2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා

ඉතිහාසය ඇලර්ජික් වෙලා

 2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 12:30 307

- පද්මිණී සෙනෙවිරත්න

පද්මිනී සෙනෙවිරත්න විශ්‍රාම ලැබූ ගුරුවරියකි. ඇය ඉතිහාසය පිළිබඳව දැඩි උනන්දුවක් දක්වන අතර ඒ පිළිබඳ හදාරමින් ශාස්ත්‍රීය ලේඛනද රචනා කර තිබේ. ඇය සිය ප්‍රථම නවකතාව වූ න ගච්චති වෙතින් පාඨක ප්‍රසාදයට ලක්වූවාය. පද්මිනීගේ දෙවැනි නවකතාව වූ චරණ 2018 ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ ප්‍රශස්ත කෘතියක් ලෙස ඇගැයීමට ලක්විය. එමෙන්ම අනෙක් සියලුම සම්මාන උළෙලවල අවසන් වටය නියෝජනය කළේය. ඇගේ අලුත්ම කෘතිය වූ තිවත ද ඓතිහාසික ප්‍රවෘත්තියක් පාදක කරගෙන රචිත නිර්මාණයකි. මෙම කෘතිය විදර්ශන ප්‍රකාශනයකි.

ඔබගේ පළමු නවකතාව සේම දෙවැනි නවකතාව ද ඉතිහාසයට සම්බන්ධ කතාවක්. තිවත ගැන අපට පැවසුවහොත්?

තිවත සීතාවක යුගය අළලා ලියැවුණු නවකතාවක්. බොහෝ පොත්පත්වල සඳහන් වෙන්නෙ සීතාවක රාජසිංහ රජු කළු චරිතයක් ලෙස. එහෙත් එය එසේ නොවන බව කියැවෙන මූලාශ්‍ර දෙකක් මට ලැබුණා. එකක් මධුවාපී විහාර විත්ති වර්ණනාව හා දහනැක පටුන කියන පොත. නාරම්මලට නුදුරුව තියෙනවා මී වැව කියලා ගමක්. එහි ඉතිහාසය පිළිබඳවයි ඒ පොතෙන් කියැවෙන්නෙ. අපට එහි පිටපතක් ලැබුණා මී වැවේ ගුණානන්ද පණ්ඩිත හාමුදුරුවන්ගෙන්.

දෙවැනි එක තමයි සීතාවක රාජසිංහ රාජ්‍ජ කාලය කියන ලියැවිල්ල. එය මහාචාර්ය රිසිමන් අමරසිංහ මහතා විසින් ලියන ලද ඓතිහාසික සීතාවක කියන ග්‍රන්ථයට ඇතුළත් කරලා තියෙනවා. සීතාවක රාජසිංහයන් ගැන නවකතාවක් ලියන්න අදහස ආවේ ඒ ලියැවිල්ල කියවීමෙන් පස්සෙයි.

ඔබ නවකතාකරණයට එළඹීමට පෙර ඉතිහාසය ගැන ශාස්ත්‍රීය ලිපි රචනා කළා. ඉතිහාසයට කැමැත්ත ඇතිවූයේ කෙසේද?

අපේ ගෙදර ඉතිහාස පොත් තිබුණා. මම ඒවා වරින්වර කියෙව්වා. ඒත් මගේ හිත ඉතිහාසයට බැඳුනෙ ඒ.සී. ලෝරිගෙ The gazetter of the Central Province of Ceylon පොත් දෙක කියෙව්වට පස්සෙ. මම ශාස්ත්‍රීය ලිපි ලිව්වෙ මහනුවර යුගය ගැන. පුංචි කාලෙ ඉතිහාස කතන්දර අහලා ඒවා කියවලා හිතේ තැන්පත් වෙලා තිබූ මතකය යළිත් ඇවිස්සුනා ඒ පොත් කියෙව්වට පස්සෙ. මට මතකයි දෙවෙනි පන්තියෙ ඉගෙන ගන්න කොට අපිට තිබුණා වීර කතා කියලා පොතක්. ඒකෙ තවත් කතා තිබුණද කියලා මතක නෑ. නමුත් එළාර දුටුගැමුණු යුද්ධය ගැන තිබුණා මතකයි.

ටිකිරි කුමරු සුමනා දේවියට ලැබෙන්නේ අනියම් සම්බන්ධයක් නිසා බව ඔබගේ කතාවේ කියැවෙනවා. ඒ ගැන කිව්වොත්?

ටිකිරි කුමරුගෙ පියා මායාදුන්නේ රජතුමා නොව පත්තා මේස්ත්‍රි සිංහල කීර්ති රාජපක්ෂ භාතිරාජ්ජ වන්නියා බව සඳහන් වෙන්නේ සීතාවක රාජසිංහ රාජ්ජ කාලය පුස්කොළ ලියැවිල්ලෙ. ඒ වග මායාදුන්නෙ රජතුමා පමණක් නොව රටවැසියන්ද දැන සිටි වග එහි සඳහන් වෙනවා. ටිකිරි කුමරුට රාජ්‍යය පවරාදීමේදී එය බාධාවක් වෙලා නෑ. සංඝයාගේ ගණ වැස්සන්ගේ මෙන්ම රටවැසියාගේත් කැමැත්ත පරිදි රාජ්‍යය පැවරැව වගත් එහි සඳහන්.

මේ පරපුර සත්‍ය වශයෙන්ම පැවති වග මහාචාර්ය ගණනාථ ඔබේසේකර මහතා විසින් සංස්කරණය කර තිබෙන මලල කතාව, රාජසිංහ රජුගේ පෘතුගීසි සටන් පිළිබඳ විත්ති පොත, වන්නි විත්තිය වගේ විත්ති පොත් කියවද්දී පෙනෙනවා. හැබැයි පත්තා මේස්ත්‍රි සිංහල යනුවෙන් නෙවෙයි ඒ පොත්වල සඳහන් වෙන්නෙ පට්ටමේ ත්‍රිසිංහල යනුවෙන්.

ප්‍රශ්නයක් මතුවෙනවා නේද, මායාදුන්නෙ වැනි කෙනෙක්ගෙ අග මෙහෙසිය එක්ක එහෙම සම්බන්ධතාවක් පවත්තන්න කෙනෙකුට පුළුවන්ද කියලා?

නමුත් සීතාවක රාජසිංහ රාජ්ජ කාලයට අනුව එය සිදුවී තිබෙනවා. අර ප්‍රශ්නයට පිළිතුරක් ලෙස තමයි ඒ සම්බන්ධය කළුවර අඳුන යොදාගෙන රහසක් බවට පත් කළේ. කළුවර අඳුන ගැන තොරතුරැ ගත්තෙ පී.ඊ.පී. දැරණියගල මහත්මයා සංස්කරණය කළ පොතකින්.

මෙහිදී සීතාවක රාජසිංහ හෙවත් ටිකිරි කුමරු ගැන ඔබ මානුෂීය දෘෂ්ටියෙන් බලනවා. ඉතිහාසයේ ලියැවී ඇත්තේ රාජසිංහ පීතෘ ඝාතකයකු හා භික්ෂු ඝාතකයකු ලෙස නේද?

රාජසිංහ රජතුමාට එරෙහි පීතෘ ඝාතක චෝදනාව අසත්‍යයක් බව සීතාවක රාජසිංහ රාජ්ජ කාලය වගේම මධුවාපී විහාර විත්ති වර්ණනාවත් ඍජුවම කියනවා. එය බල අරගලයක ප්‍රතිඵලයක්. රාජසිංහ රජු ජනතා අප්‍රසාදයට පත් කිරීම සඳහා හිතාමතා පතුරවපු බොරුවක් බව ඒ පොත්වල සඳහන් වෙනවා. අර කලින් සඳහන් කළා වාගෙ දෙවැනි රාජසිංහ කාලය වනවිටත් සීතාවක රාජසිංහ කියන්නෙ වීරයෙක්.

මහාචාර්ය රිසිමන් අමරසිංහ මහත්මා ඔහුගේ ඓතිහාසික සීතාවක ග්‍රන්ථයට ඇතුළත් කරලා තියෙනවා. මානියම්ගම පුස්කොළ ලිපිය කියලා ලියැවිල්ලක්. එය ලියලා තියෙන්නෙ සිටිනාමළුවේ සෝභිත කියලා හාමුදුරුනමක්. එහි සඳහන් ආකාරයට හාමුදුරුවරුන් හිර අඩස්සියට ගැනීමත්, විහාර ගම් හේවා නිල සමකරන්නටත් රදලයන්ට විපත් කරන්නටත් රජ්ජුරුවො පටන් අරන් තියෙනවා. හේතුව රජුට විරුද්ධව සංඝයා කුමන්ත්‍රණය කිරීම.

මට හිතෙන විදිහට ඔය සංඝ ඝාතන චෝදනාව මුලින්ම එල්ල කරල තියෙන්නෙ පළමුවන විමලධර්මසූරිය රජුගේ වීරත්වය හුවා දක්වමින් ලියන ලද මන්දාරම්පුර පුවතින් විය යුතුයි. එය ලියවී ඇත්තේ දෙවැනි රාජසිංහ යුගයේදී එනම් 1647දී. 1630 දී සීතාවක රාජසිංහ වීරයෙක්. ඒ නම ගතයුතු වග යෝජනා කර ඇත්තේ රාජසභාවේ වගකිවයුත්තන් විසින්. ඉන් දශක දෙකක් ගෙවෙන්නටත් පළමු දෙවැනි රාජසිංහ රජුගේ සළුවඩන නිලමේ වූ වික්‍රමාචාර්ය නමැත්තාට සීතාවක රාජසිංහ අධර්මිෂ්ඨයකු වී ඇති වග පෙනෙනවා.

තිවත චරිත තුනක් කතාකරන ආකෘතියකින් තමයි ගලා යන්නේ? අද නවකතාවේ විවිධ ආකෘතිමය අත්හදාබැලීම් බහුලයි නේද?

ඔබ කියනවා වාගෙ නවකතාවක් පාඨකයාට ඉදිරිපත් කරද්දී අලුත් මුහුණුවරකින් එය කරන්නට හුඟ දෙනෙක් උත්සාහ කරනවා. එය සාධනීය ලක්ෂණයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ස්වාධීන නිර්මාණ කියවීමෙන් ඈත්වන පාඨකයන් ඇතැම් වෙලාවට ඒ ආකෘතිමය වෙනස තුළින් ආකර්ෂණය කරගන්න හැකිවෙන්න පුළුවන්. මුල මැද අග නිරවුල්ව ගලා යන ආකාරයේ පොත් කියැවීමට හුරු වී තිබෙන පාඨකයාට එමගින් වෙනසක් අත් විඳින්නට ලැබෙනවා. එම නිසා කියවීමේ රුචිය ඉහළ යන්නට හැකියාව තිබෙනවා.

අපේ ඉතිහාසයේ නාට්‍යමය අවස්ථා බහුලයි. නමුත් නිර්මාණකරුවන් ඒවා තම නිර්මාණ සඳහා යොදාගන්නේ ඉතා අඩුවෙන් නේද?

මට හිතෙන විදිහට හුඟක් දෙනා හිතන් ඉන්නෙ ඉතිහාසය කියවන්න දැනගන්න අද සමාජය ඒ තරම් කැමති නෑ කියලයි. ඒ නිසා වෙන්න ඕනෑ ඉතිහාසයට අත පොවන්න අකමැති. නිර්මාණකරණයේදී ඉතිහාසය ගැන හැම කෙනෙක්ම දන්න දේ කියන්න උත්සාහ කළොත් එතරම්ම අවධානයක් යොමුවෙන්නෙ නෑ. එහෙත් ගවේෂණාත්මකව යම් දෙයක් ඉදිරිපත් කළොත් වයස් භේදයකින් තොරව එය කියවනවා. බලනවා. උදාහරණයක් විදිහට කිව්වොත් ශ්‍රී වික්‍රම රාජසිංහ අධර්මිෂ්ඨයෙක්ය කියන්නෙ කවුරැත් දන්න කතාව. ඒක නැවත නැවත කීමෙන් පලක් නෑ. ඔහු අධර්මිෂ්ටයෙකු නොවන බව කීවොත් එය කියවන්න වැඩියෙන් පෙළඹීමක් ඇතිවෙනවා. ඒත් ඒක නිකම්ම කියලා පලක් නෑ. අත්තනෝමතිකව එවැනි අදහසක් ඉදිරිපත් කරන්නටද හැකියාවක් නෑ. එය තහවුරු කළ යුතුයි. එතැනදී නිර්මාණකරැවාට ගවේෂකයෙකු වෙන්න සිදුවෙනවා. කොහොම වුණත් ඉතිහාසය කියන්නෙ නිර්මාණකරැවන්ට නිධානයක්.

ඉතිහාසය හැදෑරීම වගේම කියවීමත් තරුණ පරපුරෙන් දුරස් වෙන බව පේනවා. ගුරුවරියක ලෙස ඔබ මෙය දකින්නේ කෙසේද?

කියවීම කියන කාරණය ගත්තොත් ඒක දරැවෙකුට හුරැවෙන්න පරිසරයෙන්. දෙමව්පියන් පොත් කියවනවා නම් ඒ ඇබ්බැහිකම දරුවාටත් එනවා. වැඩිහිටියන්ට පොත් කියවන්න වෙලාවක් නෑ කියලා දරුවන්ට පොත් කියවන්න බලකළාට ඒ තරම් සාර්ථක නෑ.

අද අපේ දරුවන්ට තියෙන චෝදනාව තමයි තාක්ෂණික මෙවලම් භාවිතයට ඇබ්බැහිවීම නිසා පොත් කියවීමෙන් දුරස්ථ වෙලාය කියන එක. ඒත් කුඩා කාලේ ඉඳලම කියවීමේ පුරුද්ද තිබුණ කෙනෙක් ලෙහෙසියෙන් තාක්ෂණික මෙවලම්වල ග්‍රහණයට යටත් වෙන්නෙ නෑ කියලයි මම කල්පනා කරන්නෙ.

ඉතිහාසය හැදෑරීම කියන කාරණය ගත්තොත් හැම කෙනෙක්ම රටේ ඉතිහාසය ගැන දැන සිටිය යුතුයි කියන තැනයි මම ඉන්නෙ. අද තරුණ පරපුර ඉතිහාසය හැදෑරීමෙන් ඈත් වෙනවා නම් අපගේ අධ්‍යාපන ක්‍රමයත් ඊට වගකිව යුතුයි කියලයි මට හිතෙන්නෙ.

 කුසුම්සිරි