වැඩවර්ජනය කිරීම මූලික අයිතිවාසිකමකි. ඒ පිළිබඳව තර්කයක් නැත. ඕනෑම පුද්ගලයකුට ස්වකීය අයිතිවාසිකම් භුක්ති විඳින්නට තිබෙන අයිතිය පිළිබඳව ප්‍රශ්න කරන්නට හෝ පැහැර ගන්නට කිසිවකුටත් අයිතියක් නැත. ලෝකයේ වෙනත් රටවල මෙන් ලංකාවේද ශ්‍රමිකයන් සඳහා වන අයිතිවාසිකම් උදෙසා වෘත්තීය සමිතිවලින් ඉටු වූ හා ඉටුවන කාර්යභාරය අති මහත්ය. එහෙත් ඒ කාර්යභාරය ‘සදාචාර’ සීමාව ඉක්මවා යනවා නම් එය අවාසනාවකි.
මෑත යුගයේ දීර්ඝතම කාලයක් ඇදී ගිය දුම්රිය වර්ජනය පසුගිය මස 25 වැනිදා ආරම්භ විය. පුරා දින 12ක් මුළුල්ලේ ගම්දනව්වලින් කොළඹට ඇදෙන ජනතාව මහත් අපහසුතාවයකට පත් කළ එය නිමා වූයේ පසුගිය 07 වැනිදාය. වැටුප් විෂමතා ප්‍රශ්නයක් මුල් කරගෙන මෙම වර්ජනය ආරම්භ කරන ලද්දේ දුම්රිය රියැදුරු, නියාමක, ස්ථානාධිපති පාලක හා කළමනාකරණ ශ්‍රේණියේ නිලධාරීන් විසිනි. ඔවුන් පැවසුවේ රාජ්‍ය සේවකයන්ට මෙවර වැටුප් වැඩි කිරීමේදී අසාධාරණයක් වූවාක් මෙන්ම වැටුප් වැඩි කිරීමක් නොව වැටුප් අඩු කිරීමක් සිදුව ඇති බවයි.
රට පුරා දුම්රිය සේවකයන් මෙලෙස වැඩ වරනා විට අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයෙහි ප්‍රධාන දුම්රිය ස්ථානාධිපති රංජිත් ගුණවර්ධන මහතා පමණක් මෙලෙස මගීන් පීඩාවට පත් කළ දුම්රිය වර්ජනයෙන් ඉවත්ව සිටියේය. මුළු රට පුරා දුම්රිය වැඩවර්ජනය කළ මොහොතක සෙසු සාමාජිකයන් සමඟ එක්නොවී සිය රාජකාරිය දේවකාරිය කරගත් අම්බලන්ගොඩ දුම්රිය ස්ථානාධිපතිවරයා සොයා අපි අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයට ගොඩවැදුණෙමු.
“වෙනදාට ස්ටේෂන් මහත්තයා, ලොකු මහත්තයා කියලා කට පුරා කතා කරපු බොහෝ මගීන් සතුන්ගේ නම් කියලා තමයි පසුගිය වැඩවර්ජන සමයේ අපිට කතා කළේ.” යැයි පවසමින් රංජිත් ගුණවර්ධන මහතා දේශය සමඟ කතාබහට එක් විය.
“මම දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවයට පැමිණිලා මේ වන විට වසර 33ක් වෙනවා. ඒ වගේම දුම්රිය ස්ථානාධිපති සේවයට ඇවිත් අවුරුදු 25ක් වෙනවා. කුමාරකන්ද උප දුම්රිය ස්ථානයේ ස්ථානාධිපති විදියට සේවය ආරම්භ කරලා එගොඩඋයන, වාද්දුව, කොටුව, අලුත්ගම, ගාල්ල, ගිංතොට, නානුඔය වගේ දුම්රිය ස්ථානවල සේවය කරලා තියෙනවා. දුම්රිය සේවයේ අත්දැකීම් රුසක් මා හට තියෙනවා.
ඒ වගේම තමයි පසුගියදා දුම්රිය වර්ජනය සමයේ මම විතරයි සේවයේ යෙදී සිටියේ. මම දන්නා ආකාරයට මටත් විවිධ දුරකතන ඇමතුම් ආවා “ඇයි වර්ජනයට සහයෝගය දක්වන්නේ නැත්තේ?” කියලා. ඒ අහපු පුද්ගලයන්ට මම ඒ විදියට නිසි පිළිතුරු දුන්නා. අනිත් හැමෝටම වගේ මටත් ආර්ථික ප්‍රශ්න රාශියක් තියෙනවා. එහෙම නැත්තේ නැහැ. ඒත් ජනතාවගේ මුදලින් ඉගෙනගෙන ජනතාව අපහසුතාවට පත් කරන්න හොඳ නැහැ.
මමත් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සාමාජිකයෙක්. ඒ සිදුකළ වැඩවර්ජනය සම්බන්ධයෙන් දැනුම් දීමක් සිදුකර තිබුණෙත් නැහැ. ඒ වගේම තමයි මේකත් විශේෂයෙන්ම කියන්න ඕනෙ. 2015 වසරේ සිට මේ දක්වා සියයට 107ක වැටුප් වැඩි වීමක් අපට ලැබුණා. ඊට අමතරව රනුක්ගේ කොමිෂන් වාර්තාව අනුව 2018 ජනවාරි මාසයේ සිට අපිට තවත් වැටුප් වැඩි කිරීමක් සිදු කරනු ලැබුවා.
6/2006 චක්‍රලේඛයේ තිබූ වැටුප් විෂමතාවයන් නිවැරදි කර ගන්න කරපු උත්සාහයේ දී අපට සම්මත වැටුපට අමතරව බාහිර වැටුප් තලයක් ලබා දී තිබුණා. එයට කේතයක් ලබා දී තිබුණේ නැහැ. ඒ වෙලාවේ හැමෝම ඒකට කැමතිවෙලා එය ලබාගත්තා. නමුත් දැන් එයම තමයි අවාසියට හේතු වී තියෙන්නෙත්. ඒක ඒ වෙලාවේම විසඳගන්න ඕන දෙයක් කියලා තමයි මගේ අදහස.
ජනතාව දෛනිකව ලක්ෂ හතරක් පහක් විතර දුම්රියෙන් සේවය ලබාගන්නවා. මේ දුම්රිය වර්ජනය එක්කම මුළු රටේම රාජ්‍ය සේවය දවස් ගණනකට අකර්මණ්‍ය වුණා. පාසල් දරුවන් රැසක් පීඩාවට පත් වුණා. විද්‍යුත් මාධ්‍ය වගේම මුද්‍රිත මාධ්‍යයත් මෙම වර්ජනයෙන් පීඩාවට පත් වුණා හෘද සාක්ෂියට එකඟව මෙහෙම වර්ජනයක් කරන්න ඇත්තටම බැහැ.
දුම්රිය දෙපාර්තමේන්තුව කියන්නේ ලාභ ලබන ආයතනයක් නෙමෙයි. වසරකට බිලියන ගාණක් පාඩු ලබන ආයතනයක්. මගීන්ගෙන් ලබන ආදායමට අමතරව වැටුප් සහ වෙනත් වියදම් සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් යොදවනවා. එවැනි තත්ත්වයක් යටතේ මෙහෙම දුම්රිය වර්ජනයක් සිදු කරන එක සාධාරණයි කියලා මම හිතන්නෙ නැහැ.
මේ සේවකයන් පරණ කල්ගිය ක්‍රමවේදයන්ට අනුව තමයි කටයුතු කරන්නේ. මෙහෙම ප්‍රශ්න විසඳගන්න බැහැ. උසස් මානසික මට්ටමක් ඇති අය සමඟ සාකච්ඡා කරලා මෙයට විසඳුම් ලබාගත යුතුයි. මට හිතෙන විදිහට මේ ඇතැම් වෘත්තීය සමිති නායකයන් දේශපාලන පක්ෂවල අතකොලු බවට පත්වෙලා තියෙනවා. සමහරු ඉදිරි ජනාධිපතිවරණයේ ඉලක්කය වෙනුවෙන් තමයි වැඩ කරන්නේ.
කෙසේ වෙතත් මට කියන්න තියෙන්නේ මේ වර්ජන නිසා දුම්රිය දෙපාර්තමේන්තුව ජනතාව තුළ මහත් අපකීර්තියට පත්වෙලා. මේ මගීන් පීඩාවට පත් නොකර ඒ ඉල්ලීම් දිනාගැනීමේ ක්‍රමවේදයකට ගියොත් හොඳයි කියන එකයි මගේ විශ්වාසය.”
► සටහන:- හසිත් අංජන