2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා

කිඳෙල්පිටියට ආ මුවන්පැලැස්ස

 2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 12:31 189

කිඳෙල්පිටියට පැත්නෙන් එන හිරණ පාර බොල්ගොඩ නදිය හමුවන තැන එගොඩත් මෙගොඩත් යා කරමින් දැන් පාලමක් ඉදිවී තිබේ. මයුර සන්දේශයේ මග වැනුම්වලදී බොල්ගොඩ නදිය ගැන කියා ඇත්තේ මෙසේය.

මිලි දුන් මෙකල් වන් බොල්ගොඩ ගොසින් බල

මයුර සන්දේශයේ එසේ කීවත් මේ ඩිජිටල් යුගයේදී නම් බොල්ගොඩ ඇති දේ බලන්නට එහේ යන්නටම ඕනෑ නැත. අත ඇති ස්මාර්ට් ජංගම දුරකථනයේ ගූගල් සිතියම ලබාගත් විට, එගොඩත් මෙගොඩත් යා කරන පාලමේ ඡායාරූප කැමැති කැමැති අතට හරවා නැරඹිය හැකිය. ඡායාරූපය සමඟ පාලම හරහා එගොඩටද ගොස් බැලිය හැකිය.

ඉස්සර එසේ කළ නොහැකිය. මෙගොඩ සිට එගොඩ බලන්නට පාරුවට රුපියල් දෙකක් දී ගඟෙන් එතෙර විය යුතුය. අලුත් පාලම මා මුලින්ම දැක්කේ රාත්‍රී කාලයකදීය. ඒ නාට්‍ය පුහුණුවක් හමාර වී ජයසිරි අයියාව (ඩබ්ලිව්. ජයසිරි නිර්මාණවේදියා) වාහනයකින් නිවසට ඇරලවන්නට ගිය ගමනේදීය. රාත්‍රී අඳුර කපාගෙන සුදු පාටට පින්තාරු කළ පාලමේ දිගට හරහට ඇති පුළුල් යකඩ කඳන් චමත්කාරයක් දනවමින් අපූරුවට දිස්වූයේය. ජයසිරි අයියා ඉන්නේ හිරණ පිං කෑල්ලේය. පිං කෑල්ල කීවාට එය ජයසිරි අයියාට පිනට ලැබුණු ඉඩමක් නොවේ. පිං කෑල්ල ඔහු මුදල් ගෙවා මිලදී ගත් ඉඩමකි.

හිරණ තොටුපොළෙන් ඔරුදෙක හරහට ලෑලි සවිකොට තැනූ පහුරේ නැගී මා පළමුවරට එගොඩට ගියේ 1993 දීය. එගොඩ ගඟ අයිනේ අම්බලමක් ඇති බව මා දැනගත්තේ 1986 දෙසැම්බරයේය. එම ස්ථානයේ ඡායාරූප මා මුලින්ම දුටුවේ එම දෙසැම්බරයේය. ඒ තියුණු කෙටේරිවලින් කපා කොටා ඝාතනය කළ දයා පතිරණගේ සිරුර සහිත ඡායාරූපයයි. ගෙල වටා සහ සිරුර පුරා ලේ වැකි, යට ඇඳුම් පිටින් තිබූ, ඝාතනය කරන ලද පතිරණගේ සිරුරේ වර්ණ ඡායාරූපයක් රාවය සඟරාවේ (එකල රාවය පුවත්පත තිබුණේ නැත) පළ වී තිබුණි. දයා පතිරණ කොළඹ විශ්ව විද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායකත්වය දැරුවේය. සරසවියට එන්නට පෙර මාතර රාහුල විදුහලේ ක්‍රිකට් පිලට ක්‍රීඩා කළ ඔහු දක්ෂ දඟපන්දු යවන්නකු වූ අතර එක් වසරක දකුණේ හොඳම (පාසල්) පන්දු යවන්නා බවට පත්ව සිටියේය. මාක්ස්වාදය පිළිබඳ සඵල දැනුමක් ඔහු උකහාගෙන සිටියේ පතපොත කියවීමෙනි. එවකට රටේ සිටි ප්‍රමුඛ මාක්ස්වාදීන් හමුවී තර්ක විතර්ක කරමින් ඔහු දැනුම බෙදාහදා ගත්තේය.

අම්බලම අසල දමාගොස් තිබූ පතිරණගේ සිරුර මුලින්ම හඳුනා ගත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේ එවකට අපේ සිසු සොයුරන් වූ ඩිමෝටියස් ප්‍රනාන්දු සහ බර්නාඩ් කාරියවසම්ය.

පතිරණ සමඟ පැහැරගෙන ගිය අනෙක් සොයුරා ඝාතනය නොවී බේරුණේය. මළා යයි සිතා දමා ගොස් තිබූ ඔහු කෙඳිරි ගානා විට බේරාගෙන තිබුණේ ගඟේ එගොඩ මෙගොඩ පාරුව පැදි තොටියාය. මසක් පමණ රෝහල් ගතව සිටියදී තමාගේ ගෙල තියුණු කෙටේරි වලින් දෙපසට ඇද කපා දැමූ අයුරු එම සොයුරා අපට විස්තර ඇතුව කීවේය. වාහනයෙන් පැහැරගෙන යද්දී ඝාතකයන් ඔවුන්ගෙන් ඇසූ ප්‍රශ්නවලින් පතිරණ ඝාතනය කළෝ කවුරැන්දැයි අපි දැනගතිමු.

1993 කිඳෙල්පිටිය අම්බලම සමීප ස්ථානය දකින විට පතිරණ ඝාතනය කළ කාලයේ සිට දැනුණු භීතිය නැවත මට සිහිපත් විය. එහෙත් 1993 කිඳෙල් පිටියේ මා නිරත වූයේ සෞන්දර්යාත්මක කාර්යයක නිසා සිතේ පැවැති කම්පනය ඉක්මණින් පහව ගියේය.

පී.යූ.ඩී. පෙරේරා අධ්‍යක්ෂණය කළ මුවන්පැලැස්ස ටෙලිනාට්‍යයේ බොහෝ දර්ශන රූගත කෙරුණේ කිඳෙල්පිටිය බොල්ගොඩ ගඟ සමීපයේය. පී.යූ.ඩී. පෙරේරා ඡායාරූප ශිල්පයේ අතිශය දක්ෂතා පෙන්නුම් කළ ප්‍රවීණ ඡායාරූප ශිල්පියෙකි. මහාචාර්ය සරච්චන්ද්‍රගේ නාට්‍යවල සහ බොහෝ පැරැණි නාට්‍යවල නිශ්චල ඡායාරූප පී.යූ.ඩී. ගත් ඡායාරූපයන්ය. පැරණි නාට්‍ය පිටපත් පෙරළා බැලූවිට ඔහුගේ ඡායාරූප හමු නොවූයේ කලාතුරකිනි. නිශ්චල ඡායාරුපකරණය පමණක් නොව චලන රූගත කිරීම් සහ චිත්‍රපටකරණය පිළිබඳවද හසල දැනුමක් ඔහු සතුවිය.

පී.යූ.ඩී. පෙරේරා අධ්‍යක්ෂණය සඳහා තෝරාගත් ටෙලිනාට්‍ය පිටපත මුවන්පැලැස්ස නිර්මාතෘ මුදලිනායක සෝමරත්න විසින් ලියූවකි. 1993 රූගත කිරීම්වලදී ආරච්චිලගේ චරිතයට පණ දුන්නේ ගුවන් විදුලියේ ඊට කටහඬ දුන් විජේරත්න වරකාගොඩ රංගවේදියාණන්මය. වෙද මාමාගේ චරිතය රඟපෑවේ ගුවන් විදුලියේ එම චරිතයට හඬදුන් අභාවප්ප්‍රාප්ත ගැමුණු විජේසූරිය ප්‍රවීණ ගුවන්විදුලි ශිල්පියාණන්මය. පී.යූ.ඩී. මාව තෝරාගත්තේ වෙදමාමාගේ පුතාගේ චරිතය රඟපාන්නටයි. වෙදමාමා කල්පනාකාරීව දැනුමුතුකමෙන් කටයුතු කරන්නකු වුවද ඔහුගේ පුත්‍රයා නම් නාහෙට නාහන එකෙකි. ඔහු කදිරාගේ සැරපරුෂ යුක්ති සහගත බව අගය කරන අයෙකි.

ගුවන්විදුලියේ මුවන්පැලැස්සට මා සවන් දුන්නේ පාසලේ තුනේ පන්තියේ ඉගෙන ගන්නා කාලයේ පටන්ය. දිනක් අටට ප්‍රචාරය වීමට නියමිත මුවන් පැලැස්සට සවන්දෙනු සඳහා අපි (නිවසේ සියලුදෙනා) පැරණි රේඩියෝව වටා රැස්ව සිටියෙමු. “මේ වෙලාවට ප්‍රචාරය වීමට නියමිත මුවන්පැලැස්ස නාට්‍ය ප්‍රචාරය නොවන බව කරුණාවෙන් සළකන්න” යැයි එවේලේ නිවේදනය කෙරුණි. එවේලේ සිතට පැමිණි ආවේගය නිසා රේඩියෝවට මිට මොලවා පහර දෙන්නට තරම් මම එකල මෝඩයකු වූයෙමි.

විජේරත්න වරකාගොඩ, ගැමුණු විජේසූරිය යන ජ්‍යෙෂ්ඨ ශිල්පීන් පෞද්ගලිකව දැන හඳුනාගෙන ටෙලිනාට්‍යයේ රූගත කිරීම්වලට සහභාගීවීම මට මහත් ආශ්වාද ජනක කටයුත්තක් විය. සැවොම විජේරත්න වරකාගොඩ ශිල්පියාව හැඳින්වූයේ “වරක්ස් අයියා” කියාය. සැහැල්ලුවෙන් හිඳිනා විට ඔවුන් කළ විහිළු තහළු නාට්‍ය නිර්මාණ තරමටම රසවත් විය. කිඳෙල්පිටිය අම්බලම දුටුවිට සිතට නැගුණු භීතියේ කම්පනය ඔවුන්ගේ විහිළු තහළු නිසා මඳකුදු සිතෙහි ශේෂ නොවූයේය.
විජේරත්න වරකාගෙඩ හෙවත් වරක්ස් අයියා වේදිකා නාට්‍යවල රඟපානු මා ඉන් පෙර නරඹා තිබිණි. සිංහබාහු නාටකයේ යුවරජ චරිතය රඟපාමින් 

තේජවන්ත වංග රජුගේ තුංග වූ ප්‍රත්‍යන්ත දේසේ 

යන යුවරජ ගීය ගායනා කරද්දී එහිදී කන් බිහිරි කරවන නදින් ප්‍රේක්ෂකයෝ ඔහුට ඔල්වර නැගුවෝය. ඔහු තමාටම ආවේණික අයුරින් මනමේ නාට්‍යයේ (වැදි රජ) චරිතය රඟපාන ආකාරය ද මම දැක ඇත්තෙමි. මුවන්පැලැස්ස රෑගත කිරීම්වලදී වාහනයෙන් යන එනවිට වරෙක ඔහු (හිරු පායනවා - මල් පිබිදෙනවා - මැණිකේ හිනැහෙනවා) ගීය ගායනා කරමින් අප සැම පිනවූයේය.

වරෙක හේනක දර්ශනයක් සඳහා තෝරාගත්තේ හොරණ කනංවිල රජයේ ගොවිපොළය. රෝහණ බැද්දගේ රංගවේදියාගේ නිවස පිහිටා තිබුණේ ඒ සමීපයේය. රූගතකිරීම් අතර ලැබුණු විවේකයේදී අපි රෝහණ බැද්දගේ නිර්මාණවේදියාගේ නිවෙසට ගොඩ වැදුණෙමු. එවේලේ අපේ අතිදක්ෂ රංගශිල්පී ජයලත් මනෝරත්නයන් සහ එකළ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට ක්‍රීඩා කළ අතුල සමරසේකර එහි පැමිණ සිටියෝය. රෝහණ බැද්දගේ එදා අපට තේවලින් සහ පටිගත එතුමාගේ සංගීත නිර්මාණයකින් සංග්‍රහ කළේය.

නාට්‍ය රංගනයට දායක වූ සරත් කුලාංග සහ මෑතකදී අප හැර ගිය ගාමිණී හෙට්ටිආරච්චිගේ ඇසුර ද ආශ්වාදජනක විය. සරත් කුලාංග රඟපෑ චරිතයේ නම තක දොං මාමාය.

ශිල්පීන් සැමදෙනා එක්ව කිඳෙල්පිටියේ පැවැත්වූ සාදයකට මුවන්පැලැස්ස නිර්මාතෘ මුදලිනායක සෝමරත්න ද සහභාගී වූයේය. පැරැණි මුවන්පැලැස්ස චිත්‍රපටය රූගත කරද්දි මහියංගණයේ සිදු වූ අපූරු සිද්ධීන් පිළිබඳව ඔහු එහිදී සිහිපත් කළේය.
කෙසේ වුවද ඇතැම් ගැටලු නිසා එම මුවන්පැලැස්ස ටෙලි නාට්‍ය නැවත රූතල කිරීමට කරුණු යෙදිණි. තවත් අවුරුදු 13කට පසු ගල්ගමුවේදී මුවන්පැලැස්ස නැවත රුගත කෙරිණි. එහිදී ආරච්විලගේ චරිතය සිරිල් වික්‍රමගේත්, වෙද මාමාගේ චරිතය රෝහණ බැද්දගේත් රඟපෑවෝය. අවුරුදු 13කට පෙර මා රඟ පෑ වෙද මාමාගේ පුත්‍රයාගේ චරිතය මම නැවත රඟපෑවෙමි.

දයා පතිරණ ඝාතනය වී අවුරුදු 25 සමරනු සඳහා ස්වාධීන ශිෂ්‍ය සංගමයේ අසූ ගණන්වල සාමාජිකයන්ව සිටි අය එකතු වී අනුස්මරණ වැඩසටහනක් පැවැත්වූහ. පතිරණගේ මළ සිරුර කිදෙල්පිටියේදී හඳුනාගත් ඩිමෝටියස් ප්‍රනාන්දු සහ බර්නාඩ් කාරියවසම් එකී 25 වැනි වසර සැමරීමේ සම්මන්ත්‍රණය සංවිධානය කිරීමේ ලා මහත් මෙහෙවරක් ඉටු කළහ.

හිරණ තොටුපොළ සමීපයේ සියලු දෑ දැන් පාලම ඉදිකිරීමත් සමඟ වෙනස් වී ඇත. අප මිතුරු සරත් ද සිල්වා දැන් පදිංචිව සිටින්නේ හිරණ පාලම සමීපයේය. 1993දී මා දුටු අම්බලම, තොටුපොළ ආදිය සොයමින් මම ඒ සමීපයේ මගේ මිතුරා සමඟ 2018දී ඇවිද ගියෙමි. ඒවා තිබූ සළකුණකුදු දැන් සොයාගන්නට නැත. අප මුවන්පැලැස්සේ ආරච්චිල වලව්වට යොදාගත්තේ ඒ සමීපයේ තිබූ ප්‍රදේශවාසීන් ආරච්චි වලව්ව නමින් හැඳින්වූ පැරුණි වලව්වකි. සිංහල උළු සෙවිලි කළ විශාල නිවෙසක් වූ එහි පැරණි යුගයට අයත් ලක්ෂණ බොහෝ සෙයින් තිබිණි. එහි එවකට හිමිකරුවා වූයේද ආරච්චිල නමින් හැඳින්වූ මහත්මයෙකි. ප්‍රදේශවාසියෙක් අපට ආරච්චිලා වලව්ව තිබුණු ස්ථානය. මට පෙන්වූයේය. මට එම ස්ථානය 1993දී දුටු ස්ථානය ලෙස කිසිසේත් අඳුනාගත නොහැකි විය. කාලයත් සමඟ සියලු භූමි දර්ශන බොහෝ සෙයින් වෙනස්ය. ඒ කාලයේ මුවන්පැලැස්සට යොදාගන්නට තරම් ගමක ස්වරෑපය ඒ අවට තිබිණි. දැන් ඇත්තේ අලුතෙන් ජනයා පැමිණ පර්චස් 20, 10 ඉඩම්වල පදිංචි වන අලුත ජනාකීර්ණ වෙමින් පවතින ප්‍රදේශයකි. බොල්ගොඩ ගඟ පමණක් එසේම ගලා බසී. පතිරණ ඝාතනය පිළිබඳ මගේ සොඳුරු නොවූ මතකයත්, 1993 මුවන්පැලැස්ස රූගත කිරීමට ආදර සොඳුරු මතකයත් එසේමය. මතකය සුන්දරම නැත.

 සමන් පුෂ්ප ලියනගේ

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00