2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා

අපේක්ෂකයෝ කියනදේ ජනතාවට දැනෙන හැටි

 2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 12:31 396

ශ්‍රී ලංකාවේ 07 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීම වෙනුවෙන් පැවැත්වෙන ඡන්ද විමසීමට ඇත්තේ තවත් දින 20ක කාලයක් පමණි. මෙම මස 06 වැනිදායින් අවසන් වූ නාමයෝජනා බාරගැනීමේ කාලය තුළ පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 41ක් විසින් ඇප මුදල් තැන්පත් කරනු ලැබුවද නාමයෝජනා බාර දී ඇත්තේ අපේක්ෂකයන් 35 දෙනකු පමණි. ඒ පිළිගත් දේශපාලන පක්ෂ 18 ක්, වෙනත් දේශපාලන පක්ෂ 02 ක් සහ ස්වාධීන අපේක්ෂකයන් 15 ක් වශයෙනි. මින් කවරකු හෝ පළමු පුරවැසියා වීමට නියමිත බැවින් අපේක්ෂකයන් සහ ජනතාව අතර ඇති සබඳතාවය කවරේදැයි විමසීම අද දවසේ ප්‍රමුඛ කාර්යයක් විය යුතුය.

දේශපාලන පක්ෂ හෝ අපේක්ෂකයන් පුරවැසියන් වෙත වගවන ලියැවිලි අතර ප්‍රමුඛ වන්නේ ඔවුන් සෑම මැතිවරණයක් පාසාම පෙළගස්වන ප්‍රතිපත්ති ප්‍රකාශයන්ය. සෑම ප්‍රධාන මැතිවරණයක්ම ඉලක්ක කර ගනිමින් දේශපාලන පක්ෂ ජනතාව වෙත පොරොන්දු මල්ලක් සමඟ මැතිවරණ ප්‍රකාශයක් ඉදිරිපත් කිරීම ශ්‍රී ලංකාවේ සාමාන්‍ය සම්ප්‍රදායය. “මහින්ද චින්තනය”, “මහින්ද චින්තන ඉදිරි දැක්ම”, “මෛත්‍රී පාලනයක්” සහ “මාස හැටෙන් අලුත් රටක්” ඒ ආකාරයෙන් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට ජනවරම හිමි වූ මැතිවරණ ප්‍රකාශන කිහිපයකි.

මෙම ප්‍රතිපත්ති ප්‍රකාශ සැමවිටම සුරංගනා කතා මෙනි. එහෙත් මෙම ශෝචනීය යථාර්ථය අත්විඳිමින් වුවද අපේ පුරවැසියන් ඡන්දපොළට යන්නේ තෝරාගැනීම් ද කළ යුත්තේ අපම බැවිනි. ජනාධිපතිවරණයේ ඉදිරි කාලය තුළ ප්‍රතිපත්ති ප්‍රකාශ සම්බන්ධ බොහෝ වාද විවාද ඇති වෙතැයි අපේක්ෂා කළ හැකිය. හොඳ ප්‍රතිපත්ති කාගේදැයි තීරණය කිරීමට නම් සියලු අපේක්ෂකයන් තම ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරනතුරු බලා සිටිය යුතුය. එසේ බලා සිට තම වටිනා ඡන්දය ලබාදෙන පිරිසක් ද අප රටේ වීම සතුටකි. පක්ෂ පාටවලට වඩා ප්‍රතිපත්ති මතවාද පිළිබඳව සැලකිලිමත් වීම වැදගත්ය.

නිවෙසක් ඉදිකෙරෙන්නේ අත්තිවාරමක් මතය. ඒ සඳහා ප්‍රථමයෙන් කෙරෙන්නේ සැලසුමක් ඇඳීමය. සැලසුමට අනුව ඉදිවන නිවෙස ගැන අපට යම් අදහසක් ලබාගත හැකිය. ඒ දිග, පළල, කාමර ගණන ආදී වශයෙනි. මැතිවරණයකදී පක්ෂයක හෝ අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ද නිවෙසක සැලසුමට සමානය. බලයට පත්වන නායකයාගේ හෝ පක්ෂයේ පාලනය කෙසේ වනු ඇතිදැයි ඔවුන් බලයට පත්වීමට පෙරම අදහසක් ලබාගත හැක්කේ එකී ප්‍රතිපත්ති ප්‍රකාශය මගිනි.
සෑම පක්ෂයකටම නිශ්චිත වූ වෙනස් නොවන පොදු ඡන්ද ප්‍රමාණයක් (Block vote) ඇත. එහෙත් එම පක්ෂයේ හෝ එහි අපේක්ෂකයාගේ ජයග්‍රහණය තහවුරු කරනු ඇත්තේ එම ස්ථිර ඡන්ද නොව, අතරමැද හෝ පාවෙන ඡන්දය. බොහෝ විට මේ පාවෙන ඡන්ද තීරණය වන්නේ අපේක්ෂකයාගේ ජනප්‍රියභාවය මත නොව ප්‍රතිපත්ති මතය.

ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයන්ගේ මැතිවරණ ප්‍රතිපත්ති මේ දිනවල නිල නොලත් මට්ටමින් දේශපාලන වේදිකාවල පළවෙමින් ඇත. මෙම ජනපතිවරණයේ ප්‍රතිපත්ති පිළිබඳව මෙරට සංවිධාන කිහිපයකින් දේශයේ අපි විමසීමක් කළෙමු.

රටේ ජනතාව දැනුවත් කිරීම අපේක්ෂකයන්ගේ වගකීමක්
සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පාහියංගල ආනන්දසාගර හිමි

“වත්මන් සියලුම ජනාධිපති අපේක්ෂකයන් තමන්ගේ ප්‍රතිපත්ති මාලාවන් පිළිබඳව රට දැනුවත් කර තිබිය යුතුයි. ජනතාවට රටට කරන සේවය පිළිබඳව ඔවුන් ඔවුන්ගේ ප්‍රතිපත්ති මාලාව තුළ සඳහන් කර තිබිය යුතුයි. ඒ වගේම ප්‍රතිපත්ති ඒ ආකාරයටම ක්‍රියාත්මක කළ යුතුයි කියන මතය මේ රටේ ජනතාවට තියෙනවා. මෙතෙක් පාලනයට ආපු සියලුම ජනාධිපතිවරුන් ප්‍රතිපත්ති මාලාවන් පිළිබඳ යම් දැනුවත් කිරීමක් රට හමුවේ ඉදිරිපත් කළා. ඒ වගේම මේ ඉදිරිපත් වෙලා ඉන්න ජනාධිපතිවරණ අපේක්ෂකයනුත් ප්‍රතිපත්ති මාලාවන් පිළිබඳව රට දැනුවත් කළොත් හොඳයි කියන එක අපි කියා සිටිනවා.”

රටක පැවතිය යුත්තේ මහජනයා දිරිගන්වන, ආරක්ෂාව පිළිබඳ වගවන, සෞඛ්‍ය, අධ්‍යාපනය පිළිබඳ මෙන්ම යහපත් ආර්ථිකයක් ළඟා කරගත හැකි ප්‍රතිපත්තියකි. එවැනි දේ ගැන අවධානය යොමු නොකොට ඇතැම් අපේක්ෂකයන් දේශපාලන වේදිකා මත කෑමොර දෙන්නේ සියලු දෑ නොමිලේ ලබාදෙන බවය. නමුත් පිනට දීම මගින් මෙරට වැඩ කරන ජනතාවගේ බලය, ජවය සහ ශක්තිය පුබුදු කළ නොහැකි බව පැහැදිලිය. මෙවන් දේශපාලන ප්‍රතිපත්ති හේතුවෙන් නොමිලයේ සියල්ල දෙපා මුලට වැටෙනතුරු බලා සිටීම රටේ ජනතාවගේ ද පුරැද්දක් වී හමාරය. ලාභ දේ බාල බව කියන්නා සේම නොමිලයේ ලැබෙන දෙයහි අගය ශුන්‍ය බවද කිව යුතුය.

කාන්තා අයිතීන් කතා නොකිරීම කනගාටුවක්
සරෝජා පෝල්රාජ් - අයිතීන් උදෙසා කාන්තා සංවිධානයේ සභාපති

“මේ රට අවුරුදු 71ක් තිස්සේ මේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක විසින් මාරුවෙන් මාරුවට රට පාලනය කළා. ඒ ඒ ජනාධිපතිවරණ අවස්ථාවල ප්‍රතිපත්ති ප්‍රකාශ වගේම මැතිවරණ පොරොන්දු ලබා දුන්නා. නමුත් ඒ කිසිම ප්‍රතිපත්තියක් පොරොන්දුවක් ඉටුවන ආකාරයක් අපි දැක්කෙ නැහැ. ඒ ප්‍රතිපත්ති කඩදාසි කොළවලට පමණක් සීමා වුණා. විශේෂයෙන්ම කාන්තාවන් සඳහා මෙතෙක් පත්වූ කිසිම අපේක්ෂකයකු හඬක් නැගුවේ නැහැ.

ඒ වගේම මෙරට සිටින ලිංගික අඩන්තේට්ටම්වලට ගොදුරු වූ කාන්තාවන් ගැන කිසිවකු කතා කරලා නැහැ. මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙන ප්‍රධාන දේශපාලන පක්ෂ අතුරින් ජවිපෙ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පමණක් තමන්ගේ ප්‍රතිපත්ති මාලාවන් කොටස් වශයෙන් එළිදක්වා තිබෙනවා.

 ඔහුගේ ප්‍රතිපත්ති මාලාව තුළ කාන්තාවන් වෙනුවෙන් ඉටු කරන යම් ප්‍රතිපත්ති පිළිබඳව සටහන් කර තිබෙනවා. නමුත් ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා තවමත් ඒ පිළිබඳ කතා නොකිරීම කනගාටුවට කරැණක්. කාන්තා සංවිධාන හැටියට අපගේ සමස්ත ශ්‍රී ලාංකික කාන්තාවන් පිළිබඳ වගවෙන වැඩපිළිවෙළක් සකස් විය යුතුයි කියන මතයේ අපි ඉන්නවා.”

ප්‍රතිපත්ති තවම එළියට නොදැමීම ජනතාවට කරන අසාධාරණයක්
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය

“ජනාධිපතිවරණය සඳහා තියෙන්නෙ තවත් මාසයකටත් අඩු කාලයක්. නමුත් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන් කිසිවෙක් තමන්ගේ ප්‍රතිපත්ති මාලාව පිළිබඳව ජනතාව දැනුම්වත් කරලා නැහැ.

අනුර කුමාර ජනාධිපති අපේක්ෂකතුමා පමණක් මේ වෙනකොට කොටස් වශයෙන් තමන්ගේ ප්‍රතිපත්ති පිළිබඳව මහජනතාව දැනුම්වත් කර තිබෙනවා. මෙවර මැතිවරණයට පෙර තමන්ගේ ප්‍රතිපත්ති එළිදැක්වීම තුළ ජනතාවට යම් පැහැදීමක් ඇතිවෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒ වගේම තමයි ජවිපෙ අපේක්ෂකතුමා කියලා තිබුණා දුප්පතුන් මරණ මංචකයට දක්වන සෞඛ්‍ය ප්‍රතිපත්තියක් තියෙන්නෙ කියලා. නමුත් මේ වත්මන් රජය යටතේ පසුගිය කාලයට සාපේක්ෂව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුවක් වෙලා තියෙනවා. රටක පාලනයක් ගෙන යාමට බලාපොරොත්තු වන රටේ මුල් පුරවැසියා තෝරන සටන තමයි දැන් පැවැත්වීමට නියමිතව තිබෙන්නෙ. මේ මැතිවරණ ප්‍රතිපත්ති තවමත් එළි නොදක්වා සිටීම තුළ මොවුන්ගේ ඉදිරි ගමන පිළිබඳව යම් අවිනිශ්චිත භාවයක් ඇතිවෙලා තියෙනවා. ජනතාව දැනගත යුතුයි මෙම නායකයන් රටට මොනවද කරන්නෙ කියන එක පිළිබඳව. ඒ නිසා මේ නායකයන් විසින් රටට හිතකර ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කළ යුතුයි කියන මතයේ අපි ඉන්නවා. රටට ජනතාවට සෙතක් වන ප්‍රතිපත්ති පිළිබඳව මේ පාලකයන් රටට දැනුම් දිය යුතුයි ඉක්මනින්ම. ඒ වගේම එම ප්‍රතිපත්ති ලබාදෙන ආකාරයටම බලය ලබාගත් පසුවද ක්‍රියාත්මක විය යුතුයි කියන විශ්වාසයේ අපි ඉන්නවා.”

දේශපාලන මැජික් දැන් රටටම ඇලජික්
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරැ රත්කරව්වේ ජිනරතන හිමි

’විවිධ මට්ටමේ පොරොන්දු ප්‍රතිපත්ති ප්‍රකාශන ජනාධිපතිවරණ වේදිකාවල මේ දිනවල කතාබහ කෙරෙනවා. නමුත් ජනතාව මෙම ප්‍රතිපත්ති මාලාවන් දෙස ඉතා විමසිල්ලෙන් යුතුව බලන්න ඕන. විශේෂයෙන්ම මේ අපේක්ෂකයන් දෙන ප්‍රතිපත්ති පිළිබඳව, මීට පෙර දුන් ප්‍රතිපත්ති මාලාවන් පොරොන්දු පිළිබඳවත් ජනතාව සිහියට නගාගත යුතුයි

බලයට පත්වූ කිසිම ජනාධිපතිවරයෙක් මේ ලබා දුන් පොරොන්දු ප්‍රතිපත්ති මාලාවන් ඉටුකර නැහැ. රටේ ජනතාව තවමත් මේ ප්‍රතිපත්ති පිළිබඳව වඩා විමසිල්ලෙන් පසුවිය යුතුයි කියන මතයේ ඉන්නේ ඒ නිසා. ඒ වගේම අධ්‍යාපනයට, සෞඛ්‍යයට මූලික තැනක් මේ අපේක්ෂකයන් විසින් ලබාදිය යුතුයි. නමුත් එහෙම වෙන බවක් මේ වෙනකම් දක්නට නැහැ. තම තමන්ගේ ප්‍රතිවාදී අපේක්ෂකයන් සමඟ වෛරී දේශපාලන කතා පමණයි අහන්නට දකින්නට ලැබෙන්නෙ. ඒ නිසා මෙම අපේක්ෂකයන් රටට හිතකර ප්‍රතිපත්ති මාලාවක් රටට ඉදිරිපත් කළ යුතුයි. ඒ වගේම එම පොරොන්දු ප්‍රතිපත්ති කඩවුණු පොරොන්දු නොවිය යුතුයි. මොකද සැමවිටම වගේ මොවුන් මේ පෙන්වන දේශපාලන මැජික් ජනතාවට දැන් ඇලජික් වෙලා තියෙන්නෙ.”

කවුරුත් දෙන පොරොන්දු ගැන අපට විශ්වාසයක් නෑ
මොරටුව දැව ආශ්‍රිත කර්මාන්තකරුවන්ගේ සංගමයේ සභාපති වඩුගේ සෝමසිරි

“වඩු කාර්මිකයන් පිළිබඳව කිසිවෙක් මේ වන තෙක් කතාබහ කර නැහැ. ඒ වගේම වඩු කර්මාන්තය ජීවනෝපාය කරගත් බොහෝ දෙනාට කිසිම ජනාධිපතිවරයෙක් විසින් යම් හෝ වැඩපිළිවෙළක් සකස් කර නැහැ.

මෙතෙක් බලයට පැමිණි සෑම කෙනෙක්ටම වුවමනා වුණේ අපේ ඡන්දය පමණයි. ඡන්දය ලබාගත්තට පස්සෙ ඔය මොනවත් ප්‍රතිපත්ති පොරොන්දු ලබාදීමක් මෙතෙක් කාලයකට සිදුවී නැහැ. දේශපාලනය මේ වෙනකොට අපිට තිත්ත වෙලා ඉවරයි. හැම කාලයකදී වගේම බලයට එනකොට තියෙන කතා පෙන්වන සුරංගනා ලෝක බලය ලබාගත්තට පස්සෙ කිසිවෙක් කරන්නෙ නැහැ. ඒක හොඳ ආකාරයෙන්ම අපි දන්නවා. ඒ නිසා ඔය දැනට ඉදිරිපත් වී සිටින කිසිම ජනාධිපති අපේක්ෂකයෙක් දෙන පොරොන්දු පිළිබඳව අපිට විශ්වාසයක් තියන්න පුළුවන්කමක් නැහැ. අනික තමයි රටේ ජනතාවට සියලුම දේ ලබාදෙන බවට ප්‍රතිපත්තිවල සඳහන් කර තිබුණත් ඒවා ඉෂ්ඨවෙලා නැහැ. සමහරු තවමත් ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරලත් නැහැ. ඇයි එහෙම වෙන්නෙ? ජනතාව තවදුරටත් මේ ප්‍රතිපත්ති ප්‍රකාශන බලා ඉඳියි කියලා අපිට විශ්වාසයක් නැහැ.”

ඉටු කරන්න පුළුවන් දේවල් කියනවා නම් තමයි හොඳ
පැරූලිය එක්සත් ධීවර සමිතියේ සභාපති රවී බොනිපස් ද සිල්වා

“අපි අතට කීයක් හරි හොයාගත්තොත් තමයි අපේ දරුපවුල් නඩත්තු වෙන්නෙ. මේ කිසිම කෙනෙක් ජනාධිපතිවරණ වේදිකාවේ ධීවර ප්‍රජාව ගැන කතාබහ වන ආකාරයක් අපි දුටුවේ නැහැ.

ඒ කියන්නෙ මේ පාලකයන් හැමෝම මේ ප්‍රජාවගේ කටයුතුවලට විසඳුමක් ලබාදෙයි කියන විශ්වාසයක් තියන්න අමාරුයි. මේ ප්‍රතිපත්ති පොරොන්දු පිළිබඳ ජනතාව දැනුවත් කරන්න ඕන. රටට යහපතක් වෙන ආකාරයේ වැඩපිළිවෙළක් මේ නායකයන් විසින් මේ ජනතාවට සලසා දිය යුතුයි. විශේෂයෙන් ගොවියන්, කම්කරැවන්, රජයේ සේවය කරන අය මෙන්ම ධීවර ප්‍රජාවටත් ඔවුන්ගේ ගැටලු විසඳීමට වැඩපිළිවෙළක් මොවුන් ඉදිරිපත් කළ යුතුයි. ඒ වගේම තමයි බලයට පැමිණෙන, පැමිණීමට ඉන්න සියලු දෙනා බලය ලබාගත්තට පස්සෙ ඒ කිසිවක් ඉදිරිපත් කරන ආකාරයක් ක්‍රියාත්මක කරන ආකාරයක් අපි ඇත්තටම දැකලා නැහැ. ඒ නිසා පොරොන්දු ලබාදෙන ප්‍රතිපත්ති වෙනුවට ඉටුකළ හැකි ප්‍රතිපත්ති මාලාවක් ජනතාවට දෙනවා නම් වඩාත් හොඳයි.”

විදෙස් ශ්‍රමිකයන්ට ලබාදෙන තැන මදි
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ අයිතීන් සුරුකීමේ ජාතික සංවිධානයේ ලේකම් සුභාෂණ සුභවික්‍රම

“මේ කිසිදු අපේක්ෂකයෙක් තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන තුළ විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වෙනුවෙන් වැඩපිළිවෙළක් ගැන කතා කරන බවක් අප දුටුවේ නැහැ. විදෙස්ගත ශ්‍රමිකයන් තමයි අද මේ රටේ නැංගුරම බවට පත්වෙලා ඉන්නෙ. නමුත් මොවුන් වෙනුවෙන් තවමත් කිසිදු අපේක්ෂකයකු පොරොන්දුවක් හෝ ලබා නොදීම කනගාටුවට කාරණයක්. විශාල පිරිසක් මෙවර ජනාධිපතිවරණයට සිය ඡන්දය භාවිත කරන්න මෙරටට පැමිණීමට නියමිතව සිටිනවා. බොහෝ පාලකයන් මේ වන තෙක් කරගෙන ආපු ක්‍රමය තමයි ජනතාව රවට්ටලා ජනතාවගේ ඡන්දයක් ලබාගත්ත එක. කිසිදු ජනපතිවරයෙක් මේ දක්වා ඒ ජනාධිපතිවරණ කාලසීමාවලදී ලබා දුන් ප්‍රතිපත්ති ඉටු කරන ආකාරයක් අපි දැකලා නැහැ. ඒ වගේම තමයි මේ රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් දක්වන විදෙස්ගත ශ්‍රමිකයන් පිළිබඳව ප්‍රතිපත්ති ප්‍රකාශ තුළ ඉඩකඩක් වෙන් කරනවා නම් වඩාත් යෝග්‍යයි කියන මතයේ අපි ඉන්නවා.”

අපේ බලාපොරොත්තුව සහතික මිල හා පොහොර සහනාධාරයයි
ආර්.බී. හේරත් - ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති

“ජනාධිපතිවරණයත් එක්ක යම් යම් ප්‍රතිපත්ති නිල නොවන ආකාරයට දේශපාලන වේදිකාවල කතාවෙන ආකාරය අපි මේ දිනවල නිරතුරුවම දකිනවා. මේ ජනාධිපති අපේක්ෂකයන් විසින් විශේෂයෙන් ගොවි ජනතාවට සහන ලබාදෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි කියන අදහසේ අපි ඉන්නවා.

 ඒ වගේම තමයි ගොවීන් වෙනුවෙන් පොහොර සහනාධාරය ඇතුළු සහනාධාර ලබාදෙන බවට මේ අපේක්ෂකයන් කියනවා. එය ඇත්තටම හොඳයි. ඒ වගේම අපි කියන්න කැමතියි මේ අපේක්ෂකයන්ට ගොවි ජනතාවට වී වලට සහතික මිලක් ලබාදිය යුතුයි කියලා. ඒ වගේම තමයි මෙතෙක් බලයට පත්වුණු කිසි කෙනෙක් මේ මැතිවරණවල දෙන පොරොන්දු ඉටු කරලා නැහැ. මේවා සියල්ලම කඩවුණු පොරොන්දු පමණයි. දේශපාලකයන් තවමත් මැතිවරණ වේදිකාවල තමන්ගේ බලය ලබාගැනීම සඳහා කෑමොර දෙනවා පමණයි. ප්‍රතිපත්ති තවමත් නැහැ.”

 

 සටහන :- හසිත් අංජන