2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා

ජන නායකයෙක් වියහැකි දැයි කේන්ද්‍රයෙන් තේරුම් ගනිමු

 2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 12:30 442

උපදින සෑම ජීවියකුටම නායකයකු විය නොහැක. විශේෂයෙන් ජන නායකයකු විය නොහැක. ඊට ප්‍රබල ග්‍රහ පෙළගැස්මක් තිබිය යුතුමය. එසේ නොමැතිව මිනිසුන් විසින් මවාගත්තා වූ ගොබෙල්ලස් න්‍යාය වැනි ක්‍රමවේදයන් මියයන තෙක්ම මැතිරුව ද ප්‍රයෝජනයක් වන්නේ නැත. භිර්ගු නන්දන නාඩියේදී ශනි සහ ගුරු යන ග්‍රහයන් එකම දිශාවේ සිටින්නේ නම් ජන්මියාට ජන නායකයකු වීමේ වාසනාව ඇත. ලොව පුරා ජනනායක වරම් ලැබූ කිහිප දෙනකුගේ ජන්ම පත්‍ර සමඟ භිර්ගු නන්දන නාඩි පර්යේෂණ චාරිකාවක නියැලෙන්නයි මේ සූදානම.

අංක: 01

අංක 01 දරන මීන ලග්න හිමි ඒබ්‍රහම් ලින්කන්ගේ මීන ලග්න ජන්ම පත්‍රයේ උතුරු දිශාවට අයත් වෘශ්චිකයේ ශනි ද මීනයේ ගුරු ද තැන්පත්ය. ශනි+ගුරු සම්බන්ධය එකම දිශාවේ පිහිටා ඔහු ජන නායකයකු කළේය.

අංක: 02

අංක 02 දරන උදාහරණ කටක ලග්නය හිමි ශ්‍රී ජවහල්ලාර් නේරුතුමාගේ ජන්ම පත්‍රයේ නැගෙනහිර දිශාවට අයත් සිංහයේ ශනි ද ධනුවේ ගුරු ද තැන්පත්ය. ශනි+ගුරු සම්බන්ධය එකම දිශාවේ පිහිටන නිසා ඔහු ජන නායකයකු බවට පත් විය.

අංක: 03

අංක 03 අනුව කන්‍යා ලග්න හිමි ජේ.ආර්. ජයවර්ධනගේ ජන්ම පත්‍රයේ බටහිරට අයත් මිථුනයේ ගුරු ද කුම්භයේ ශනි ද තැන්පත්ය. ශනි+ගුරු සම්බන්ධය එකම දිශාවේ පිහිටා ඔහු ජන නායකයකු බවට පත් කළේය.

රැකියා කාරක සෙනසුරා රාජකාරක රවි ග්‍රහයා සමඟ කිසියම් සම්බන්ධතාවයක් ගොඩනගාගත් ජන්ම පත්‍රයක් හිමි ජන්මියාට ද ජන නායකයකු වීමේ වාසනාව පවතී. මෙකී භිර්ගු නන්දන නාඩි පර්යේෂණ එවැනි වූ ජන්ම පත්‍ර හරහා ද සලකා බැලිය හැකිය.

අංක: 04

මෙම උදාහරණය අනුව මකර ලග්නය හිමි මාඕ සේතුං චීන නායකයාගේ ජන්ම පත්‍රයේ සෙනසුරු ග්‍රහයා විසින් රවි ග්‍රහයා දැකීම නිසා ශනි+රවි සම්බන්ධය දෘෂ්ටි බලයෙන් පිහිටා ඔහුට ජන නායකයකු බවට පත් කළේය.

අංක: 05

අංක 05 දරන සටහන අනුව කන්‍යා ලග්නය හිමි සිරිමාවෝ මැතිනියගේ ජන්ම පත්‍රයේ රවි ග්‍රහයා විසින් ශනි ග්‍රහයාට එල්ල කරන ලද දෘෂ්ටි බලවේගය නිසා ශනි+රවි සම්බන්ධය ක්‍රියාත්මක වී එතුමිය ජන නායිකාවක් බවට පත් වූවාය.

අංක: 06

අංක 06න් පෙනෙන්නේ තුලා ලග්නය හිමි වින්ස්ටන් චර්චිල්ගේ ජන්ම පත්‍රයේ රවි ග්‍රහයා විසින් ශනි ග්‍රහයාට එල්ල කරන ලද දෘෂ්ටි බලවේගය නිසා ශනි+රවි සම්බන්ධය ක්‍රියාත්මක වී ඔහුව ජන නායකයකු බවට පත් කිරීමය.

පුද්ගලයකු රාජ්‍ය නායක දේශපාලනඥයකු වීමේ බොහෝ භිර්ගු නන්දන නාඩි සිද්ධාන්ත අතරේ පවතින ප්‍රබල සිද්ධාන්ත දෙකක් පමණක් මෙම පර්යේෂණ ලිපියේ දී ඉදිරිපත් කර ඇත.

තම පෞද්ගලික ජ්‍යොතිර්වේදියා ලවා මෙවැනි සරල සිද්ධාන්ත හෝ භාවිත කළේ නම් 2019 ලංකාවේ ජනපතිවරණයට 40ක් ඉක්මවූ අපේක්ෂ්කයන් ඇප බඳින්නේ නැත. එමෙන්ම 35 දෙනකු නාමයෝජනා භාරදෙන්නේ ද නැත. එසේ වූයේ නම් අඟල් 26ක ඡන්ද පත්‍රිකාවක් මුද්‍රණය කොට අහිංසක රටවැසියා අමාරැවෙන් ගෙවන බදු මුදල් කෝටි හතර හමාරක් අමතර ලෙස නිරපරාදේ නාස්ති වන්නේ නැත. පනින්නට පෙර සිතා බැලුවේ නම් මේ ගැටලු නිරාකරණය කරගත හැකිව තිබිණ.

පෘථග්ජන මනුෂ්‍යයා කතිරය ගැසුවාට ඊට මානසිකත්වය ගෙන දෙන්නේ ග්‍රහ බලවේගයයි. දේව ආශිර්වාදයයි. තට්ටු මාරැව උපදින්නේ එසේය. සමාජ සේවය සිදුකළාටම මැතිවරණ ජයග්‍රහණය සිදුකළ නොහැක. 2020 මැතිවරණ වර්ෂයේදීවත් ග්‍රහ ශක්තිය තමාට කෙලෙසක බලපානවාදැයි ජන්ම පත්‍රය හරහා උරගා බැලීමට පෙළඹුණහොත් තමාට නොව සමාජයට පරාර්ථකාමී වූවා වනු ඇත.

ජ්‍යොතිෂ විද්‍යාර්ථී - 
ලංකා පුත්‍ර - 
සුරා ශ්‍රී ගුණවර්ධන

 

 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00