හත්වැනි විධායක ජනාධිපති තෝරාපත් කරගන්නා සටන පසුගිය හත්වැනිදායින් ආරම්භ විය. මෙවර ජනාධිපතිවරණයේ ඇප මුදල් තැන්පත් කිරීමේ සිටම එය ඉතිහාසගතවන මැතිවරණයක් බවට පත්විය. එනම් ඉතිහාසයේ පළමු වතාවට අපේක්ෂයෝ 41ක් ඇප බැන්දාහ. මෙය ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයන් පිරිසක් විසින් ඇප මුදල් තැන්පත් කළ පළමු අවස්ථාව විය.
ඒ අනුව අපේක්ෂකයන් 41ක් පසුගිය ඉරිදා (06) දහවල් 12 වනවිට ඇප මුදල් තැන්පත් කර තිබුණි. කෙසේ වෙතත් ඇප මුදල් තැන්පත් කිරීමේදී සුවිශේෂී සිදුවීම් කිහිපයක් එම කාලයේ සිදුවුණේය. විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව අභියාචනාධිකරණය හමුවේ ගොනුකළ පෙත්සමේ තීරණය ලබාදීමට තිබුණේ පසුගිය සිකුරාදාය. බොහෝ දෙනා එදින සිතුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා එම නඩු තීන්දුවෙන් පරාජය වනු ඇතැයි කියාය. එයට හේතුව වුණේ පසුගිය සිකුරාදා දහවල් හදිසියේ චමල් රාජපක්ෂ මහතා ඇප මුදල් තැන්පත් කිරීම නිසාය. මේ නිසා ගෝඨාභය වෙනුවට චමල් ඉදිරිපත් වෙනු ඇතැයි බොහෝ දෙනා සිතූහ. කෙසේ වෙතත් අවසානයේ ගෝඨභය රාජපක්ෂ එම නඩුවෙන් ජයගත්තේය.
මේ අතර තවත් සුවිශේෂී සිදුවීමක් එදින දහවල් සිදුවුණේය. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා එදින ඇප මුදල් තැන්පත් කිරීමයි. කෙසේ වෙතත් වෙල්ගම මහතා ශ්‍රීලනිපයෙන් ඇප මුදල් තැන්පත් කරන බව මුල සිට කීවත් එදින ඔහු ඇප තැන්පත් මුදල් තැන්පත් කළේ ශ්‍රීලනිපය සුරැකීම සඳහා ස්වාධීන අපේක්ෂකයකු ලෙසය.
කෙසේ වෙතත් මේ සිද්ධීන් දෙකම බොහෝ දෙනා පුදුම සහගත කරවන සිද්ධීන් දෙකක් විය. ඊට අමතරව හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතාද එදින ඇප තැන්පත් කළේය. එපමණක් නොව පාස්කු ප්‍රහාරයෙන් පසුව දේශපාලන වශයෙන් චෝදනා එල්ලවූ හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා අමාත්‍යවරයාද ඇප මුදල් තැන්පත් කිරීම සුවිශේෂී සිද්ධියක් විය.
ඉරිදායින් ඇප මුදල් ලබා ගැනීම අවසන් වූ අතර අපේක්ෂකයන් සංඛ්‍යාව 41ක් වී තිබිණි. මෙය 2015 ජනාධිපතිවරණය හා සංසන්දනය කරන විට දෙගුණයකි. 2015 මැතිවරණයේදී 19 දෙනෙක් ඉදිරිපත් වී සිටියහ. කෙසේ වෙතත් මෙම ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට පෙර සිටම මහා පෙරළියක් කිරීමට සූදානම් වූ නාගානන්ද කොඩිතුවක්කු එදින ඇප මුදල් බැඳ සිටියේ නැත. නාගානන්ද වෙනුවෙන් විදෙස්ගතව මුදල් වියදම් කළ බොහෝදෙනා ලංකාවේ සිටි අයට ඇමතුම් ලබාදෙමින් නාගානන්ද ඇප මුදල් තැබුවා දැයි සොයා තිබිණි. එහෙත් එදින නාගානන්ද දකින්නට සිටියේ නැත. ඒ නිසා බොහොමයක් දෙනා පැවසූවේ නාගානන්ද වංචාවක් සිදුකළ බවය.
ඇප තැන්පත් කිරීම් ඉරිදායින් අවසන් වූ පසුව නාමයෝජනා බාරදීම සඳහා දිනය වෙන්කර තිබුණේ 07 වැනි සඳුදාය. ඒ අනුව අපේක්ෂකයෝ සඳුදා උදෑසන සිට නාමයෝජනා බාරදීම සඳහා මැතිවරණ කොමිසම වෙත පැමිණියහ. නාමයෝජනා බාරගැනීම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් උදැසන 9 සිට 11 දක්වා ක්‍රියාත්මක විය. කෙසේ වෙතත් ඇප මුදල් 41 දෙනෙකු විසින් බැඳ තිබුණත් නාමයෝජනා බාරදීම සඳහා හයදෙනෙකු ඉදිරිපත් වුණේ නැත. ඒ අය අතර හදිසියේ ඇප මුදල් තැන්පත් කළ චමල් රාජපක්ෂ සහ ශ්‍රීලනිපය බේරාගැනීම වෙනුවෙන් ඉදිරිපත් වූ කුමාර වෙල්ගමද සිටියෝය. මීට අමතරව හිටපු මහ ඇමති මහීපාල හේරත්, ගුණපාල තිස්සකුට්ටිආරච්චි, හිටපු අමාත්‍ය බසීර් සේගුදාවුද්, ජයන්ත ලියනගේ යන සිව්දෙනාද ඇපමුදල් ලබාදුන්නද නාමයෝජනා ලබාදුන්නේ නැත.
ඒ අනුව එදින පිළිගත් දේශපාලන පක්ෂ වලින් අපේක්ෂකයන් 18ක්, වෙනත් දේශපාලන පක්ෂවලින් අපේක්ෂකයන් දෙදෙනෙක් හා ස්වාධීන අපේක්ෂකයන් 15 දෙනෙකු නාමයෝජනා ලබාදෙමින් මෙවර ජනාධිපතිවරණය සඳහා 35 දෙනකු තරගයට ඉදිරිපත් වී සිටිති.
එම ලැයිස්තුව මෙසේය.
• ගෝඨාභය රාජපක්ෂ - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
• සජිත් ප්‍රේමදාස - නව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ
• අනුර කුමාර දිසානායක - ජාතික ජන බලවේගය
• හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක - ජාතික ජනතා පක්ෂය.
• දුමින්ද නාගමුව - පෙරටුගාමී පක්ෂය
• බත්තරමුල්ලේ සීලරතන හිමි - ජනසෙත පෙරමුණ
• රොහාන් පල්ලේවත්ත - ජාතික සංවර්ධන පෙරමුණ
• සිරිතුංග ජයසූරිය - එක්සත් සමාජවාදී පක්ෂය
• සරත් මන්මේන්ද්‍ර - නව සිහල උරුමය
• අරැණ ද සොයිසා - ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය
• ඒ.එස්.පී ලියනගේ - ශ්‍රී ලංකා කම්කරු පක්ෂය
• අජන්ත ද සොයිසා - රුහුණු ජනතා පෙරමුණ
• සමන් ප්‍රසන්න පෙරේරා - අපේ ජනබල පක්ෂය
• ආරියවංශ දිසානායක - ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ
• වජිරපානි විජේසිරිවර්ධන - සමාජවාදී ජනතා පක්ෂය
• බැද්දෙගමගේ නන්දිමිත්‍ර - නව සම සමාජ පක්ෂය
• නීතිඥ නාමල් රාජපක්ෂ - ජාතික සමගි පෙරමුණ
• ප්‍රියන්ත මුණිහත් එදිරිසිංහ - ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරැ සංවිධානය
• එස් ගුණරත්නම් - අපේ ජාතික පෙරමුණ
• මහාචාර්ය අජන්තා පෙරේරා මහත්මිය - ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂය
යන අය පිළිගත් පක්ෂ සහ දේශපාලන පක්ෂවලින් නාමයෝජනා බාරදී තිබුණේය.
ඊට අමතර ස්වාධීන අපේක්ෂකයන් ලෙස,
• හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා
• දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම්
• අපරැක්කේ පුඤ්ඤානන්ද හිමි
• පියසිරි විජේනායක
• රජීව විජේසිංහ
• මිල්රෝයි ප්‍රනාන්දු
• අනුරුද්ධ පොල්ගම්පළ
• සමන්සිරි හේරත්
• සරත් විජිතකුමාර කීර්තිරත්න
• ජයන්ත කැටගොඩ
• අශෝක වඩිගමංගාව
• අහමඩ් හසන්
• මොහොමඩ් අලවි
• ඉල්ලියාස් අයිද්රෑස්
• සිරිපාල අමරසිංහ
යන 15 දෙනා නාමයෝජනා ලබාදුන්හ.
කෙසේ වෙතත් අපේක්ෂකයන් සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීම සඳහා කොමිසම විසින් අවසර ලබා දුන් අවස්ථාවේ නව සිහල උරුමයේ අපේක්ෂක සනත් මනමේන්ද්‍ර මහතා විසින් දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතාට එරෙහිවද, ජනසෙත පෙරමුණේ අපේක්ෂක බත්තරමුල්ලේ සීලරතන හිමියන් හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා මහතාට එරෙහිවද විරෝධතා ගොනු කළහ. එහෙත් එම විරෝධතා පිළිගත්තේ නැත.
මේ අතර එතෙක් අතුරුදන්ව සිටි නාගානන්ද කොඩිතුවක්කු එදින හදිසියේ මැතිවරණ කොමිසම අසලින් මතුවෙමින් හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතාට චෝදනා කරන්නට විය. එනම් තමන්ව රැවටූ බව කියාය. ඔහු එම අවස්ථාවේ මාධ්‍යවලට ප්‍රකාශ ලබාදෙමින් සිය නිර්දෝශීභාවය ඔප්පු කරන්නට උත්සාහ ගත්තේය.
නාමයෝජනා බාරදීම සදහා අපේක්ෂකයන් සමඟ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, අමාත්‍යවරු වන මංගල සමරවීර, පාඨලී චම්පික, රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, කබීර් හෂීම්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරු වන චමල් රාජපක්ෂ, විමල් වීරවංශ, ලක්ෂ්මන් යාපා, සුසිල් ප්‍රේමජයන්ත, පවිත්‍රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන, කාංචන විජේසේකර, කනක හේරත්, විජිත හේරත්, සුනිල් හඳුන්නෙත්ති යන පිරිසක් සහභාගි වී සිටියහ.
නාමයෝජනා අවසන් වීමෙන් පසුව සභාව ඇමතු මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සියලු වැඩ අවසන් කොට තනියම එළියට පැමිණියේය. එසේ පැමිණ එම අවස්ථාවේ ආරක්ෂාව ලබාදුන් සියලුම පොලිස් නිලධාරීන්ට අතට අතදී ආචාර කළ අතර එහිදී ඔහු අපුරු කතාවක් එම පොලීසියේ පිරිසට කීවේය. “වැඩේ ඉවරයි කියලා හිතන්න එපා. අද ඉඳන් තමයි වැඩේ පටන් ගත්තේ. මෙච්චර කල් ට්‍රේනින් කළේ. හෙට ඉඳලා යනවා ගැඹුරට, ඡන්දය ළං වෙනකොට මහා සාගරයට එන්නේ” යැයි ඔහු කීවේය.
කෙසේ වෙතත් ඒ වනවිටත් ගෝඨාභය රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස පිළිගැනීම සඳහා ඔවුන්ගේ ආධාරකරුවෝ දෙපස බලා සිටියහ. එහිදී ඔවුන්ට උණුසුම් පිළිගැනීමක් හිමිවිය.
ඒ අනුව 7 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීමේ සටන ආරම්භ වූ අතර දැන් ඇත්තේ ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන රටට ඉදිරිපත් කිරීමේ අවස්ථාවය. එකී අනාගත සැලසුම් සහ වැඩපිළිවෙළ හමුවේ ලබන නොවැම්බර් 16 වැනිදා ජනතාවගේ ඡන්දයෙන් මෙරට බාරකරැවා තේරී පත්වනු ඇත.
ගයාන් ගාල්ලගේ