පුරාණකම රුකෙන පරිදි තමයි ගොඩනැගිලි පවා නිර්මාණය කළේ. ගඩොල් බිත්ති වුණත් පිටත මැටි ආලේප කොට කටු මැටි බිත්ති වාගේ පේන්න ඉදිකරලා තියෙන්නේ. ඒත් මේ ආණ්ඩුව මේක නතර කරලා. ඉතිරි වැඩවලට සල්ලි දෙන්නේ නෑ. අර පරදේශක්කාරයන් අපේ පැරණි පුස්කොළ පොත් පිච්චුවා වගේ වැඩක් මේ කරලා තියෙන්නේ.”

මන්ත්‍රීතුමා මේ ගැන වත්මන් බලධාරීන්ට කීවේ නැද්ද? මම ඇසුවෙමි.

“හිටපු සංස්කෘතික ඇමති නාවින්න ඇමතිතුමාට කීවා. දැන් ඉන්න සජිත් ප්‍රේමදාස ඇමතිතුමාට කිව්වා. හැන්ඩ්සාඩ් ගතවෙන්න ඕන නිසා පාර්ලිමේන්තුවෙත් කතා කළා. ඒවා බීරි අලින්ට වීණා වාදනය කරනවා වගේ වුණා” යි ටී. බී. ඒකනායක මන්ත්‍රීවරයා අපේක්ෂා භංගත්වයෙන් අවසන් වරට කීය.

අංගම්පොර සටන් කලාවේ නිල බලා පහර දෙන ක්‍රමවේදයක් තිබේලු. මාරාන්තික නිලත් ඒ අතර තිබේලු. පුරණ ඇදුරන් ඒ මාරාන්තික නිල සාස්තරේ නූගැන්නුවේලු. මන්ද නරක විදිහට පාවිච්චි කිරීමට ඉඩ ඇති නිසාලු. එය යහපත්ම යහපත් කටයුත්තකි. එසේ උගන්වා තිබුණේනම් මේ මහජන මුදල් කාබාසිනියා කරන ඇත්තන්ට එවැනි නිල දත් අංගම්පොර සටන් ශිල්පීන්ගෙන් කවර ඉරණමක් අත්වේදැයි සිතාගැනීමට නොහැකිය.

සටහන හා ඡායාරූප - ගල්ගමුව නිහාල් ජයවීර

 

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00