බොහෝවිට විශිෂ්ට දක්ෂතා දක්වන්නේ නගරයේ පහසුකම් පිරි පාසල්හි දරුවෝය. පහ වසර ශිෂ්‍යත්ව විභාගය, අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ, උසස් පෙළ යන විභාග තුනේම ඉහළම ලකුණු ලබාගෙන දිවයිනේ ප්‍රථමයා, දෙවැනියා, තුන්වැනියා ලෙස ස්ථාන හිමිකර ගත්තේ කොළඹ, ගම්පහ, ගාල්ල, මහනුවර ආදී නගරාශ්‍රිත පාසල්හි දරුවන් බව අපි පසුගිය අවුරුදු ගණනාවක සිට දුටුවෙමු.
2019 වර්ෂයේ අගෝස්තු මස පැවති පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 199ක් ලබාගත් විශිෂ්ටයා මෙවර බිහි වී ඇත්තේ වන්නිහත්පත්තුවේ මී ඔයෙන් එගොඩ කෝරළයේ පාසලකිනි. නගරයේ සුපිරි යැයි සම්මත පාසල් අප්පත්කර ගෙන සිටි ඒ කිරුළ ගම්බද පාසලකට මෙවර ගෙනා මේ පහේ හපනා නමින් එම්. එම්. අදීෂ නෙතුම් හේරත් ශිෂ්‍යයාය. ගල්ගමුව, සිරිමාවෝ බණ්ඩාරනායක ආදර්ශ පාසල ඔහු ඉගෙනගන්නා විද්‍යස්ථානයයි.
ගල්ගමුව, මහගල්කඩවල පදිංචි එම්. එම්. විජේකුමාර හේරත් මහතා අදීෂගේ පියාය. ඔහු ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජනපද නිලධාරී ලෙස කටයුතු කරයි. අදීෂගේ මව එස්. ජේ. ඉන්දිකා ප්‍රියංගනී මහත්මිය වන අතර ඇය අනුරාධපුර මධ්‍යම පරිසර අධිකාරි කාර්යාලයේ පරිසර නිලධාරිනියක ලෙස රැකියාව කරයි. සඳමි නෙත්මිකා හේරත් අදීෂගේ ලොකු අක්කා වන අතර සනුජි ඉමල්කා හේරත් චූටි අක්කාය.
ඉගෙනුමට උපන් හපන්කම් පාන පවුලක බඩපිස්සා වන අදීෂට මේ හපන්කම පාන්න වැඩිමල් සොයුරියන් දෙදෙනාගෙන් ලැබුණු මඟ පෙන්වීම ද, ආදර්ශය ද වැදගත් සාධකයක් වූ බව ඒ මාපියෝ කීහ. අදීෂගේ වැඩිමල්ම සහෝදරිය 2014 වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට ලකුණු 192ක් ද, ඊළඟ සහෝදරිය 2017 වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට ලකුණු 184ක් ද ලබා ගනිමින් මහත් ඉහළින් ඒ විභාගය සමත්ව ඇත. ඒ දෙදෙනා ද ඉගෙනුම ලබා ඇත්තේ ගල්ගමුව සිරිමාවෝ බණ්ඩාරනායක ආදර්ශ පාසලේය.
මෙවර පහේ විශිෂ්ටයන් දසදෙනාගේ නාම ලේඛනය හෝ දිස්ත්‍රික් වශයෙන් ඉහළම ලකුණු ලබාගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් නම් නොකළත් මුළු ලකුණු 200න් 199ක්ම ලබාගත් ගල්ගමුව සිරිමාවෝ බණ්ඩාරනායක ආදර්ශ පාසලේ අදීෂ නෙතුම් පුතුට අපි දැන් සවන් දෙමු.
“විභාගය ලියලා ඉවර වෙලා ශාලාවෙන් එළියට එද්දිම හිතුණා මම පාස් වෙයි කියලා. ඔව් දැන් හරි සතුටුයි. හොඳට ඉගෙනගෙන ලොකු වුණාම ඉංජිනේරුවෙක් වෙන්න තමයි මම ආස. අප්පච්චිලානම් කියනවා කොළඹ රෝයල් එකට දාන්න පුළුවන් කියලා. ඒත් මම කැමති නෑ. මට හොස්ටල් ඉන්න බෑ. ඒ හින්දා මම මලියදේව ඉස්කෝලෙ යන්න කැමතියි. අක්කලා දෙන්නත් මලියදේව බාලිකාවටනෙ දැන් යන්නේ. මට තව ආසාවක් තියෙනවා ලෙදර් බෝල් ක්‍රිකට් ගහන්න. කවදාහරි ජාතික කණ්ඩායමට එකතු වෙන්න හිතාගෙනත් ඉන්නවා. මලියදේව ඉස්කෝලෙට ගිහින් ක්‍රිකට් ගහන්නත් හිතාගෙන ඉන්නේ.”
ශිෂ්‍යත්ව විභාගයට පුතා ගොඩක් මහන්සි වුණාද? යි අපි අදීෂගෙන් ඇසුවෙමු.
“එහෙමමත් නෑ. ඉස්කෝලෙ ඇරිලා ඇවිත් මම සෙල්ලම් කළා. ක්‍රිකට් ගැහුවා. ටී. වී. බැලුවා. ෆෝන් එකෙන් ගේම් ගැහුවා. හැබැයි සමහර දවස්වලට ඉස්කෝලේ හවසත් පන්ති තිබ්බනේ. ඒ දවස්වලට සෙල්ලම් කරන්න වෙලාවක් නෑ. ගෙදර එනකොට ටිකක් රෑ වෙනවනේ. රෑ අට විතර වෙනකොට මම නිදාගන්නවා. ආයි උදේ හයට විතර තමයි නැගිටින්නේ. එතකොට ආයි පාඩම් කරන්න වෙලාවක් නෑනේ. ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙන්න ඕන. හැබැයි ඉස්කෝලෙ සර්ලා උගන්වනකොට මම හොඳට අහගෙන ඉන්නවා. ගෙදරදි කරගෙන එන්න දෙන වැඩ හරියටම කළා.
අමතර පොත් විදිහට පොඩි පොඩි පොත් කියවන්න ආසයි. තඩි පොත් නම් කියවන්න කැමති නෑ. ගෙදරට ලංකාදීප පත්තරේ ගන්නවා. ඒක කියවනවා. එච්චරයි. අපේ ලොකු අක්කා තමයි අපේ ඉස්කෝලෙන් මෙච්චර කාලයකට ශිෂ්‍යත්වෙන් වැඩිම ලකුණු අරන් තිබුණේ. අක්කගේ ෆොටෝ එකක් දමාපු බැනරයක් ඉස්කෝලෙ තාමත් තියෙනවා. දැන් ඒක මල්ලි ගැලෙව්වා.
අපේ ඉස්කෝලෙ ලොකු සර්, පුබුදු සර්, සරත් සර්, චන්දන සර් ඇතුළු සර්ලා ටීචර්ලා ඔක්කොම අපට උදව් කළා. මගේ අම්මයි අප්පච්චියි දෙන්නත් එහෙමයි. අක්කලා දෙන්නා මම දන්නෙ නැති දේවල් කියා දුන්නා. මම විභාගෙන් පාස් වුණොත් අප්පච්චි කිව්වා මට බයිසිකලයකුයි, ගිටාර් එකකුයි, රිමෝට් එකෙන් වැඩ කරන රේසින් කාර් එකකුයි අරන් දෙනවා කියලා. දැන් ඉතින් ඒවත් ලැබෙයි. මට ගොඩක් සතුටුයි.” අදීෂ පුතු කීය.
සිය බාල පුතුගේ මහ හපන්කම නිසා අමන්දානන්දයට පත්ව සිටින අදීෂගේ පියා කීවේ මෙවැන්නකි.
“පුතා පුංචි කාලේ සිටම එයාගේ වෙනසක් අපි දැක්කා. හැම දේකටම දක්ෂයි. එයාගේ කටයුතු පිළිවෙළකට ගාණට කරගෙන ගියා. සෙල්ලම් කළා. ටී.වී. එක බැලුවා. අපි ඒවා නතර කරන්න ගියෙත් නෑ. ශිෂ්‍යත්ව විභාගයට කියලා එයාට පීඩනයක් අපි දුන්නෙ නෑ. නිදහසේ වැඩ කරගෙන යන්න ඉඩ දුන්නා. පුතාගේ අපි දැක්ක විශේෂත්වයක් තමයි එයා හොඳට ඇහුම්කන් දෙනවා. මම හිතන්නේ පාඩම් කළාටත් වඩා කියන දේවල් අහගෙන ඉඳලා ඒවා මතකයේ තබාගෙන ඉගෙනීම කළා කියලා.
ඉස්කෝලෙන් ගෙදර වැඩ දෙනවා. මෙයා ඒවා අනිවර්යයෙන්ම කළා. එහෙම කරන්න බැරි වුණොත් පහුවදාට ඉස්කෝලෙ යන්නෙ නෑ. පාඩම් කරගෙන හෝ දීපු වැඩේ කරගෙනම තමයි ආයි ඉස්කෝලෙ යන්නේ. මගේ දුවලා දෙන්නත් ශිෂ්‍යත්වය පාස් වුණානේ. ලොකු දුවට ලකුණු 192ක් තිබුණා. ඒක තමයි මෙච්චර කාලයක් සිරිමාවෝ බණ්ඩාරනායක පාසලේ තිබුණු ඉහළම ලකුණු ගාණ. දුවගේ ෆොටෝ එකක් සහිත බැනරය පාසලේ දිගටම තිබුණා. පුතා ගෙදර ඇවිත් බොහෝ අවස්ථාවල කීවා ඔය බැනර් එක ගලවලා වැඩිම ලකුණු ගත්ත කෙනා හැටියට මගේ ෆොටෝ එක දාගන්නවා කියලා.
පුතාගේ විදුහල්පතිතුමා, ඒ වගේම පුතාලගේ පන්ති බාරව කටයුතු කළ පුබුදු රණසිංහ, සරත් කුමාර, චන්දන තෙන්නකෝන් ගුරුතුමන්ලා ඇතුළු පාසලේ සියලුම ගුරු භවතුන් විශාල කැපවීමක්, මහන්සියක් අරන් තමයි මගේ පුතා ඇතුළු දරුවන් හැට දෙනෙක් මේ සැරේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් කළේ. ඒ සියලු දෙනාට මව්පියන් වශයෙන් මම ස්තූති කරනවා.”
ගල්ගමුව සිරිමාවෝ බණ්ඩාරනායක ආදර්ශ පාසලේ විදුහල්පති වරැණ බණ්ඩාර මහතා ද අපි සම්බන්ධ කර ගත්තෙමු.
“මගේ පාසලෙන් මේ සැරේ ශිෂ්‍යත්ව විභාගයට දරුවන් අනූ අටක් පෙනී සිටියා. ඉන් දරුවන් හැටක් විභාගයේ කඩඉම් ලකුණු අරන් සමත් වෙලා ඉන්නවා. අදීෂ දරුවා ගැන කතා කරනවානම් එයා පුංචි පන්තිවල සිටම දක්ෂයා. මේ අවුරුද්දේ ජනවාරි මාසේ දහසය වැනිදා මම ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන්, ඒ මව්පියන් හා පන්තිවලට උගන්වන ගුරුවරුන් එකතු කරගෙන සාකච්ඡාවක් කළා. එක එක ළමයා හා ඔවුන්ගේ මව්පියන් වෙන වෙනම අරන් තමයි කතා කළේ. එදා අදීෂ දරැවාගෙන් ඇහුවා ඔයා ලකුණු කීයක් ගන්නවාද කියලා. අදීෂ කීවා ලකුණු 193ක් ගන්නවා කියලා. මම කීවා නෑ ඔයා ලකුණු 200ම ගන්න ඕන කියලා. එයා “හා” කිව්වා. මම කිව්වා ඔයා අක්කාගේ රෙකෝඩ් එක කඩන්න ඕන කියලා. ඔය දරුවට ඉලක්කයක් තිබුණා. වාර පරීක්ෂණවල, ඇගයීම්වල හැම විෂයකටම ලකුණු 90 – 95 අරන් තිබුණා.
2007 අවුරුද්දේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල අතින් අපි ලංකාවේ පළමු තැනට පත්වුණා. ගිය අවුරුද්දෙදි දෙවැනි තැනට පත්වුණා. ඊට පෙර අවුරුද්දේ තුන්වැනි තැනට පත්වුණා. 2007 සිට මේ දක්වා අපේ පාසල ශිෂ්‍යත්ව ප්‍රතිඵල අතින් අට වැනි ස්ථානයෙන් පහළට ගියේ නෑ. ඒත් අපට මෙතෙක් අයිලන්ඩ් රෑන්ක් එකකට යන්න බැරි වුණා. ඒත් මේ සැරේ අදීෂ දරුවා ලකුණු 199ක් ලබාගෙන ඒ ගෞරවයත් අපේ පාසලට ලබා දුන්නා. මගේ සිහිනයක් සැබෑ වුණා. මේ සැරේ ප්‍රතිඵලවලට අනුව මගේ පාසලේ අඩුම ලකුණු ලබාගත් දරුවාගේත් ලකුණු 111ක් තියෙනවා. මේ ජයග්‍රහණය සාමූහික ජයග්‍රහණයක් ලෙසයි මම දකින්නේ. මගේ ආචාර්ය මණ්ඩලය, මව්පියන්, දරුවන්, ගුරු උපදේශකවරුන්, කොට්ඨාස හා කලාප අධ්‍යාපන කාර්යාල විවිධ ආකාරයෙන් කළ දායකත්වය මත මේ ජයග්‍රහණ දරුවන්ට හිමිකර දීමට අපට හැකිවුණා.”
පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ප්‍රථමයා, දෙවැනියා වශයෙන් මෙවර නම් නොකළ ද ලබා ගතහැකි ලකුණු 200න් ලකුණු 199ක් ලබාගෙන ගමේ හා ගමේ පාසලේ නම රටට ගෙන කිය අදීෂ නෙතුම් පුතේ ඔබට ‘දේශයේ’ අපේ උණුසුම් සුබපැතුම්!
► ගල්ගමුව නිහාල් ජයවීර