2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා

බොරුකාරයකු හඳුනාගන්නේ මෙහෙමයි

2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා, ප.ව. 12:30401

මිනිස්සු බොරු කියති. බොරු කරති. ජීවීන් අතරින් මිනිසා ‘බොරුවට’ අතිදක්ෂය. ඇතැමුන් කළ වරදක් වසා ගැනීමට බොරු කියන අතර තවත් අය එක බොරුවක් වසා ගැනීමට බොරැ දහසක් කියති. බැරිම තැන වරද පිළිගන්නා අවස්ථාද නැත්තේ නොවේ. නමුත් ඇතැමුන් ‘බොරුවට’ මුහුණ දෙන්නේ හොඳ ආත්ම විශ්වාසයකිනි.

කෙනකු යමක් පවසද්දී එය බොරුවක් බවට පහසුවෙන් අනුමාන කළ හැකි වන නමුත් තවෙකෙක් ඇඟට නොදැනී බොරු කියති. ඇතැම්හු ගල් පැලෙන බොරු කියති. තවෙකෙක් කියන බොරු අතේ පත්තු වෙයි. ඇතැම් බොරු ගලේ පැහැරූ බළලා සිහිපත් කරයි. ඇතැම් බොරු හාස්‍යය උපදවන්නේ පුහුල් හොරා කරෙන් දැනෙන බැවිනි. ඒ සිංහල ජනවහරයි.

බොරු කියන්නේ ඇයි?
“සිදුවූ වැරැද්දක් වසා ගැනීමට, අතපසුවීම් වසන් කර ගැනීමට, රැකියාවේ වාසි සහ ආර්ථික වාසි තකා, තවත් කෙනෙකු රිදවීමට, පවතින සම්බන්ධතා ආරක්ෂා කර ගැනීමට ආදී” හේතු රාශියක් නිසා මිනිසුන් බොරු කීමට පෙළඹෙන බව මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රමණි රත්නවීර ප්‍රකාශ කළාය. 

ඇතැම් උදවිය යහපත් චේතනාවෙන් සාවද්‍ය ප්‍රකාශයක් කරන අවස්ථා ද පවතින බවත් ඉන් කිසිවකුට හානි ගෙන නොදෙන බවත් වෛද්‍යවරිය සිහිපත් කළාය.

“නමුත් ව්‍යථීක මුසාවාදය (Pathological Lying) කියන දේ රෝගී තත්වයක්. බොරු කීම රෝගී තත්ත්වයක් වන අවස්ථාවක්. ඒ පුද්ගලයන්ගේ පෞරැෂත්වය පිළිබඳ රෝග ගොඩක් තියෙනවා. Borderline Personalities සහ Narcissistic Personality Disorder වගේ පෞරැෂත්වය පිළිබඳ රෝග. සමහරු පුරුද්දක් විදියට බොරු කියනවා. ඒකට කියන්නේ compulsive lying කියල. ඔවුන්ට එය පාලනය කර ගන්න බැහැ.” කරාපිටිය ශික්‍ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය රමණි රත්නවීර ප්‍රකාශ කළාය.

බොරුකාරයාගේ පෞරුෂත්වය
එවැනි පුද්ගලයන් බොහෝවිට තම ජීවිතය පිළිබඳව කනස්සල්ලෙන් පසුවන උදවිය බවත්, අනෙක් අය ඉදිරියේ තම ප්‍රතිරෑපය ගොඩනගා ගැනීම සඳහා නිරන්තරයෙන් බොරු කියන බවත් වෛද්‍යවරිය තවදුරටත් පැවසුවාය.

“යම් දෙයකට අසත්‍ය තොරතුරක් දුන්නම ඒක වසන් කර ගන්න තව අසත්‍ය තොරතුරු ගොඩක් දෙනවා. එතනදී තමන්ගේ පෞරුෂත්වයට හානි වෙනවා.”

“බොරු කියනකොට අපේ මොළයේ ඉදිරිපස තියෙන ‘ප්‍රිෆ්රන්ටල් කෝටෙක්ස්’ (Prefrontal Cortex) කියන කොටසේ වෙනස් වීම් සිදුවන බව සොයාගෙන තියෙනවා. එතනින් තමයි තමන්ගේ පෞරුෂත්වය පිළිබිඹු වෙන්නේ.” ඇය පැහැදිලි කළාය.

ඇමිග්ඩලා
මිනිස් මොළයේ පවතින ඇමිග්ඩලා නමැති කොටසේ සංවේදීතාව සහ බොරු කීම අතර සම්බන්ධතාවක් තිබෙන බව විශේෂඥ වෛද්‍යවරිය පවසන්නීය.

“බොරු කියන තරමට අපේ මොළයේ තිබෙන ඇමිග්ඩලා (Amygdala) කියන කොටසේ සංවේදීතාවය අඩු වෙනවා. බොරැවක් කිව්වම බිය, ලැජ්ජාව, පසුතැවීම, දුක වගේ හැඟීම් අපට ඇති වෙනවා. නමුත් ඇමිග්ඩලා කියන කොටසේ සංවේදීතාව අඩු වුණාම ඒ හැඟීම් අපට දැනෙන එක අඩුවෙලා යනවා.”

“බොරු කියන්න සහජ දක්ෂතාවයක් සහිත පුද්ගලයන් ඉන්නවා. ඒක පළපුරුද්දකින් කරන්න පුළුවන් දෙයක්. ඇඟටපතට නොදැනී ශරීරයේ කිසිම වෙනසක් සිදු නොවෙන්න පුළුවන්. කිසිම උපකරණයකට හසුවෙන්නේ නැහැ. ඇමිග්ඩලාවේ සංවේදීතාවය අඩුවීම නිසා.”

සත්‍යවාදීවීම දරුවන්ට කුඩා කළ සිටම දෙමාපියන් විසින් හුරුපුරුදු කරනු ලැබිය යුතු දෙයක් බව මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රමණි රත්නවීර අවධාරණය කළාය. කෙසේ නමුත් ‘බොරුකාරයන්’ හඳුනාගත හැකි බව විශේෂඥ මතයයි.

යමෙකු බොරුවක් කියන බව දැනගන්නේ කෙසේද?
මානසික විද්‍යාව පිළිබඳ මහාචාර්ය රිචඩ් වයිස්මන් බ්‍රිතාන්‍යය තුළ සිදුකළ සමීක්ෂණයෙන් ලැබුණු ප්‍රතිඵල පුදුම එළවන සුළුය. මහාචාර්ය වයිස්මන් සිදුකළ එක් පරීක්‍ෂණයක් මෙසේය. 

තමන් කැමතිම චිත්‍රපටය ගැන දෙවරක් කතාකරන ලෙස එක්තරා මාධ්‍යවේදියකුට ඔහු ආරාධනා කළේය. එම අවස්ථා දෙකම වීඩියෝ ගත කරන ලදී. ඉන් එක් වීඩියෝ පටයක ඇත්තේ සත්‍ය වශයෙන්ම ඔහු කැමතිම චිත්‍රපටය ගැන කෙරෙන විස්තරයයි. අනෙක් වීඩියෝ පටයේ ඇත්තේ තමන් කැමතිම චිත්‍රපටය ලෙස හුවා දක්වමින් ප්‍රකාශ කරන බොරු සම්භාරයකි.

මෙම වීඩියෝ පට දෙකම සජීවී රූපවාහිනී වැඩසටහනක් ඔස්සේ විකාශනය කිරීමෙන් අනතුරුව නරඹන්නන් ගෙන් ඉල්ලීමක් කළේය. එම පුද්ගලයා ඇත්ත කතාකරන වීඩියෝ පටය කුමක්දැයි අනුමාන කර දුරකථනය ඔස්සේ දැනුම් දෙන ලෙස මහාචාර්යවරයා ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටියේය.

එම වීඩියෝවෙන් ලබාගත් හඬපට දෙකම ගුවන් විදුලිය ඔස්සේද ප්‍රචාරය කෙරැණි. ගුවන් විදුලි ශ්‍රාවකයන්ගෙන් ද ඉහත කී ඉල්ලීම කරන ලදී. එමෙන්ම, අදාළ පුද්ගලයා අවස්ථා දෙකෙහිම කළ ප්‍රකාශය ලේඛනගත කොට පුවත්පතක පළ කෙරුණි. බොරු කියන වීඩියෝව සහ ඇත්ත කියන වීඩියෝව තෝරන ලෙස පාඨකයන්ට ද ආරාධනා කළේය. අනතුරුව, ලැබුණු දත්ත විශ්ලේෂණය කෙරුණි.

යමෙකු බොරුවක් පවසන අවස්ථාවක දී එය අනුමාන කර ගැනීම සඳහා අප විසින් සාමාන්‍ය ජීවිතයේ දී භාවිත කරනු ලබන ඉඟි පිළිබඳව යම් වැටහීමක් ලබා ගැනීමට මහාචාර්ය වයිස්මන්ට සහ ඔහුගේ පර්ෙය්ෂක කණ්ඩායමට එමගින් හැකි විය. සමීක්ෂණය අවසානයේ, බොරුකාරයකු හඳුනාගන්නේ කෙසේදැයි මහාචාර්ය රිචඩ් වයිස්මන් මෙසේ විස්තර කළේය.

1. බොරුකාරයා දෙස බලන්න එපා; ඔහුට සවන් දෙන්න.
“හඬපටයට සවන් දීමෙන් සහ අදාළ ලේඛනය කියවීමෙන් බොරුකාරයා හඳුනා ගැනීමට වැඩි පිරිසක් සමත් වී ඇති බව සමීක්ෂණයෙන් පෙනී ගොස් තිබෙනවා. වීඩියෝ පට දෙක රූපවාහිනිය ඔස්සේ නැරඹූ පිරිසට එය අසීරු වෙලා තියෙනවා.”
“මේකට හේතුව, ඇසට දකින ඉඟි නිසා ඔහු කියන දේ අපට හරිහැටි ග්‍රහණය කර ගැනීමට නොහැකි වීමයි. දක්ෂ බොරුකාරයන්ට පුළුවන් තමන්ගේ ප්‍රකාශනයට වඩා ලෙහෙසියෙන් තමන්ගේ ඉරියව් සහ අභිනයන් (body language) හොඳින් පාලනය කරන්න.

“ඒ නිසා, බොරුකාරයෙක් අල්ලගන්න ඕනෙනම් ඔවුන් දෙස බලන්න එපා. ඔවුන් කියන දෙයට සහ එය කියන ආකාරයට සවන් දෙන්න.”

2. තමන් පිළිබඳව සඳහන් කිරීම අඩුවෙයි
“මුසාවක් දොඩන විට තමන් යන අර්ථය දෙන වදන් අතහැර දමා කතා කිරීමට ඔවුන් වග බලා ගන්නවා. ඒ නිසා මම, මට හෝ මගේ යන ආදී වචන හැලෙනවා.”

3. බොරුව අඩුවෙන්
“කියන දේ සම්පූර්ණයෙන් නොකියා අඩුවෙන් කියන්න බොරුකාරයා පෙළඹෙනවා. සමහර විට තමන් කෙරෙහි පැමිණිය හැකි අවදානම අවම කරගැනීම සඳහා එසේ කරනවා විය හැකියි.”

(ඉහත සඳහන් කළ වීඩියෝ පට දෙක ගත් කළ, තමන් කැමතිම චිත්‍රපටය ලෙස හුවා දක්වමින් අසත්‍ය ප්‍රකාශයක් නිකුත් කරන වීඩියෝව කෙටිය. සත්‍ය ප්‍රකාශය දෙගුණයකින් දිගු විය.)

4. පිළිතුර පමා වීම
“ප්‍රතිචාර දැක්වීමට වැඩි කාලයක් ගන්නවා. මිනිස්සු බොරු කියන විට, ප්‍රශ්නයේ අවසානයත් පිළිතුරේ ආරම්භයත් අතර නිහඬ කාලයක් තියෙනවා.”

5. බොරුකාරයාගේ භාවාත්මක බව
“බොරු කීමේදී භාවාත්මක බව (යමක් හදවතින් ම පවසන බව දැනීම) අඩු වෙනවා.”

6. සමීපතමයන් සහ ආදරණීයයන් ගැන කල්පනාකාරී වන්න
ඔබ මුළා කිරීමට වැඩි හැකියාවක් ඇත්තේ ඔබේ සමීපතමයන් සහ ආදරණීයයන්ට බව මහාචාර්ය රිචඩ් වයිස්මන් පෙන්වා දෙයි.

“අවුරුදු 20ක් විතර ආශ්‍රය කරන කෙනෙක් බොරැවක් කියනකොට අල්ල ගන්න හරිම ලේසියි කියල හිතෙන්න පුළුවන්. ඒත් යථාර්ථය ඊට වෙනස්. සමීප බව වැඩි වන තරමට හසු නොවන විදියට බොරු කියන්න ලෙහෙසියි.”

ඒ බොරුව සහ බොරුකාරයා හඳුනාගැනීම සඳහා මහාචාර්ය රිචඩ් වයිස්මන් ඉදිරිපත් කළ කරුණු හයයි.
බීබීසී සිංහල වෙබ් අඩවිය ඇසුරිණි

 

2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00