2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා

ඈත කඳුකර හිමව් අරණ පාමුල ගෙවුණු දවස් හත

 2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 12:31 260

සරසවි දිවියේදී මා සමඟ පාගමන් ගොස් පිදුරුතලාගල නැංග ප්‍රභාත් ද සිල්වා පටබැඳි හෙවත් “ජෙප්පා” කළ ආරාධනය පිළිගෙන මම පසුගිය සතියේ අඟහරුවාදා නේපාලයේ කත්මණ්ඩු නුවර පිහිටි හොටෙල් හිමාලයා වෙත ගුවනින් ගියෙමි.
කත්මණ්ඩු නුවරට මෙරට සිට ඍජු ගුවන් සේවාවක් නොමැත. කෙටිම ගුවන් මග විහිදී ඇත්තේ දිල්ලිය හරහා නිසා මා ගියේ එසේය. කටුනායක සිට දිල්ලියට කිලෝමීටර 2500 කි. දිල්ලියේ සිට කත්මණ්ඩු නුවරට කිලෝමීටර අටසිය ගණනකි. තරුපහේ හිමාලයා හෝටලය කත්මණ්ඩු නුවර පිහිටිය ද හිමාල කඳු පන්තිය පිහිටියේ කත්මණ්ඩු නුවරට කිලෝමීටර 600 ක් පමණ ඔබ්බෙනි. අප කත්මණ්ඩු නුවරට ගුවනින් පාත් වෙද්දීත් එනුවරින් ගුවනට ඉගිලෙද්දීත්, ඈත කඳුකර හිමව් අරණ දිස්වෙන්න ගනී. ග්ලැෂියර් වලින් නිර්මිත මැටර්හෝන් වර්ගයේ කඳු පර්වත ලෙස භූරූප විද්‍යාවේ නම් වලින් හැඳින්වුවද, ඒවා ඈත කඳුකර හිමව් අරණ, හිමකඳු යාය ආදී කාව්‍යමය නම් වලින් හඳුන්වන්නට තරම් අති සුන්දරය. ලෝකයේ පියස්ස නමින් හඳුන්වන හිමාලය මුදුනෙන් පහතට සුදු හිම වැගිරෙයි. තනිකර හිමෙන් වැසුණු කඳු යායට පහතින් හිම පාටත්, කොළ පාටත් මිශ්‍ර වුණු කඳු පන්තියයි. ඊට පහතින් තද හරිත වර්ණ වනාන්තර සහිත කඳු පන්තියයි. ඒ කඳු පන්තියෙන් පහතට එන සර්පයන් මෙන් දියඇලි රූරා ගලයි. දියඇලි රූරා ගොස් ගංගා බවට පත්වෙමින් තැනිබිම් කරා ගලා බසී. ගුවන් යානය කත්මණ්ඩු නුවරට ගොඩ බස්සවන්නට විනාඩි 45කට පෙර පටන් ලෝකයේ පියස්සෙන් පහළ ඇති ඉහත කී සියලු සොඳුරු සොබා රූ ඔබට දැකගත හැකිය. එම දසුන දකින්නට මට වාසනාව තිබිණි.

කත්මණ්ඩු නිම්නය අද්දරට වන්නට පිහිටි නාගර්කෝර්ට් ගම්මානයේ දී එවරස්ට් කඳු ඇතුළු හිමාලයා කඳු පන්තිය දැකගන්නට උත්සාහ කළද එදා වැඩේ හරි ගියේ නැත්තේ වලාකුළුවලින් අහස වැසී තිබුණු නිසාය. එහෙත් 21දා පටන් අප නැවතී සිටි හිමාලයා හෝටලයටම හිම කඳු පන්තිය දිස්වන්නට ගත්තේය. එදින හවස් වන විට ඉර අව්ව වැටී දිලිසෙන සැතපුම් ගණනාවක් ඈත පිහිටි හිමාලය කඳු පන්තිය පෙනෙන්නට ගත්තේය. රත් පැහැ හිරැඑළිය කිරි වන් හිම ශිඛරයන්ට වැදුණු විට නැගෙන්නේ වෙනම චමත්කාරයකි.

කැනඩාවේ සිට පැමිණි ප්‍රභාත් හා කොළඹින් ගිය මා හිමාලයා හෝටලයට ගියේ සොබාසිරිය විඳගන්නටම නොවේ. ගිය සතියේ එහි පැවැති ගෝලීය මට්ටමේ අන්තර්ජාතික විද්වත් සමුළු 2ක කැඳවුම්කරැ වූයේ මගේ මිතුරාය. මෙම සමුළු දෙක පවත්වනු ලැබූයේ අන්තර්ජාතික පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය විසිනි. (International Center for Research and Development) පළමු අන්තර්ජාතික සම්මන්ත්‍රණය 2019 ගෝලීය ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ 5 වැනි සම්මන්ත්‍රණයයි. දෙවැන්න ආසියානු අධ්‍යයනයන් පිළිබඳ 7 වැනි අන්තර්ජාතික සම්මන්ත්‍රණයයි. අන්තර්ජාතික පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය 2012 දී ශ්‍රී ලංකාවෙන් බිහිවූ ආයතනයකි. මෙම ආයතනය කැනඩාවේ Unique Conference Canada ආයතනය සමඟ එක්ව මේ වන විට අන්තර්ජාතික සම්මන්ත්‍රණ 150කට වඩා පවත්වා තිබේ. ලෝකය පුරා විවිධ විෂයන්ට අයත් විද්වතුන්ගේ පර්යේෂණ නිබන්ධන මෙම සමුළුවලදී ඒ ඒ රටවලින් ඉදිරිපත් වන අතර ඉන් අනතුරුව ඒවා පිළිගත් පර්යේෂණ නිබන්ධන ලෙස බුද්ධිමය දේපළ අයිතිය තහවුරු කෙරෙමින්, කැනේඩියානු රජය අනුමත කළ Unique Conference Canada ආයතනයෙන් පළ කරනු ලැබේ. මෙම පර්යේෂණ නිබන්ධනවලින් තහවුරු වන කරුණු ලෝකය පුරා විද්වතුන් තම පර්යේෂණවලට ඉවහල් කර ගන්නවා පමණක් නොව, එක් එක් රටවල ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදීද ඒවා උපයෝගී කර ගැනීම සිදුවේ. මෙම සමුළු නියෝජනය කරන ඇතැමුන් ඍජුවම එක් එක් රටවල ප්‍රතිපත්ති සම්පාදනයට හවුල් වන බුද්ධිමතුන්ය. පසුගිය සතියේ පැවැත්වූ මෙම සමුළු දෙකට රටවල් 20ක පමණ නියෝජිතයෝ 70ක් පමණ සහභාගි වූවෝය.

ගෝලීය ප්‍රජා සෞඛ්‍යයට අදාළ සමු‍ළුවේදී බොහෝ විද්වතුන් පර්යේෂණ නිබන්ධන ඉදිරිපත් කරන ලද්දේ දේශගුණ විපර්යාස විසින් මෑත කාලයේ ගෝලීය මානව සෞඛ්‍යයට කරන ලද බලපෑම් සම්බන්ධයෙනි. මෙහි ප්‍රමුඛ දේශනය පැවැත්වූ නේපාලයේ ධාරාන් හි මහාචාර්ය දීපක් කුමාර් යාදෙව් කියා සිටියේ (වාතය, පස හා ජලයට පමණක් නොව සමස්ත පරිසර පද්ධතියටම මෙහි බලපෑම් එල්ල වී ඇති බවත් මානව වර්ගයා සැබෑ අනතුරක් කරා යමින් සිටින බව විද්‍යාඥයන් දකින බවත්ය. එසේම, ජලයෙන් සහ පර්යේෂණ වාහකයන්ගෙන් සිදුවන රෝග පැතිරීම කෙරේ දේශගුණ විපර්යාසවල බලපෑම සම්බන්ධයෙන් නේපාල සෞඛ්‍ය පර්යේෂණ මණ්ඩලයේ ප්‍රධාන පර්යේෂණ නිලධාරී ආචාර්ය මේඝනාත් බිමල් පර්යේෂණ නිබන්ධනය ඉදිරිපත් කරමින් ඍජුව හෝ වක්‍රව මානව සෞඛ්‍යයට දේශගුණ වෙනස්වීම් හේතුවන ආකාරය ගෙනහැර පෑවේය.

ආසියානු අධ්‍යයන පිළිබඳ සම්මන්ත්‍රණයේ දී මුඛ්‍ය දේශනය ඉදිරිපත් කළේ දකුණු ආසියාවේ උසස් අධ්‍යයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකා, මහාචාර්ය සංගීතා රාසමාජී විසිනි. මිත්‍යා ප්‍රබන්ධවල ලිංගික අනන්‍යතාව වර්තමාන යුගයේ දිස්වෙන ආකාරය පිළිබඳ “නැවත කියවීමක්” වන පර්යේෂණ නිබන්ධනය ඇය ඉදිරිපත් කළාය.

මෙම සමුළුවේදී මෝල්ටා රාජ්‍යයේ මෝල්ටා විශ්වවිද්‍යාලයේ පෙරදිග අධ්‍යයනාංශයේ පැල්වටෝරේ ගුෆුරේ, චීන කවියකු වූ Feng Zhi සහ ඉතාලියානු කවියකු වූ උගෝ ෆොස්කෝලාගේ කාව්‍ය සම්භාව්‍යත්වයට නැංවීම පිළිබඳ ඉදිරිපත් කළ සංසන්දනාත්මක ප්‍රවේශය සැමගේ සිත් ගත්තේය. ශ්‍රී ලංකාවේ යාපනය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අධ්‍යයන අංශයේ ආචාර්ය කන්දයියා ශ්‍රී ගනේෂන් ඉදිරිපත් කළේ ශ්‍රී ලංකාවේ වව්නියා සහ මන්නාරම දිස්ත්‍රික්කවල ඉංග්‍රීසි නොවන ගුරුවරුන් ලෙස පුහුණු කිරීමට අදාළ පර්යේෂණයකි. එසේම ශ්‍රී ලංකාවේ යාපනය විශ්වවිද්‍යාලයේ වාග් විද්‍යාව පිළිබඳ අධ්‍යයන අංශයේ කවීතා නවකුලන් මහත්මිය මව්වරුන්ගේ භාෂාව වැළඳ ගැනීමේදී නැලවිලි ගී වල වැදගත්කම පිළිබඳ පර්යේෂණ අධ්‍යයනය ඉදිරිපත් කළාය.

KRD හෙවත් අන්තර්ජාතික පර්යේෂණ හා සංවර්ධනය පිළිබඳ මධ්‍යස්ථානය 2012 දී පිහිටුවනු ලැබූයේ මගේ මිත්‍රයා මූලික වීමෙනි. සරසවියේ අපේම වසරේ සොයුරකු වූ මහාචාර්ය සෙනෙවිරත්න කුරේ එහි උපදේශකවරයෙකි. ඔහු දැනට ජපාන විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්යවරයා ලෙස කටයුතු කරයි. මේ දෙදෙනාම අපේ කාලයේ කොළඹ විශ්වවිද්‍යාලයේ මළල ක්‍රීඩා, සහාය දිවීමේ 400X4 කණ්ඩායමේ ක්‍රීඩකයෝ වූහ. ප්‍රභාත් මීටර් 100, 200 ශූරයාය. කුරේ 1500 සහ මීටර් 800 ධාවකයෙක් විය. දෙදෙනාම මීටර් 400X4 සහාය දිවීම එකට දිව්වෝය.

KRD තම 150ක පමණ සම්මන්ත්‍රණ සංඛ්‍යාව ලෝකයේ සෑම මහාද්වීපයකම රටවල් 20ක පමණ පවත්වා තිබේ. ලෝකය පුරා විවිධ විෂය පිළිබඳ පර්යේෂකයෝ 1500 දෙනා එහි කටයුතුවලට දැනට දායක වෙමින් සිටිති.


2012 දී මෙම පර්යේෂණ මධ්‍යස්ථානය ඉබේ බිහිවූයේ නොවේ. ප්‍රභාත් සරසවියෙන් පිටවූ පසු විවිධ ආයතනවල රැකියාවේ නිරත වූයේය. ඔහු ලංකා බැංකුවේ කළමනාකාරවරයෙක් ලෙස ද කටයුතු කළේය. මෙම පර්යේෂණ ආයතනය බිහි කිරීමට පෙර ඔහු අන්තර්ජාතික සම්මන්ත්‍රණ 20කට පමණ තම පර්යේෂණ නිබන්ධන ඉදිරිපත් කළේය. ආපදා කළමනාකරණය පිළිබඳ සිංහලෙන් මුලින්ම පොතක් පළ කළේ ඔහුය.

කත්මණ්ඩු නුවර සිටි සතියේ සැමදා උදෑසනම කාමරයේ දොර යටින් එරට ප්‍රධාන ඉංග්‍රීසි පුවත්පත වූ The Himalayan පුවත්පත අපට ලැබිණි. දිනක් ලංකාවේ යොවුන් (16 පහළ) නෙට්බෝල් කණ්ඩායම පාන දස්කම් පිළිබඳව එහි පළවී තිබිණි. සාර්ක් රටවල් අතර පසුගිය සතියේ කත්මණ්ඩු නුවර පැවති අන්තර්ජාතික නෙට්බෝල් තරගාවලියේදී අපේ දැරිවියන් අපරාජිත ලෙස සෑම කණ්ඩායමක්ම පරදාලන ආකාරය එහි විස්තර වූයේය. අවසාන තරගය නරඹන්නට අපට ලොකු ආසාවක් තිබුණත් සම්මන්ත්‍රණ වැඩ නිසා එය කළ නොහැකි විය.

බදාදා (23) මා ආපසු එන විට කත්මණ්ඩු නුවර ත්‍රිභූවත් ගුවන් තොටුපොළේදී අපේ 16 පහළ බාලිකාවන්ගේ පිලත් ඔවුන් භාරව ගිය නිලධාරිනියන් සහ තරගාවලියේ විනිශ්චයකාරියන් ලෙස කටයුතු කළ අපේ රටේ කාන්තාවන් මට මුණගැසුණේය. අපේ රටේ දැරිවියන්ට මා සුභ පතා සිංහලෙන් කතා කළ විට ඔවුන්ගේ මුහුණු ප්‍රීතියෙන් පිනා ගියේය.

කත්මණ්ඩු සිට දිල්ලියට පැමිණි ගුවන් යානය පිටත් වීමට පෙර එහි ගුවන් නියමුවා ශබ්ද විකාශනයෙන් අපේ යොවුන් නෙට්බෝල් ක්‍රීඩිකාවන්ගේ ජයග්‍රහණය ගැන නිවේදනය කළේය. ගුවන් යානයේ සිටි සියලු මගීන් අත්පොළොසන් දී අපේ දරුවන්ට ප්‍රසාදය පළ කරද්දී මට දැනුණු සතුට කියා නිමකළ නොහැකිය. අවසාන තරගයෙන් ඉන්දියාව පරදා ලැබූ ශූරතා කුසලානය අපේ බාලිකාවන් අත දරාගෙන ආසාවෙන් දිල්ලි ගුවන්තොටුපොළේ දී ඊළඟ ගුවන් යානය එනතුරු තැන තැන යන සැටි මම බලා උන්නෙමි.

තරගාවලියේ විනිශ්චයකාර ධූරයක් ඉසුලූ (ටෙක්ලා) මහත්මිය දිල්ලියට එන අතරතුර මට තරගාවලියේ සියලු විස්තර කීවාය. කොළඹ, නුවර, කුරුණෑගල ප්‍රදේශවල විදුහල්වල බාලිකාවන් එම නෙට්බෝල් පිල නියෝජනය සඳහා තෝරාගෙන තිබිණි.

පත්තරවලට ඇති ආසාව නිසා 23දා The Himalan පුවත්පත මම රැගෙන ආවෙමි. එහි මුල් පිටුවේද ඇත්තේ වලාකුළු රහිත අහසේ හිමාලය කඳු පන්තිය ලලිත් පුරවලට හොඳින් දිස්වූ ආකාරයේ ඡායාරූපයකි.

තවත් විශේෂ සිද්ධියක් එහිදී සිදුවිය. 2017 චීනයේ බෙයිජින් නුවර ආහාර සුරක්ෂිතතාව පිළිබඳ වැඩමුළුවේදී මට මුණගැසුණු සේමා සහ කර්මාලාමා මිතුරන් දෙදෙනා අප හමුවන්නට ආවෝය. අපි ඔවුන් සමඟ බෞද්ධනාත් විහාරය නරඹන්නට ගියෙමු.

 සමන් පුෂ්ප ලියනගේ