2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා

සාහිත්‍ය සම්මාන කෝදුව හරිද?

 2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 295

තවත් සාහිත්‍ය මාසයක් ඉකුත්ව ගොසිනි. ස්වර්ණ පුස්තක, රජත පුස්තක, ගොඩගේ, සම්මාන උළෙලවල් පසුගිය කාලයේ පැවැත්වුණි. සම්මාන ලැබූ අය ඉන් ලද උනන්දුව නිසා තවත් හොඳ කෘති ලිවීමට බලාපොරොත්තුවෙන් සිටිති. නොලැබුණු සමහරු සම්මාන උළෙල විවේචනය කරති. දැන් පුවත්පත් මාධ්‍යයට අමතරව සමාජ මාධ්‍ය ද පවතින නිසා විචාරය කර කේන්තිය පහකර ගැනීම පහසු වී තිබේ.

පසුගියදා පැවති ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ විශේෂත්වය නම් වෙනදාට වඩා ස්වර්ණ පුස්තක නිර්දේශිත නවකතා සියල්ලම තමන් සතු කරගැනීමට පාඨකයන් දැක්වූ උනන්දුවයි. ඒ අතර විද්‍යෝදය හා රාජ්‍ය සාහිත්‍ය සම්මාන හිමි වූ කෘතිවලට ද විශාල පාඨක ඉල්ලුමක් පැවතුණි.

සම්මාන උළෙලක අරමුණ වන්නේ අදාළ ක්ෂේත්‍රයේ හොඳ කෘති තෝරා ඇගැයීමක් කර ඒවා කියවීමට පාඨකයන් පෙළඹවීමයි. එහෙත් මෙවර ස්වර්ණ පුස්තක මෙන්ම රජත පුස්තක සම්මාන ද දැඩි විචාරයට ලක්වූයේ ඒවායේ මුල් වටයෙන් විශිෂ්ට කෘති ඉවත් වී තිබුණු බව පවසමිනි. මේ පිළිබඳව අපි විචාරකයන්ගෙන් සහ ප්‍රවීණ ලේඛකයන් කිහිපදෙනකුගෙන් අදහස් විමසුවෙමු.

තේරීම්වල පිළිවෙළක් නෑ

සම්මානනීය ලේඛක ටෙනිසන් පෙරේරා

පසුගිය මාසයේ පැවති සම්මාන උළෙලවල් ගැන කතා කිරීමේදී මා මුලින්ම දකින්නේ ඒවායේ තේරීම්වල පිළිවෙලක් එකමිතිකභාවයක් නැතිකමයි. සම්මාන උළෙල හැම එකක්ම සමානව එකම කෘති සමූහයකට සම්මාන දිය යුතු බවක් ඉන් අදහස් වන්නේ නෑ. නමුත් සාමාන්‍ය වශයෙන් හෝ සාම්‍යත්වයක් පැවතිය යුතුයි. වඩාත් කතාබහට ලක්වන ස්වර්ණ පුස්තක සම්මානය ගත්තොත් රාජ්‍ය සාහිත්‍ය හා විද්‍යෝදය සම්මානය ලැබූ මකරානන්දය නවකතාව ස්වර්ණ පුස්තක මුල් වටයේ පොත් 12 අතර නැහැ. ඉන් පෙනෙන්නේ ස්වර්ණ පුස්තක සමීක්ෂණ මණ්ඩලයේ බංකොලොත්බවයි.

පොත් වෙළෙඳ මහත්වරැන්ට ඕනෑ කෑගහලා පොත් ටික විකුණා ගැනීමටයි. ඒ මිස සාහිත්‍යයේ ප්‍රබෝධයක්, සංවාදයක් ඇති කිරීම නොවෙයි. අද බහුතරයක් නවකතා, කෙටිකතා නවක නිර්මාණ. ඒවා හුඟක් දුරට සාර්ථක මදි. එයට හේතුව ඔවුන් ලබන සාහිත්‍ය පෝෂණය අවම වීමයි. සම්මානවලින් සාහිත්‍ය, කලාත්මක ඥානය වැඩි කරවන සබුද්ධික විඥානයක් ඇති කළ යුතුයි.

මේ වතාවේ එවැනි ව්‍යාපෘති අපි දැක්කේ නැහැ. විවිධ ආයතනවලින් සම්මාන දෙනවා. නමුත් සාහිත්‍යය නගා සිටුවීමේ ව්‍යාපෘති නෑ. බිහිවන බහුතරයක් සාහිත්‍ය කෘති දුර්වලයි. තරැණ පරපුර තුළ සාහිත්‍ය සබුද්ධික බව ඇති කරලීමට පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, රාජ්‍ය සාහිත්‍ය අනු මණ්ඩලය ඇතුළු ආයතන අත්වැල සැපයිය යුතුයි.

මකරානන්දය ඉවත් වීම ගැටලුවක්

සම්මානනීය ලේඛිකා කැත්ලීන් ජයවර්ධන

මෙවර ස්වර්ණ පුස්තක සම්මාන ගැන ගැටලු තිබෙනවා. සම්මාන උළෙල තුනකදීම සම්මානය හිමිකර ගත් විරාජිනී තෙන්නකෝන්ගේ මකරානන්දය නවකතාව ස්වර්ණ පුස්තක මුල් වටයෙන්ම ඉවත් වෙනවා. මට ඒක යම්කිසි විශේෂත්වයක් පෙනුණු කෘතියක්. එය ස්වර්ණ පුස්තක අවසන් වටයට නොපැමිණියේ ඇයිද යන්න මට ගැටලුවක්. හුගක් ස්වතන්ත්‍ර නිර්මාණ කියවගෙන යාමට තිබෙන අපහසුව මේකට නැහැ. 

 

ලේඛකයන් කියන්නේ ප්‍රකාශකයන්ගේ ලාභය ඉහළ දමන පිරිසක්

කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ කථිකාචාර්ය චින්තක රණසිංහ

නූතන සිංහල සාහිත්‍යයේ පාඨකයාගේ රසඥතාවය ලේඛකයාගේ ශක්‍යතාවය හා විචාරකයාගේ තීක්ෂණභාවය යනාදී අත්‍යවශ්‍ය මූලික කරැණු සහ කිසිදු සම්මාන උළෙලක් අතරත් සම්බන්ධයක් පෙනෙන්නේ නැහැ. එය ඉතා කනගාටුදායක තත්ත්වයක්. මෙහිදී මතු වී පෙනෙන්නේ පොත් ප්‍රකාශකයන්ගේ ලාභය ඉහළ දමාගැනීම සඳහා සහ ඔවුන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා ස්වෙච්ඡාවෙන් හෝ ඉතා අඩු මුදලකට සේවය කරන ලේඛක විචාරක හා මාධ්‍ය පැලැන්තියක්.

ඒ සිදුවීම් එසේ සිදුවන අතර උසස් ලේඛකයන්, පරිවර්තකයන් හා විචාරකයන් ඉතා දුකසේ උසස් සාහිත්‍ය කෘති නිර්මාණ කටයුතු කරමින් සිටිනවා. සිරිතිලකසිරි පඬිතුමා, ආනන්ද අමරසිරි, සේපාල විජේසේකර වැනි විශිෂ්ට පරිවර්තකයන් මේ සඳහා උදාහරණ කිහිපයක් පමණයි. අවාසනාවකට මෙන් මෙවැනි චරිත හා ඔවුන්ගේ ලේඛන පිළිබඳ පාඨක විචාරක අවධානය යොමුවන්නේ බෙහෙවින් අඩුවෙන්. මෙබඳු උසස් කෘතින් සහ ඒවා රචනා කරන ලේඛකයන්, පරිවර්තකයන් දෙස අවධානය යොමු කරමින් එම කෘති තරැණ පාඨකයන් අතරට පැමිණවීමෙන් පමණක් උසස් සාහිත්‍ය සංස්කෘතියක් නිර්මාණය කර ගැනීමට පුළුවන් බව මගේ විශ්වාසයයි.

 

සමීක්ෂණ ක්‍රියාවලිය වෙනස්විය යුතුයි

ප්‍රවීණ විචාරක සේන තෝරදෙණිය

සාහිත්‍ය සම්මාන තිබිය යුතුයි කියන මතයේ තමා මම ඉන්නේ. වෙනස් විය යුත්තේ සමීක්ෂණ ක්‍රියාවලියයි. සමීක්ෂකයන්ගේ සංයුතියයි. ස්වර්ණ පුස්තක සම්මානයේ දකින්න ලැබෙන දෙයක් තමයි එන්.ජී.ඕ.කාරයන්ගේ න්‍යාය පත්‍රයකට අනුව සම්මාන ලබාදීම.

සාහිත්‍ය සම්මාන විනිශ්චය සාපේක්ෂයි කියන එක මම පිළිගන්නෙ නෑ. එකිනෙකට සාපේක්ෂව සාහිත්‍ය මිනුම්දඬු තිබෙන්න බෑ. එහි අදහස එකම කෘතියට සියලුම සම්මාන හිමිවිය යුතුයි කියන එක නෙවෙයි. විවිධ සම්මානවලට නිර්දේශ වන කෘතිවල සම මට්ටමක් පැවතිය යුතුයි.

සමීක්ෂකයන්ගේ මනාප ක්‍රමයෙන් කෘති තේරීම අත්හැරිය යුතුයි. සමීක්ෂකයන් එම කෘතිවල වැදගත්කම සාකච්ඡා කර ඒකමතික තීරණයකට එළඹිය යුතුයි. පසුගිය සම්මාන උළෙලවල තීරණවල විකෘතිකරණයක් පේනවා. ස්වර්ණ පුස්තක සම්මානයට නිර්දේශිත කෘති 5 රාජ්‍ය සාහිත්‍ය සම්මානයට නිර්දේශිත අවසන් කෘති 4 අතර නෑ. ගොඩගේ සම්මානයට නිර්දේශිත කෘති 5 අතරත් නෑ. රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමිවන කෘතිය ස්වර්ණ පුස්තක අවසන් පොත් 12 අතර නෑ. ගොඩගේ සම්මාන උළෙලේ අවසන් කෘති 5න් ස්වර්ණ පුස්තක අවසන් වටයට නිර්දේශ වී තිබුණේ එක් පොතක් පමණයි. 

ස්වර්ණ පුස්තක අවසන් කෘති 5 පමණක් හොඳම කෘති හැටියට හුවා දැක්වීම අනෙක් පොත්වලට අසාධාරණයක්. බලපුවාම යම්තාක් දුරට පරිකල්පන ශක්තියක්, ලැප්ටොප් කොම්පියුටරයක්, කඩදාසි, වාඩිවීමට තැනක් තිබෙනවානම් අද බිහිවන බොහෝ නවකතා ලිවීමට හැකියි. මේවායේ නැත්තේම නිරීක්ෂණය හා අධ්‍යයනයයි. සමහරු ගම ගැන ලියන්නේ ඉන්ටර්නෙට් බලලයි. ඒකනේ උඩරට ගෙවල්වල කබොක්ගල් බිත්ති, ප්‍රපාතාකාර බෑවුම්වල ජොගිං පථ දකින්න ලැබෙන්නේ.

 කුසුම්සිරි