2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා

හිරේ ඉඳන් වැඩේ දෙන කප්පම්කාරයෝ

 2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 59

පාතාලයත් දේශපාලනයත් ගහට පොත්ත මෙනි. දෙක එකටම බැඳී තිබෙන නිසා මැතිවරණ සමය යනු පාතාලයන්ට වසන්තය උදාවීමකි. ඇතැම් පාතාලයන් කලඑළි බහින්නේම මෙකී වසන්තය උදෙසාය. කාලයක් විදෙස්ගතව හෝ හිතාමතාම ඇප නොගෙවමින් සිටින පාතාලයන් වීදි බසින්නේ මෙකී වසන්තයටය. ඒ ඇති පදමට අතේ පයේ හයිය පෙන්විය හැකි හොඳම කාලය වන්නේ මෙකී සමය නිසාය.

එසේ පැමිණ කවුරුන් හෝ දේශපාලනඥායකුට සමීප වෙමින් ඔවුන්ගේ අපරාධ වැඩ සිදුකර ඔවුන් සතුටු කිරීම පාතාලයන්ගේ එකම අරමුණ වී ඇත. එසේ ඔවුන් සතුටු වීම මත ඕනෑම කැත වැඩක් කළ හැකි බවත් එසේම පොලීසියෙන් බේරිය හැකි බවත් පාතාලයෝ දනිති. කෙසේ වෙතත් මේ කියන්නට යන්නේ මේ දිනවල පාතාලය විසින් සිදුකරන තවත් ජාවාරමක් ගැනය. එනම් බන්ධනාගාර ගතව සිටින සුළු වැරදි සැකකරුවන් සහ පාතාල සාමාජිකයන්ගේ ගෝලයන් අලුත් මෙහෙයුමක් ආරම්භ කර ඇත. ඒ බන්ධනාගාරයේ සිට කප්පම් එකතු කිරීම සඳහාය.

දැනට බන්ධනාගාරගතව සිටින සුළු වැරදිකරුවන් විසින් මෙම ජාවාරම මෙහෙයවන්නේ දරුණු ගණයේ අපරාධකරුවන් වන තම නායකයන්ගේ නම් ගම් විකුණමින් බව සඳහන් වේ. බන්ධනාගාරයේ සිට කොළඹ අවට ව්‍යාපාකාරිකයන් හට ඇමතුම් ලබාදෙන මේ පිරිස පවසන්නේ තමන් කංජිපානි ඉම්රාන්, අංගොඩ ලොක්කා, මදුෂ්, කොස්ගොඩ තාරක, කෙසෙල්වත්තේ දිනුක යන අයගේ ගෝලයන් බවත්ය. ඒ පිරිස ඉදිරි මැතිවරණයේදී අහවල් අයට වැඩකටයුතු කරන නිසා ඒ සඳහා මුදල් අවශ්‍ය බව පවසා ඇමතුම් ලබාදෙන බව සඳහන් වේ. රුපියල් 50000 සිට ලක්ෂ 500000 දක්වා එම මුදල් කප්පම් ඉල්ලන බවය.

එම මුදල් ගිණුම්වලට බැර කරන ලෙස දන්වන අතර යම් ආකාරයකින් පොලීසියට දැනුම් දුනහොත් ඔවුන්වත් ඔවුන්ගේ පවුලේ අයවත් ඝාතනය කරන බවට තර්ජනය කර ඇත. කෙසේ වෙතත් මේ තර්ජන සම්බන්ධයෙන් ඇතැම් අය පොලීසිවලට යාමට පවා අකමැති වී ඇත. ඒ සැබැවින්ම පොලීසිය හරහා තොරතුරු එළියට යනු ඇතැයි සැක කරන නිසාය. ඇතැම් ව්‍යාපාරිකයන්ගේ නිවාස සහ ව්‍යාපාර ස්ථාන සොයා පාතාලයන්ගේ ගෝලයන් ගිය අවස්ථාද ඇති බව දැනගන්නට ඇත.

කෙසේ වෙතත් මේ පාතාල පිරිස් සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කළත් කිසිදු තොරතුරක් සොයා ගැනීමට හැකි නොවන බව සඳහන්ය. ඒ ඔවුන් බන්ධනාගාරය තුළ සිට කතාකරන නිසාය. ඇතැම් අය අද භාවිත කළ දුරකථන අංකය හෙට දිනයේ වෙනස් කර භාවිත කරන බවද අනාවරණය වී ඇත.

කෙසේ වෙතත් පාතාලයට සම්බන්ධ මේ පිරිස ඇතැම් අවස්ථාවල ඇමතුම් ලබාදී පවසා ඇත්තේ පාතාලයේ ප්‍රබලයන් හට ඇප ලබාගැනීම සඳහා එම මුදල් අවශ්‍ය බවය. එසේ කී අය අතර ප්‍රබලයන් සිටින නිසාත් එම ප්‍රබලයන් එම ව්‍යාපාරිකයන් ජීවත්වන ප්‍රදේශවල සිටින නිසාත් ව්‍යාපාරිකයන් බියවී මුදල් ලබාදෙන බව මේ වනවිට දැනගන්නට ඇත.

කෙසේ වෙතත් මුදල් ලබා නොදුනහොත් ඡන්ද සමයේදී ඔවුන් සොයාගෙන නිවසට පැමිණෙන බවත් දන්වා තර්ජනය කර ඇතැයි ද කෙසේ වෙතත් මේ පිරිස් දිගින් දිගටම කතා කරමින් තර්ජනය කරමින් මුදල් ඉල්ලන නිසාත් ඇතැම් ව්‍යාපාරිකයන් මාසිකව එම මුදල් ලබාදෙන්නට සිදු වී ඇති බව දැනගන්නට ඇත. එහෙත් කිසිවකු මේ පිළිබඳව පොලීසියට දන්වා නැත. මේ සම්බන්ධයෙන් විශේෂ කාර්ය බළකාය වෙත තොරතුරු ලැබී ඇති අතර ඔවුන් මේ සම්බන්ධයෙන් විශේෂ පරික්ෂණයක් ආරම්භ කර ඇත. එම පරීක්ෂණයට අනුව මෙම පිරිස සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය වී ඇත.

කෙසේ වෙතත් මේ පිරිසට එළියේ සිට සහයෝගය දක්වන බොහොමයක් දෙනෙක් සම්බන්ධයෙන්ද තොරතුරු අනාවරණය වී ඇත. එනම් ඒ පිරිසද පාතාල සාමාජිකයන් වන අතර ඔවුන් හෙරොයින්, මිනීමැරුම්වලට අදාළ පිරිස් බව අනාවරණය වී ඇත. ව්‍යාපාරිකයන් හරිහැටි පැමිණිලි නොකර මේ පිළිබඳව සොයාබැලීම පලක් නොවන ක්‍රියාවක් බව ආරක්ෂක අංශ සඳහන් කරයි. එහෙත් ඇතැම් ව්‍යාපාරිකයන් තම ජීවිතය රැකගැනීම සඳහා පොලීසියට පැමිණිලි නොකර සිටින බව සඳහන් වේ.

කාලයක් බන්ධනාගාරයේ සිටින පිරිස් විවිධ නම් වලින් පෙනී සිටිමින් මෙලෙස කප්පම් ලබාගෙන ඇත. ඇතැම් අවස්ථාවල ආයුධ පෙන්වා ඝාතනය කිරීමට පවා උත්සාහ ගෙන ඇති අතර තවත් පිරිසගේ දේපළ පවා කොල්ලකාගෙන ගොස් ඇත. ඇතැම් ව්‍යාපාරිකයෝ තම ජීවිතය බේරාගැනීම සඳහා රට අතහැර යන තත්ත්වයට පවා පත්ව සිටිති. ඒ තමන්ගේ දේපළ පවා අත්හැර දමාය.

කෙසේ වෙතත් කුඩු පාතාලය කඩාවැටීමත් සමඟ කුඩු වලින් ජීවත් වුණු බොහොමයක් මේ වනවිට අසරණ වී සිටිති. ඒ තමන්ට මුදල් නොමැති වීම නිසාය. මේ නිසා ඔවුන් ව්‍යාපාරිකයන් හරහා කප්පම් ගැනීමට පුරුදු වී ඇත. තමන්ගේ නායකයන් සඳහා නඩු කතා කිරීමට අවශ්‍ය මුදල් සොයා ගැනීමේ අරමුණින් මෙම තත්ත්වය උද්ගත වී ඇත.

මේ වනවිට දැනගන්නට ඇති පරිදි පාතාලා සාමාජිකයන් විශාල පිරිසක් මැතිවරණ ව්‍යපාර සඳහා සූදානම් වෙමින් සිටිති. ඒ ඔවුන්ගේ නායකයන්ගේ මඟ පෙන්වීම මතය. මේ වනවිට බ්ලු මැන්ඩල් සංඛ සහ දෙමටගොඩ චමින්ද යන පිරිස, කොස්ගොඩ සුජී, මාකිලංගමුවේ සංජීව, අංගොඩ ලොක්කා වැනි ප්‍රබල පාතාලයන් මේ සඳහා සූදානම් වන බවත් දැනගන්නට ඇත.

පාතාල ලෝකයෙන් දැනගන්නට ඇති පරිදි මෙවර මැතිවරණය අතරතුර ඔවුන් තම ව්‍යාපාර ජාවාරම් රුසක් මැතිවරණ උණුසුම අතරතුර සිදුකිරීමට ද තීරණය කර ඇතැයි කියති. ඒ නිසා ඉදිරි මැතිවරණ සමයේ පාතාලයේ හැසිරීම් රැසක් රටට බලාගත හැකිවනු ඇත.

අසංක කළුබෝවිල

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00