2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා

පාහියං ලෙනේ ගල් ආයුධ ගැන ශ්‍රී ලාංකික විද්‍යාඥයාගේ හෙළිදරව්ව

2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 12:301596

ආදි මානව වංශයේ මධ්‍ය ශිලා යුගය (මෙසොලිතික) නියෝජනය කරන පාහියන් ලෙන පිහිටියේ කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහලට නුදුරු කඳුගැටයකය. වර්ෂ දෙකකට පෙර දරුණු නායයාමකට හසුවූ මේ ප්‍රදේශය අදත් තැන තැන පිහිටි වනාන්තර, ගල් පර්වත හා කඳු ගැට පිරුණු පිටිසර පෙදෙසකි. මධ්‍ය ශිලා යුගය නියෝජනය කරන කාලයේ මේ අවට ඝන නිවර්තන වර්ෂා වනාන්තර පැතිරී කලාපයක් විය.

පාහියන් ලෙන කඳුගැටය මුහුදු මට්ටමේ සිට අඩි 1000ක් ඉහළට නැගී සිටී. ශ්‍රී ලංකාවෙන් මෙතෙක් හමුවී ඇති විශාලම ස්වභාවික ලෙන වශයෙන්ද මෙය වැදගත් වේ. ලෙන පිහිටා ඇත්තේ මුහුදු මට්ටමේ සිට අඩි 400ක් ඉහළ කඳු බෑවුමේය. ලෙන පිහිටි භූමිය විහාරයක් බවට පත්වීමෙන් පසු එහි පසෙක බුදු මැඳුරක්ද ඉදිකර තිබේ. පාහියන්ගල ලෙන්දොර උසින් අඩි 150කි. ලෙනෙහි පළල අඩි 270ක් පමණ වේ. ලෙන ඇතුළට යනවිට ක්‍රමයෙන් උස අඩුවී පොළොවට හාවෙයි. එය විවරයේ සිට ඇතුළට දිගින් අඩි 280ක් පමණවේ.

ආදී මානවයාට අවශ්‍ය ආරක්ෂාව, ජලය මෙන්ම ආහාර ලබාගැනීමට සුදුසු වටපිටාවක් එහි පැවති බව දීර්ඝ කාලයක් තිස්සේ එහි මධ්‍ය ශිලා යුග මානව ජනාවාසයක් පැවතීමෙන් හෙළිදරව් වී ඇත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් 1986 – 87 වර්ෂවලදී මෙහි කැණීම් කළ අතර පසුව වර්ෂ 2012දී ආචාර්ය නිමල් පෙරේරාගේ මූලිකත්වයෙන් නැවත කැණීමකට ලක්කෙරුණි. මෙම කැණීම්වලින් මධ්‍ය ශිලා යුග ආදී මානවයා පිළිබඳ අප නොදත් තොරතුරු රැසක් හමුවිය.

පසුගියදා එංගලන්තයේ ඩේලිමේල් පුවත්පත වාර්තා කළේ පාහියන් ලෙන ගල් ආයුධ විශ්ලේෂණය කරමින් ජර්මනියේ මැක්ස් ප්ලාන්ක් විද්‍යා සහ මානව ඉතිහාස ආයතනයේ ශ්‍රී ලාංකික පුරාවිද්‍යාඥ ඔෂාන් වෙදගේ කළ හෙළිදරව් කිරීමකි. ඔහු සඳහන් කරන්නේ මෙම ලෙනෙන් හමුවූ ක්ෂුද්‍ර ශිලා ගල් ආයුධ අදින් අවුරුදු 48000 – 45000 ඈත කාලයකට අයත් බවයි. ඒවා දකුණු ආසියාවෙන් හමුවූ පැරණිම ශිලා ආයුධ බවට ද ඔහු නිගමනය කර තිබේ.

මෙම ගල් ආයුධවල ඇති සියුම් තියුණුභාවය නිසා ගස් මුදුන් නිවහන් කරගත් වඳුරන් වැනි සතුන් පවා මරාගැනීමට හැකියාව ලැබී ඇත. කලකට පෙර පුරාවිද්‍යාඥයන් සිතා සිටියේ නිවර්තන වැසි වනාන්තරවල ඝන අඳුරු ස්වරූපය නිසා ඒවා ශිලා යුග මානවයන්ට ජීවිත්වීමේදී බාධක වශයෙන් ක්‍රියා කරන්නට ඇති බවයි. නමුත් පාහියන් ලෙන කැණීම්වලින් ලැබී ඇති තියුණු ගල් අවි නිසා ගස්වල සැඟවී සිට හෝ සතුන් දඩයම් කිරීමට ඔවුන්ට හැකියාව ලැබී ඇති බව හෙළිව තිබේ. එමෙන්ම තම භෝජනය සරිකර ගැනීමට අවස්ථාව ලැබීම නිසා අප සිතුවාට වඩා වැඩි බිම් පෙදෙසක ආදී මානවයන් පැතිර සිටි බවට ද මෙම පර්යේෂණයෙන් නිගමනය කෙරේ.

“අපි මෙම ගල් ආයුධ සවිස්තරාත්මක අධ්‍යයනයකට භාජනය කළා. ඒවායේ නිෂ්පාදන ස්වරෑපය නැවත සැකැස්මකට ලක්කළා. මේ ගුහාව අප රටේ ආදිම නූතන මානවයා (හෝමෝ සේපියන්ස් සේපියන්ස්) වාසය කළ ස්ථානයක්. ඔවුන් තම ක්ෂුද්‍ර ශිලා ආයුධ විවිධ කාර්යයන් සඳහා යොදාගෙන ඇති ආකාරය ගැන අපි විශේලේෂණය කළා.” පර්යේෂක වෙදගේ පවසා සිටී.

කෙසේ වුවත් පාහියන් ලෙන දකුණු ආසියාවේ වැදගත්ම පුරාවිද්‍යා ස්ථානයක් බව මුලින්ම හෙළිදරව් කළේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවයි. මෙහි කැණීම්වලින් ලද ප්‍රතිඵල පිළිබඳව එවකට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය එස්.යු. දැරණියගල සිය Pre History of Sri Lanka නම් ආචාර්ය උපාධි නිබන්ධය සඳහා ද යොදාගෙන තිබේ. 1986 – 87 වර්ෂවලදී මෙහි කළ කැණීම සඳහා අමෙරිකා එක්සත් ජනපදයේ කෝනල් විශ්වවිද්‍යාලයේ සහාය ද ලැබුණි. එහිදී මධ්‍ය ශිලා යුග (මෙසොලිතික) මානවයා පිළිබඳ ලැබුණු දත්ත දකුණු ආසියාවටම වැදගත් විය. එම දත්ත අනුව යුරෝපයෙන් ලැබුණු ක්ෂුද්‍ර ශිලා මෙවලම් වර්ෂ 12000කට එහා ගොස් නැතත් මින් ලැබුණු මෙවලම් වසර 25000කට වැඩිබව හෙළවී තිබේ.

පුරාණ මානවයා සතුන් දඩයම් කර ගැනීම, සතුන් හම ගසා ගැනීම, මස් ඉවත් කර ගැනීම, වනපල ශුද්ධ කර ගැනීම වැනි කාර්යයන් සඳහා ක්ෂුද්‍ර ගල් ආයුධ භාවිත කර තිබේ. ආසියාවේ නවීන මානවයාගේ පැරණිම සාධක අනාවරණය වී ඇත්තේ ද පාහියං ගලින් ලැබුණු අවුරුදු 37000ක් පැරණි හිස් කබලෙන් සහ කුරුවිට බටදොඹ ලෙනෙන් ලැබුණු අවුරුදු 28000ක් පැරණි හකු ඇටයෙනි.

එමෙන්ම එහි කැණීම් වළකින් ලැබුණු ගුරුගල් ආලේප කළ මානව හිස්කබල වසර 5000ක් පැරණි බවට කාල නිර්ණය කර ඇත. එය යම්කිසි ඇදහිලි ක්‍රමයක් භාවිත කළ අවස්ථාවක් බවට නිගමනය කර තිබේ. මෙසේ ඇටසැකිලි පාට කරගැනීමට හේතුව හෙළිවී නොතිබුණ ද දැනුදු ලොව ඇතැම් රටවල ජනයා අතර සිරුරු පාටකර ගැනීමේ පුරුද්ද පවතී. අප්‍රිකානු ගෝත්‍රික ජනතාව අතර මෙය සුලභය.

වර්ණ තනා ගැනීම සඳහා පාහියන් ලෙන මානවයා ගුරුගල් සහ මිනිරන් භාවිත කර ඇති බව හෙළිව තිබේ. මෙහි තිබී මිනිරන් කැබලි රාශියක් හමුවී ඇති අතර ඒවා පිටත ප්‍රදේශයකින් ගෙනවිත් ඇත. ක්ෂුද්‍ර ගල් ආයුධ, ගොළුබෙලි කටු විශාල ප්‍රමාණයක් ද කැණීම්වලින් හමුවිය.

වර්ෂ 2012 දී පාහියන් ලෙන නැවත කැණීමකට ලක්කෙරුණි. එහිදී වර්ෂ 12000ක් පැරණි අවශේෂ මතුවන පස් තට්ටුවක් තුළින් සම්පූර්ණ මිනිස් ඇටසැකිල්ලක් ලැබුණි. එංගලන්තයේ දී කරන ලද කාල නිර්ණයේදී එය අවුරුදු 10,000කට පෙර මියගිය අවුරුදු 18-22 අතර තරුණියකගේ බව හෙළිවී තිබේ. එය ලංකාවෙන් හමුවූ මධ්‍ය ශිලා යුගයට අයත් එකම සම්පූර්ණ ඇට සැකිල්ලයි.

පාහියන් ලෙන පමණක් නොව කිතුල්ගල බෙලිලෙන, කුරුවිට බටදොඹ ලෙන ආදී ලෙන්බිම්වලින්ද දකුණු ආසියාවටම ඉතා වැදගත් පුරාවිද්‍යාත්මක සාධක හමුවී තිබේ.

►  කුසුම්සිරි විජයවර්ධන  
සේයාරූ I සමන්ත විල්තෙර