2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා

පොත් පිටු අස්සේ පව්ඩර් මාරයා...

 2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 133

උපදින්නට මත්තෙන් දරුවන්ට පාසල් සොයන මව්පියවරුය. පෙරපාසලේ සිටම අධ්‍යාපන තරගයකට යොමු වූ දරුදැරියන්ය. පුංචි සන්දියේ සිටම අන්තර්ජාලය පරිහරණය කරන්නට ස්මාර්ට් ජංගම දුරකථනය භාවිත කරන දරුවන්ය. මේ නිසාම මාපියන්ට වඩා නව තාක්ෂණය හා මෙවලම් භාවිතය පිළිබඳව දරුවෝ ඉදිරියෙන් සිටිති. මේ හේතුවෙන් නොමගට යන දරු දැරියන් ද සිටින බව වාර්තා වෙද්දී නවතම අනාවරණය වන්නේ දරුවන්ගේ පෙළපොත් හා අභ්‍යාස පොත් පිටු අතරට පවුඩර් හා සමාන මත්ද්‍රව්‍යක් යොමු කර දරුවෝ මත් උවදුරට ගොදුරු කරගැනීමේ සංවිධානාත්මක ජාවාරමක් ක්‍රියාත්මක බවය.

8 වැනි ශ්‍රේණියට ඉහළ සහ අවුරුදු 14 පමණ වයසේ පසුවන දරුවන් සීඝ්‍රයෙන් මත් උවදුරට ගොදුරැ වන බවත් සමස්ත පාසල් පද්ධතියෙන් පිරිමි ළමුන් බහුතරයක් මෙයට ගොදුරු වීමේ අවදානමක් පවතින බවත් අධ්‍යාපන අනධ්‍යන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් කේ. තිලකරත්න මහතා අවධාරණය කරයි. මධ්‍යම රජයේ හෝ පළාත් සභාව යටතේ පාලනය වන දිවයිනේ සෑම පාසලකම අවම වශයෙන් එක දරුවෙක් හෝ මත් ජාවාරමේ ගොදුරක් බවට පත්ව සිටින බව ද ඒ හරහා සෙසු දරුවන්ට මතට යොමු වීමේ අවදානමක් පවතින බවද ඒ මහතා පවසයි.

ඇතැම් ගුරුවරු හා විදුහල්පතිවරු මේ පිළිබඳව අවබෝධයෙන් සිටිය ද පාසලේ කීර්ති නාමය ආරක්ෂා කිරීම පිණිස නිහඬව සිටින බව ද සිය අනාවරණය පිළිබඳව කිසිවෙක් අභියෝග කරන්නේ නම් සාක්ෂි සහිතව ඔප්පු කිරීමට සූදානම් බවද කියා සිටියේය. කාලයෙන් කාලයට මත් ජාවාරම්කරුවෝ සිය ජාවාරම ව්‍යාප්ත කරවීම සඳහා විවිධ උපක්‍රම භාවිත කරති. කාලයක සිට ටොෆි, චොක්ලට්, චුයිංගම්, සිසිල් බීම, බුලත් විට, ජෙල් පැකට්, ඖෂධීය පැණි වර්ග ආදිය උපයෝගී කොටගෙන තිබූ බව හෙළිව තිබිණ. දැන් අලුතින්ම වාර්තා වී ඇත්තේ දරුවන්ගේ පොත්වල පිටු අතරට පියරැ හා සමාන ද්‍රව්‍යක් බහාලීමය. සුගන්ධවත් ලෙස ඇති එය කිසිවකුටත් හඳුනාගැනීම අසීරැය. දරුවන්ට මෙහි සුවඳ ආඝ්‍රාහණය වීමෙන් මත් ගතියක් ඇතිවන බවත් එය ඊට අබ්බැහි වීමට තරම් හේතුවක් බවද වාර්තා වේ.

මෙම ජාවාරම පාසල් ආසන්නයේ සහ ප්‍රධාන පෙළේ අමතර පන්ති පවත්වන ස්ථාන ආශ්‍රිතව ක්‍රියාත්මකව ඇති බව ද අධ්‍යාපන අනධ්‍යන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් කේ. තිලකරත්න මහතා පැවසීය.

ප්‍රධාන පෙළේ අමතර පන්ති පවත්වන මධ්‍යස්ථාන වෙත නන්දෙසින් දරුවෝ පැමිණෙති. එසේ පැමිණෙන ඇතැම් දරුවන් හරහා මත්ද්‍රව්‍ය ගමේ පාසල් වෙත යොමු කරන බවද දැනගන්නට තිබේ. ඇතැම් ජාවාරම්කරුවන් මත්ද්‍රව්‍ය බෙදාහැරීම සඳහා අමතර පන්තියට සහභාගී වන සිසුන් ලෙස සැරසී එම පන්තිවලට සහභාගී වන අවස්ථා ඇති බව ද හෙළි වී ඇත.

හඳුන්වා දෙමින් යන මෙකී මත්ද්‍රව්‍ය ආඝ්‍රාහණය කිරීමෙන් දරැවන් මත්වන බවත් අනතුරුව කරන කියන දෑ නොදන්නා බවත් ඇතැම් දරුවන් නිදි කිරා වැටෙන බවත් කියති. මෙවැනි මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වීමෙන් දරුවන්ගේ අධ්‍යාපනය අඩාල වනවා පමණක් නොව ජීවිතය විනාශ වන බව අජිත් කේ. තිලකරත්න මහතා පෙන්වා දෙයි. සීඝ්‍රයෙන් පැතිරෙන ජාවාරම සම්බන්ධයෙන් සිය සංගමය අනාවරණය කොටගත් තොරතුරු ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ලිඛිතව දැනුම් දුන් බවද මේ ගැටලුව පෑලියගොඩ හා කැලණිය අධ්‍යාපන කොට්ඨාසවල බහුලව දකින්නට ලැබෙන බවද ඔහු පැවසීය. මත් ජාවාරම්කරුවන් විසින් මෙම සුවඳවත් පවුඩර් විශේෂය අලෙවි කිරීම සඳහා“ උගන්වන දේ හොඳින් මතක තිබෙනවා, පාඩම් කරුණු මතක හිටිනවා, නින්ද යන්නෙ නෑ, හොඳට ඉගෙනගන්න පුළුවන්” වැනි ව්‍යාජ කරුණු යොදවා ගන්නා බව ද වාර්තා වේ.

මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බළකාය පෙන්වා දෙන පරිදි ඇබ්බැහි වන ආකාරයේ මත්ද්‍රව්‍ය 650ක් පමණ තිබේ. ගැහැනු දරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි කරවීම සඳහා රෝස, කපුරැ, කුරුඳු, ස්ට්‍රෝබෙරි වැනි සුවඳ හා රස උද්දීපනය වන ආකාරයෙන් ද්‍රව්‍ය අලෙවි කරන බවද වාර්තා වේ. ඇතැම් මත්ද්‍රව්‍ය ටොෆි, චොක්ලට් වැනි රසකැවිලි ස්වරූපයෙන් හා හිත සනසන සුමුදු සුවඳකින් හෙබි නිසා දරු දැරියන් ඒවා මිලට ගැනීමට හා භාවිතයට පෙළඹී ඇත. එහෙත් එම ද්‍රව්‍ය මත්ද්‍රව්‍ය හෝ මත් ජාවාරම්කරුවන්ගේ උගුලක් බව බොහෝ දරුවන් දන්නේ නැත.

මතට ඇබ්බැහි වූ දරුවන් සෙසු අයට වඩා කැපී පෙනෙයි. ඔවුන්ගේ දෑස් රතු පැහැතිය. විටෙක ආක්‍රමණශීලී හා නොසන්සුන්ය. හැසිරීම අසාමාන්‍යය. අධි ක්‍රියාකාරීත්වය හා අවම ක්‍රියාකාරීත්වයත් නිදිමත ගතියත් දැකිය හැකිය. අසීමිත ලෙස ශරීරය කෙට්ටු වීම ද අසාමාන්‍ය තුවාල පැල්ලම් හා ඇස් පෙනීමේ දුර්වලතා ප්‍රධානය.

පවතින තත්ත්වය හමුවේ පෙරට වඩා දරුවන් පිළිබව අවධානය යොමු කළ යුතුය. ඒ සඳහා දෙමාපියන් මෙන්ම පාසල් බලධාරීන් නිසි පියවර ගත යුතුය. කෙනෙක් හෝ සංවිධානයක් වෙතින් ලබාදෙන තොරතුරු සම්බන්ධයෙන් ආරක්ෂක අංශ නිසි ක්‍රියාමාර්ග ගතයුතුය.

සමන්ත ප්‍රදීප් විල්තෙර                                                                                                     

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00