2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා

විවෘත ආර්ථිකයෙන් කම්බස් වූ වීවින් කර්මාන්තය

 2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 961

අතීත මතක මාවතේ පිය මනින අපි ලක්දිව පැරැණිම කර්මාන්තයක මතක අද්දර මොහොතට නතර වූ‍යෙමු. ඈත අතීතය සහ මෑත අතීතය එකින් එක යා කරන අත්යන්ත්‍ර පේෂ කර්මාන්තයේ කතාව දිග හැරෙන්නේ ඒ මතක ඔස්සේය. මේ කතාවේ අක්මුල් දිග පළල පුළුල් ලෙස විමසා බැලිය යුත්තකි. අපි සැකෙවින් මේ මතකයන් ආවර්ජනය කරන්න සැරසෙමු.

පළමුකොට ඈත අතීතයට පිය මනිමු. ලක්දිව පේෂකර්මාන්තය ඓතිහාසිකය. එය විජයාවතරණය දක්වාම දිවයයි. විජය කුමරු ලංකාවට පැමිණ විට කුවේණිය කපු කටිමින් සිටි බවට ජනප්‍රවාදයේ සඳහන් වෙයි. මෙකල ලක්දිව ජීවත් වූ යක්ෂ ගෝත්‍රික ජනයා ඇඳුම් ආයිත්තම් පැළඳ සිටි ශිෂ්ටාචාරගත වූ පිරිසකි. යක්ෂ නායකයාගේ මංගල උත්සව අවස්ථාවට කඩාවැදුණු විජය ඇතුළු පිරිස ඔවුන් මරා යක්ෂයන්ගේ ඇඳුම් ඇඳගත් බව මහාවංශ ටීකාවේම සඳහන්ව තිබේ. එසේ හෙයින් විජයාවතරණයට පූර්ව යුගයේම ලක්දිව රෙදිපිළි වූ බවට සාක්ෂි අපට හමුවේ.

මෙම කර්මාන්තයේ දුරාතීත කතාවෙන් අපි මොහොතකට මෑත අතීතයට එළඹෙමු. නිදහසෙන් පසු ලක්දිව ප්‍රකට වූ ගෘහ කර්මාන්තයක් මෙන්ම ග්‍රාමීය කර්මාන්තයක් බවටද වූ රෙදි විවීම පත්විය. වීවින් සංස්කෘතියක් ග්‍රාමීය වශයෙන් බිහිවූයේ එබැවිණි. ගමේ වීවින් එක බවලතුන්ගේ අතමිට සරුකරන තැනක් බවට පත් විය. ඇතැම් ගම්මාන වීවින් නිසාම යම් පමණකට ස්වයංපෝෂිත විය. ගොවිතැන ආදියෙන් මිදී පැවති ගම්මානවල රාජ්‍ය මැදිහත්වීම මත වීවින් බිහි විය. මේ කර්මාන්තයේ දියුණුව පසුපස තවත් හේතුවක් තිබුණි. ඒ කාර්මික විප්ලවය සමඟ බිහි වූ යන්ත්‍ර සූත්‍රයි.

1978 දී විවෘත ආර්ථිකයන් පසු වීවින් සමඟ ගම් නගර කේන්ද්‍රය කරන බිහිවූ සංස්කෘතියේ වේගවත් බිඳවැටීමක් ඇරඹියේය. බොහෝ දෙනාට ජීවනෝපාය අහිමි විය. අත් යන්ත්‍ර‍ රෙදිපිළි කර්මාන්තය අගාධයට යන්නට විය. විදෙස් රෙදිපිළි දේශීය වෙළෙඳපොළ ආක්‍රමණය කළේය. අද බොහෝ ගම්වල ජරාවාස වී ඇති නොඑසේ නම් වෙනත් කටයුතු සඳහා යොදාගෙන ඇති වීවින්වල කතාවේ අවසානය එයම විය.

කෙසේ නමුත් 1980 දශකයෙන් පසුව රටේ අත්යන්ත්‍ර‍ රෙදිපිළි කර්මාන්තය නව පණක් ලැබුවේය. එහෙත් පෙර මෙන් විසල් වපසරියක එය පැතිර නොගියේය. ඒ සංචාරක කර්මාන්තය සමඟ වූ පිබිදීමකි. කාලයත් සමඟ ශ්‍රී ලංකාවේ නිමවන අත් යන්ත්‍ර රෙදිපිළි වලට (Handloom) විදේශ වෙළඳපොළේ ඉතා ඉහළ ඉල්ලුමක් ඇතිවන්නට විය. එනිසාම අද මේ කර්මාන්තය සීමිත පිරිසක් අතර ඇති සුපිරි කර්මාන්තයක් වී තිබේ.

රෙදි විවීමේ තාක්ෂණ පිළිබඳ අප මීළඟට අවධානය යොමු කළ යුතුවේ. මුල්කාලීනව රෙදි විවීම කරන ලද්දේ කර දෙකක පොල්ලක් දමා එහි සිට පහළට නූල් එල්ලා එකින් එක දික් නූල් මාරු කර ඒ අතරින් හරස් නූල් දමා ඉහළ සිට පහළට ගෙන කොටුවකින් තද කිරීමෙනි. එසේ විවීමේ දී නූල් නිසියාකාරව සෘජුව නොසිටීම ගැටලුවක් වී තිබේ. පසුව දික් නූල්වල පහළ කෙළවරවල මැටි හෝ ගල් එල්ලා ඇත. පසුකාලීනව සාම්ප්‍රදායිකව රෙදි විවීමට අලුව හෙවත් වළ සහිත යන්ත්‍රයක් භාවිතයට ගෙන ඇත. ඊට අමතරව “පාගන යන්ත්‍රය” නමින් හැඳින්වෙන යන්ත්‍රයද රෙදි විවීමේ කටයුතු සඳහා භාවිතයට ගැනීම අදද දක්නට ලැබේ. අලුව හැරුණු විට ශ්‍රී ලංකාවේ වඩාත් ප්‍රචලිත රෙදි විවීමේ අත් යන්ත්‍රය පාගන යන්ත්‍රයයි.

පෙර සතියක පැදුරු වීවිම පිළිබඳ ඔබට කියූ කතාවේ මෙන්ම දුම්බර විවීමේ කර්මාන්තය ඉතා ප්‍රචලිතව තිබී ඇත. අතීත විවීමේ රටා ගැන කතා කිරීමේදී දුම්බර රටා අමතක කිරීමට අපට නොහැකි වන්නේ එබැවිණි. ඒ අනුව දේශීය රෙදි විවීමේදී වඩාත් සුලභව භාවිතයට ගැනෙන රටා කිහිපයක් තිබී ඇත. චාම් වියමන, හිරි වියමන, හාක්ක වියමන, මීවද වියමන, සැටින් වියමන, බොරු ඇහි වියමන එයින් කිහිපයකි. එසේම දුම්බර වියමන් රටාවලට අතර එන කතුර මල, පලා පෙත්ත, මහමල් පෙත්ත, දියරැල්ල, ලියවැල, තුන්පොට ලණුව, දෙපොට ලණුව ආදියද ප්‍රචලිතය.

නූතනයේ මෙම කර්මාන්තය ගැන කතාකරන විට එය ප්‍රදර්ශනාත්මක කර්මාන්තයක් වී තිබේ. සියල්ල දේශීයත්වයට නිෂ්පාදනය කරන බව පෙන්වීමට කර්මාන්තකරුවෝ උත්සුක වෙති. බොහෝවිට සංචාරකයෝ මේ කර්මාන්තය දැක බලා ගැනීමට උත්සුක වෙති. නූල් පිරිසිදු කිරීම වර්ණ ගැන්වීමේ සිට නූල් එතීම, වෝප් කිරීම, අත්යන්ත්‍ර ආධාරයෙන් රෙදි විවීම යන සියල්ල මිනිස් ශ්‍රමය යටතේ සිදුකිරීම මෙහි මූලික ලක්ෂණයකි. විශේෂන්ම අද වනවිට දකුණු පළාතේ මෙම කර්මාන්තයේ ශේෂයන් දක්නට ලැබේ.

මේ කර්මාන්තයේ මෑත අතීතයෙන් මිදී අපි නැවත ඈත අතීතයට පිය මනිමු. විජයාවතරණයට පෙරසේම පසුවත් මෙරට රෙදිපිළි කර්මාන්තය රටේ ශ්‍රී විභූතියට හේතු වී ඇති බව අප මේ සම්බන්ධ කළ කියවීමේදී අවබෝධ විය. අතීත රජ දවස ලංකාව පුරාම කපු වගාකර ඇති අතර ලංකාවෙන් ඉන්දියාවට කපු රෙදි යැවූ බවද ඉතිහාසයෙන් ඇතැම් තැන්වල කියැවේ. මෙම කර්මාන්තය පිළිබඳ මහාවංසයේ ඇතැම් තැන්වලද සාක්ෂි සොයා ගැනීමට මෙරට වියතුන් සමත්ව තිබේ. දඹදෙණියේ රජකම් කළ සාහිත්‍යය විශාරදයෙක් වූ පරාක්‍රමබාහු රජතුමා එක් දිනක් තුළ කපු නෙළා පඬු පොවා රෙදි වියා එදිනම සවස සිවුරැ 80ක් මහ සංඝයාට පූජා කළ බවට කියැවෙන වාර්තාව එවැන්නකි.

ලක්දිවෙන් කාශ්මීර රජ පවුලට රෙදිපිළි සැපයීමෙන් සබඳතා ගොඩනැගී ඇති බවද ඉතිහාසයේ කියැවේ. මෙම වෙළෙඳාම සම්බන්ධව අර්බුදයක් හටගත් බව කියැවේ. යුරෝපීය ආක්‍රමණිකයන් මෙරටට එනතුරැම මෙම කර්මාන්තය ඉතා ප්‍රබලව පැවතී ඇත. එය තහවුරැ වන්නේ ‘එදා හෙළදිව’ කෘතියේ එන සඳහනකිනි. ශ්‍රී ලංකාවේ සෑම ගෙවත්තකම පාහේ කපු ගස් කිහිපයක් වවා තිබූ බවත් ඒවායින් කපු නෙළා තමන්ට අවශ්‍ය රෙදිපිළි නිෂ්පාදනය කර ගැනීමට සිංහල ගැමියා හුරැ වී සිටි බවත් සඳහන් කර තිබේ.

අතීතය ඔස්සේ වර්තමානයට නැවත එළඹෙන විට අද මෙම කර්මාන්තයේ දිග පළල විමසා බැලීම වටී. ශ්‍රී ලංකාවේ නිමවන අත්යන්ත්‍ර රෙදිපිළි අතරින්, කර්ට්න් රෙදි, ඇඳ ඇතිරිලි, මේස රෙදි, අත් පිස්නා, නිමි ඇඳුම්, අතින් වියන ලද පාපිස්න ආදී දෑට විදෙස් රටවල ඇත්තේ ඉහළ ඉල්ලුමකි. දේශීය වශයෙන්ද ඒවාට ඉහළ ඉල්ලුමක් පවතී. රටට විදේශ විනිමය ගෙන ආ හැකි ප්‍රමුඛතම කර්මාන්තයක් බවට මෙය අද පත්ව තිබේ. අතීතයේ විභූතිය වර්තමානයේ නිසි අයුරින් කළමනාකරණ කරන්නේ නම් විසල් දියුණුවක් මේ කර්මාන්තයෙන් අපට අපේක්ෂා කළ හැකිය.

►  චමිඳු  නිසල්
මූලාශ්‍ර - පුවත් වාර්තා සහ පේෂකර්මාන්තය ගැන පරීක්ෂණ වාර්තා
සේයාරූ: අන්තර්ජාලයෙන්

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00