2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා

ණය බර හා ජරමර නිසා හොට බිම ඇනුණු ආර්ථිකය

 2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා, ප.ව. 12:30 333

තත්ත්වය එසේ වුවද දකුණු ආසියාවේ ආර්ථිකය පිළිබඳ ලෝක බැංකුවේ නවතම වාර්තාව පවසන්නේ මෙයට වෙනස් වූ කතාන්දරයකි. එය යම් පමණකට ධනාත්මක චින්තනයක් ජනිත කරවීමට සමත් වී තිබෙන බව පෙනී යයි. 2019 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 2.7ක් වුවද 2020 වනවිට වර්ධනය සියයට 3.3 දක්වා ඉහළ යනු ඇති බව ලෝක බැංකුව ප්‍රකාශ කර සිටී. එපමණක් ද නොව ඔවුන් තවදුරටත් පවසන්නේ 2021 වනවිට ආර්ථික වර්ධනය සියයට 2.7 දක්වා ඉහළ නගිණු ඇති බවය. 2019දී සියයට 2.7ක වර්ධනයක් අත්කර ගත්තා වුවද, පාස්කු ප්‍රහාරයෙන් පසුව හා දේශපාලන අර්බුදවලින් අනතුරුව නැවතත් ආයෝජන යථා තත්ත්වයට පත්වීම හේතුවෙන් අපනයන වර්ධනය වීම හරහා මෙසේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය විය හැකි බවට ලෝක බැංකුව යහපත් අනාවැකියක් පළකර සිටී.

කෙසේ වුවද ආර්ථික වර්ධනය පහළ යාම අප රටට පමණක් සීමා වූවක් නොවන අතර සමස්ත දකුණු ආසියාවේම ආර්ථික වර්ධනය මේ වසරේදී පහළ යනු ඇති බව ලෝක බැංකුවේ අදහස වේ. මේ වසර අවසන් වනවිට එය සියයට 5.9 දක්වා පහළ බසිනු ඇති බවට අනාවැකි පළවේ.

මෙම වසර “ආසියාවේ ශතවර්ෂය ආරම්භ කළ වසර” ලෙස හඳුන්වයි. ආසියාව ලොව වේගයෙන් සංවර්ධනය වන කලාපය බවට පත්වනු ඇතැයිද 2019 – 2020 වනවිට ආසියාවේ ජාතික ආදායම ලොව වෙන රටවලට වඩා කැපී පෙනෙන ලෙස ඉහළ යනු ඇති බවට ද ලෝක බැංකුව මුලින් පුරෝකතනය කළද අනපේක්ෂිත හේතු නිසා එම තත්ත්වය දිගටම පවත්වාගෙන යා හැකිවේදැයි ආර්ථික විශ්ලේෂකයෝ සැක සංකා පහල කරති.

කෙසේ වුවද අපේ රට ගැන සලකා බැලීමේදී අපේ ආර්ථික වර්ධනය ඉහළව ඇත්තේ දීර්ඝ කාලයක් තිස්සේ යුද්ධවලින් බැට කෑ ඇෆ්ගනිස්ථානයට පමණි. ආසියානු කලාපයේ අන් සියලු රටවල් අපට වඩා ඉහළින් පවතී. එහි ඉහළම ඇත්තේ බංගලි දේශයයි. රටවල් 9න් අපට උරුමව ඇත්තේ 07 වැනි ස්ථානයයි.

අනුපිළිවෙළ මෙසේය.
බංගලිදේශය        8.1
මාලදිවයින        7.5
ඉන්දියාව            7.2
වියට්නාමය        6.8
නේපාලය            6.3
චීනය            6.3
පාකිස්ථානය        3.9
ශ්‍රී ලංකාව            2.7
ඇෆ්ගනිස්ථානය        2.5
(ආසියානු මහ බැංකු දත්ත)

ශ්‍රී ලංකා මහ බැංකු දත්ත අනුව 2017 වසරේ ආර්ථික වර්ධනය 3.4ක් වූ අතර 2018දී එය 3.2ක් විය. යුද්ධයක් හෝ කිසිදු අර්බුදයක් නොමැති කාලයේදී වුවද ආර්ථිකයේ පසුබෑමක් මිස වර්ධනයක් ඇති නොවූ බව පෙනේ. ඒ අනුව 2019 වසරේ සිදු වූ අනපේක්ෂිත හේතු නිසා ආර්ථික වර්ධනය අඩාල වීම ගැන අමුතුවෙන් කිවයුතු නොවේ. ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව අනුව ප්‍රකාශ වන්නේ අපේ කර්මාන්ත ආශ්‍රිත ක්‍රියාකාරකම් 2017 සිට 2018 දක්වා සියයට 4.1 සිට 3.2 දක්වා විශාල ලෙස පහළ ගොස් ඇති බවය. කෘෂිකර්මාන්තයෙන් රටේ ආර්ථිකයට දායක වන්නේ සියයට 8ක් පමණ වන සුළු කොටසක් නිසා කර්මාන්ත අතින් ආර්ථිකය ඉහළ නංවාගත යුතු බව බොහෝ දෙනාගේ අදහසය. එසේ වුවද කිසිදු අනපේක්ෂිත හේතුවක් නොමැතිව කාර්මික සංවර්ධනය පහළ වැටීම අදහාගත නොහැක්කකි.

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය මන්දගාමී වීම පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුව නිදහසට කරැණු ඉදිරිපත් කරන්නේ මෙසේය.

“පසුගිය වසර කිහිපය තුළ රටෙහි සාර්ව ආර්ථික ස්ථායිතාව පවත්වාගෙන යාමට දැරූ ප්‍රයත්නය මධ්‍යයේ වුවද අත්‍යවශ්‍ය ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණ ප්‍රමාද වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය මන්දගාමී වර්ධන මාවතකට පත්ව ඇත. දශකයකට පමණ පෙර මැදි ආදායම් ලබන රටක මට්ටමට පත්වූ ශ්‍රී ලංකාවට ‘මැදි ආදායම් උගුල’ යන තත්ත්වයෙන් මිදී ඉහළ ආදායම් මට්ටමකට ළඟා වීම සඳහා දූරදර්ශී ප්‍රතිපත්ති අවශ්‍ය විය.”

(ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව 2018 – 27 පිට)

කෙසේ වුවද ලොව බොහෝ රටවල් ආර්ථික අතින් දියුණු වී ඇත්තේ කෘෂිකර්මය නිසා නොව කර්මාන්ත හා සේවා අංශවලින් වර්ධනය වීම නිසාය. 2018 වසරේ චීනය කෘෂිකර්මයෙන් ප්‍රථම ස්ථානයට පැමිණ තිබුණද එහි කෘෂිකර්මයෙන් ලැබූ දායකත්වය සියයට 20ක් පමණ වන අතර කර්මාන්ත සහ සේවා අංශවලින් සියයට 80ක පමණ දායකත්වයක් ලබාගෙන ඇත. මේ නිසා රටක ආර්ථිකය වර්ධනය කිරීම උදෙසා කෘෂිකර්මාන්තය මත පමණක් විශ්වාසය තබා කටයුතු කළ නොහැකි වේ.

ලොව වෙනත් රටවල් දෙස බලනවිට ඉහළ ඵලදායීතාවක් ඇතිකරන සාධක වන්නේ මේවාය.

1. තාක්ෂණය
2. නිෂ්පාදන සාධක යොදාගන්නා ආකාරය
3. ආයතන සංවිධානය වී ඇති අන්දම
4. මානව ප්‍රාග්ධනය යොදාගැනීම
5. මුදල් පාලනය 

රටක ආර්ථික වර්ධනය යනු කුමක්ද යන්න සහ ආර්ථික වර්ධනයක් ළඟාකාර ගත හැක්කේ කෙසේද යන්න පිළිබඳ කරුණු පැහැදිලි කරන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාල මෙසේ පවසයි.

“රටක ආර්ථික වර්ධනය යනු රටේ සිදුවන සියලුම ආර්ථික ක්‍රියාකාරකම්වල වටිනාකමයි. මෙම ආර්ථික වර්ධනය ගණනය කිරීමේ ක්‍රමවේදය වන්නේ දළ දේශීය නිෂ්පාදනය පදනම් කරගෙනය. දල දේශීය නිෂ්පාදනය තුළ යම් වර්ෂයක රටක සිදුවන සියලුම ආර්ථික ක්‍රියාකාරකම්වල වටිනාකම නිරූපණය වෙනවා. මේ සඳහා කෘෂිකර්මාන්තය කාර්මික අංශය සහ සේවා අංශය යොදාගන්නවා. අපේ රටේ දළ දේශීය නිෂ්පාදනය තුළ කෘෂිකර්මයට හිමිවන්නේ සියයට 8ක් වැනි සුළු අගයක්. කාර්මික අංශය සියයට 30ක් සහ සේවා අංශයෙන් සියයට 62ක් පමණ වෙනවා.

රටක ආර්ථික වර්ධනය මනින්නේ දළ දේශීය නිෂ්පාදිතයේ වෙනස් වීම මතයි. දළ දේශීය නිෂ්පාදිතයේ මූර්ත අංශයේ සිදුවන වෙනස ප්‍රතිශතයක් ලෙස ගත්විට එය ආර්ථික වර්ධන වේගය ලෙස නම් කළ හැකිවෙනවා. මෙම ආර්ථික වර්ධනය තීරණය කරන සාධක කිහිපයක් තිබෙනවා. දේශීය ආයෝජන, විදේශිය ආයෝජන, ඉතුරුම් අනුපාතිකය රටේ දේශපාලන හා සමාජ ස්ථාවරත්වය ඒවා අතර වෙනවා. ඊට අමතරව රට විදේශ සමඟ කරන ගනුදෙනු ආනයන අපනයන ද මෙයට සම්බන්ධයි.

සම්ප්‍රදායික වශයෙන් මෙම විචල්‍යයන් රැසක් ආර්ථික වර්ධනයට බලපාන බවට නිගමනය කළ ද වර්තමානයේ ලොව ඕනෑම රටක එය තීරණය කරන ප්‍රධාන සාධක තුන වන්නේ දේශපාලන ස්ථාවරත්වය, ආර්ථික ස්ථාවරත්වය හා සමාජ ස්ථාවරත්වයයි. අපේ රට දෙස බලනවිට පසුගිය වසර 5 – 6 කාලය තුළ ආර්ථික වර්ධනය දිගින් දිගටම පහළ ගිය බව පෙනෙන්නට තිබෙනවා. මේ වසරේ අවසන් කාර්තුවේ ආර්ථික වර්ධන වේගය සියයට 1.6 දක්වා පහළ යනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. වසරේ සාමාන්‍ය වර්ධන වේගය සියයට 2 – 2.5 අතර පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ ආර්ථික වර්ධනයේ අඩුම වර්ෂය බව ඉතිහාසය අනුව සනාථ වෙයි. පසුගිය වසර 5 තුළ අපේ රටේ ආර්ථික වර්ධනය සියයට 5 කට අඩු මට්ටමේ තමා තිබුණේ. එයට හේතු වූයේ මුලින් පැවසූ කරුණුයි.

පසුගිය සමයේ අපේ දේශිය ආයෝජකයන් දුර්වල මට්ටමකයි සිටියේ. ඔවුන් තම ආයෝජන ඉහළ මට්ටමකින් සිදු කළේ නැහැ. නැවත නැවතත් ආයෝජනයට මුදල් යෙදුවේ නැහැ. ඒ නිසා සමස්ත නිෂ්පාදන ධාරිතාව පහළ වැටුණා. විදේශිය ආයෝජකයන් රටට ආවෙ නැහැ. පැමිණි අයටත් ආපසු යන්න කරුණු සිදුවුණා. රටේ අහිතකර දේශපාලන වාතාවරණය සහ බදු ප්‍රතිපත්තියේ අස්ථාවරභාවය සහ යටිතල පහසුකම් ඇතිකර ගැනීමේ අපහසුතාව මෙයට බලපෑවා. මෙම තත්ත්වය අවම කිරීම සඳහා මුලින් කී මූලික කරැණු තුන සැපිරිය යුතු බව මගේ අදහසයි. මේ සියල්ල තීරණය වන්නේ රටේ ආරක්ෂක තත්ත්වය මතයි. ආරක්ෂක තත්ත්වය යහපත් වුවොත් මේ සියල්ල හොඳ වේවි.

අනිත් අතට අපේ ආර්ථික රටාවේ දුර්වලතාවය ආර්ථික වර්ධනය දුර්වල වීමට හේතු වෙලා. ලංකාවේ තවමත් ඇත්තේ සහනාධාර මත පදනම් වූ ආර්ථිකයක්. සහනාධාර උගුලේ ජනතාව අහුවෙලා. බොහෝ අය සහනාධාර පාවිච්චි කරන්නේ එදිනෙදා ජීවත් වීමටයි. එහෙත් සහනාධාර යොදාගත යුත්තේ පුද්ගලයාගේ ආර්ථිකය වැඩිදියුණු කිරීමටයි. දේශපාලනඥයෝ ද තම ඡන්ද ගොඩ වැඩිකර ගැනීම සඳහා සහනාධාර බෙදීම සිදු කරනවා. අද වේදිකාවල කරන කතාවලින් ඒ බව සනාථයි. මෙම තත්ත්වයෙන් රට ගලවා ගැනීමට අවශ්‍ය පරිසරයක් රට තුළ තනා ගැනීම අවශ්‍යයි.

අද අයවැය ලේඛනයෙන් 1/4¼ක් සහනාධාරයි. ණය ගෙවන්නවත් ආදායම් නැති රටක සහනාධාර දෙන්න පුළුවන්ද කියලා කල්පනා කළ යුතුයි. මෙම තත්ත්වයෙන් වෙනසක් ඇති වන තුරු අපට ගොඩ යන්න බැහැ. ආර්ථික වර්ධනය වැඩි කරන්න අමාරුයි.

I යසවර්ධන රුද්රිගු