දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට වැටිය දක්වා ඇති පළමු සහ දෙවැනි අදියරවල වැඩ අවසන් කර නොමැති අවස්ථාවක වැටියේ සිට මත්තල දක්වා ඇති ඉතිරි අදියර දෙක විවෘත කිරීමෙන් ගැටලු රැසකට මුහුණ පෑමට සිදුවනු ඇතැයි ජනතාව පවසති.
මාතර ගොඩගම සිට මත්තල දක්වා දිවෙන දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සිදුකරන්නේ අදියර හතරකිනි. එනම් ගොඩගම සිට බෙලිඅත්ත දක්වා කිලෝමීටර 30 පළමු කොටස ලෙසද, බෙලිඅත්තේ සිට වැටිය දක්වා කිලෝමීටර 26 දෙවැනි කොටස ලෙසද, වැටිය සිට අන්දරවැව දක්වා කිලෝමීටර 15 තෙවැනි කොටස සහ අන්දරවැව හරහා මත්තල දක්වා කිලෝමීටර 25 සිවුවැනි කොටස ද ලෙසය. මාතර ගොඩගම සිට මත්තල දක්වා සම්පූර්ණ දුර කිලෝමීටර 96කි.
පළමු අදියරේ ඉදිකිරීම් සිදුකරන මාතර කිරින්ද වලකන්ද ප්‍රදේශයේදී ඉකුත් මස 17 වැනිදා දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොටසක් නායයෑමට ලක්ව තිබිණි. එම ප්‍රදේශයට ඇද හැළුණු අධික වර්ෂාවත් සමඟ අධිවේගී මාර්ගයේ අඩි තුන්සීයක් පමණ දිගින් යුතු ප්‍රමාණයක් නායයෑමට ලක්ව තිබූ අතර තවමත් එහි ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් වී නොමැත.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගොඩගම සිට බෙලිඅත්ත දක්වා වන කොටස ඉදිරි සතියේ විවෘත කිරීමට නියමිත බවට මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දැනුම් දී තිබුණද බෙලිඅත්ත හුවමාරු මධ්‍යස්ථානයේ ඇතුළු වීමේ සහ පිටවීමේ දොරටුවල සැකිලි පමණක් ඉදිකර ඇති ආකාරය දක්නට හැකිය. තවද එහි ඉදිකිරීම් කටයුතු තවමත් සිදුකෙරෙමින් පවතින ආකාරය දක්නට හැකිය.
මාතර සිට බෙලිඅත්ත දක්වා වන පළමු අදියරෙහි ඉදිකිරීම් කටයුතු මෙම වර්ෂයේ ජූලි මස 18 වැනිදා අවසන් වීමට තිබූ බවද බෙලිඅත්ත සිට වැටිය දක්වා වන දෙවැනි කොටසෙහි ඉදිකිරීම් මෙම වසරේ ඔක්තෝබර් මස 27 වැනිදා අවසන් වීමට තිබූ බවද වැටිය සිට අන්දරවැව දක්වා වන තෙවැනි කොටසෙහි ඉදිකිරීම් ජූනි මස 12 වැනිදා අවසන් වන බවද එතැන් සිට මත්තල දක්වා වන කොටසෙහි ඉදිකිරීම් කටයුතු ජූලි මස 9 වැනිදා අවසන් වීමට තිබූ බවද මාර්ග සංවර්ධන අධිකාරියේ නිල වෙබ් පිටුවෙහි සඳහන් වෙයි.
මෙහි පළමු සහ දෙවැනි අදියර විවෘත නොකර තෙවැනි සහ සිවුවැනි අදියර පමණක් විවෘත කිරීම හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණෙන මගීන්ට මාතර ගොඩගම සිට වැටිය දක්වා ගමන් කිරීමට සාමාන්‍ය මාර්ගය භාවිත කිරීමට සිදුවේ. එතැන් සිට යළිත් වැටිය ප්‍රදේශයෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළු කර මත්තල දක්වා ගමන් කිරීමට මගීන්ට සිදුවනු ඇත.
මෙම ව්‍යාපෘතියේ හතරවැනි අදියරේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඒ.පී.කේ.අබේධීර මහතාගෙන් කළ විමසීමේදී ඔහු පැවසූයේ, දක්ෂිණ අධිවේගී මාර්ගයේ අන්දරවැව සිට මත්තල දක්වා වන කොටසෙහි ඉදිකිරීම් කටයුතු අවසන් වී ඇති අතර මේ හේතුවෙන් සතියක පමණ කාලයක් ඇතුළත එය විවෘත කළ හැකි බවයි. නමුත් එම කොටස විවෘත කරන දිනයක් පිළිබඳව මෙතෙක් දැනුම් දී නොමැති බවද හෙතෙම පැවසීය.
මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි මහතාගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී ඔහු මෙසේ කීය.
“දක්ෂිණ අධිවේගී මාර්ගය මාතර - මත්තල කොටස වීවෘත කිරීම සම්බන්ධයෙන් දැනට දිනයක් නම් කර නැහැ. ගොඩගම සිට මත්තල දක්වා කොටසේ අදියර තුන සහ හතරෙහි පමණක් ඉදිකිරීම් අවසන් කර තිබෙනවා. මේ හේතුවෙන් එම කොටස් දෙක පමණක් විවෘත කළ හැකියි. දෙවැනි අදියරෙහි වැඩ කටයුතු තවමත් අවසන් නැහැ. වර්ෂාව නොමැතිව මාසයක කාලයක් ලැබුණහොත් එහි වැඩ කටයුතු අවසන් කළ හැකියි. මේ නිසා අදියර එක සහ දෙක කොටස් විවෘත කළ නොහැකියි. පළමු අදියරෙහි කොටසක් පසුගිය මාසයේදී නාය ගොස් තිබුණා. එම ස්ථානය වෙනමම ප්‍රතිසංස්කරණය කරමින් පවතිනවා. අධිවේගී මාර්ගයේ ගමන් කරන රථවාහනවලින් අයකරන ගාස්තු සම්බන්ධයෙන් මේ වන විට කටයුතු සූදානම් කරමින් පවතිනවා. තවද දක්ෂිණ අධිවේගී මාර්ගයේ පිටත වටරවුම් මාර්ගයේ ඉදිකිරීම් මෙම මස අවසන් වන බැවින් එයද මේ මස අගදී විවෘත කළ හැකියි” හෙතෙම කීය.
► සිටිනාමළුව - අනීෂා මානගේ