2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා

ඡන්ද වේදිකාවේ නත්තල් පප්පලා

 2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 12:30 50

විවිධ අවස්ථාවල දේශපාලනඥයන් විසින් වීවෘත වේදිකා මත ප්‍රකාශ කරන ලද බදු අඩුකිරීම් සහ විවිධ ජනතා සහන සැලසීම සඳහා 2018 අංක 35 දරණ මුදල් පනත සංශෝධනය කිරීම වෙනුවෙන් පනත් කෙටුම්පතක් 2019 අගෝස්තු මස 22 දින ඉදිරිපත් කර ඇති අතර එය නුදුරු දිනක පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට නියමිතව ඇත.

ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ මෙම සහන ලබාදීම හුදෙක් දේශපාලන වාසි ලබාගැනීම සඳහා ජනාධිපති මැතිවරණය පෙරදැරි කරගෙන සිදුකරන්නක් මිස රටේ ආර්ථිකය නගා සිටුවීමට ගන්නා පියවරක් නොවන බවය. එසේම දැනටමත් විශාල මූල්‍යමය අර්බුදයකට ලක්වී කෝටි 5000ක බිල් පවා ගෙවීමට නොහැකිව පවතින අවස්ථාවක ජාතික ආදායම පහළ බසින ලෙස සැකසුණු මෙම යෝජනාවලින් රට තවත් අර්බුදයකට ලක්විය හැකි බවට සැක පහළ කෙරේ. එයට හේතුව වන්නේ මෙම සංශෝෂන මගින් රටට අහිමි වන ආදායම පියවා ගැනීම සඳහා විකල්ප ක්‍රියාමාර්ග රජය ප්‍රකාශයට පත්කර නොතිබීමය. ඒ නිසා අනාගතයේදී රාජ්‍ය සේවක වැටුප් ගෙවීම ආදි අත්‍යවශ්‍ය කටයුතු සඳහා පවා මුදල් සොයාගැනීමට රජයට ගැටලුවක් වනු ඇතැයි යන්න මැදහත් විචාරකයන්ගේ පිළිගැනීමයි.

නුදුරැ දිනක සම්මත කිරීමට නියමිත මෙම සංශෝධන මගින් 2018 නොවැම්බර් මස 01 දින අංක 35 දරණ මුදල් පනත සහ එයට පෙර පැවැති මුදල් පනත් කිහිපයක් සංශෝධනයට ලක්කර ඇත. 1995 අංක 16 දරණ මුදල් පනත හා 2003 අංක 25, 2005 අංක 5, 2012 අංක 12, 2015 අංක 10 යන මුදල් පනත් සංශෝධනය කිරීම සිදුකෙරේ. එම පනත මගින් නව බදුවර්ග කිහිපයක් හඳුන්වා දී තිබුණි. ඒවා නම්
• මෝටර් වාහන මත සුඛෝපභෝගී බද්ද
• වාහන හිමිකම් අය බද්ද
• සමාගම් ලියාපදිංචි කිරීමේ වාර්ෂික අය බද්ද
• ණය ආපසු ගෙවීමේ අය බද්ද
• කාබන් බද්ද
• දුරකතන සන්නිවේද කුළුණු අය බද්ද
• ජංගම දුරකතන කෙටි පණිවුඩ සේවා මත බද්ද
එසේම එම පනතේ 11 කොටසින් 2019-08-22 වන දින ඉදිරිපත් වන මුදල් පනතට සංශෝධන සහ නව බද්දක් වශයෙන් විදේශීය වාණිජ ගනුදෙනු අප බද්දක් පැනවීමට ද යෝජිතය.

2018 අංක 35 දරණ මුදල් පනත මගින් මෝටර් වාහන සඳහා පනවා තිබූ ආනයන බදු එනම් සිලින්ඩර් ධාරිතාව 2300cc ඩීසල් වාහන සහ ධාරිතාව 1800cc නොඉක්ම වූ පෙට්‍රල් වාහන සඳහා පනවා තිබූ බදු සංශෝධනය කර ඇත. මෙහිදී සිලින්ඩර ධාරිතාව 2200cc නොඉක්ම වන ද්විත්ව කාර්ය පැට්‍රල් වාහන සහ ද්විත්ව කාර්ය විදුලි මෝටර් රථ සියල්ල බද්දෙන් ඉවත් කර තිබේ. එසේම පළමු ලියාපදිංචිය 2019 ජුලි 1 දිනට පසුව එළඹෙන වාහන, ද්විත්ව කැබ් රථ හැර යතුරු පැදිය, ට්‍රයිසිකල්, ට්‍රැක්ටර් ඇතුළු වාහන වර්ග 10ක් බද්දෙන් නිදහස් කර ඇත.

එසේම විදේශවලදී භාණ්ඩ හා සේවා සඳහා ගෙවීම් කාඩ්පත් මගින් සිදුකරන ගනුදෙනු සඳහා ගනුදෙනු බද්දක් අය කිරීමට ද යෝජනා වී ඇති අතර මෙය සීයයට 3.5ක් වේ. මෙම බද්දෙන් නිදහස් කිරීමට ද මුදල් ඇමැතිට බලය ලැබී ඇත.

2012 අංක 12 දරණ මුදල් පනත මගින් නියම කර තිබූ මෝටර් වාහන බද්ද සංශෝධනය කර තිබේ. රෙදිපිළි නිෂ්පාදනවලට ගෙවිය යුතු සෙස් බද්ද ද සංශෝධනය කර ඇති අතර නිමි ඇඳුම් කාන්තා ඇඟළුම් සහ රෙදිපිළිවලට දුසිමකට රුපියල් 12ක බද්දක් හා අත්මේස් කුට්ටම් දුසිම් 10කට රුපියල් 12ක් සහ රෙදි වර්ග මීටර් 10කට රුපියල් 3 බැගින් ද කුඩා කොට්ට උර කෑලි 40ක් සඳහා රුපියල් 12ක් සහ යට ඇඳුම් දුසිම් 50කට රුපියල් 12 බැගින් ද බදු අයකෙරේ. 

2018 අංක 35 දරණ මුදල් පනත මගින් සංචාරක සංවර්ධන බද්ද සංශෝධනය කරන අතර, 2018 දෙසැම්බර් 31 දිනෙත් අවසන් වන කාලය සඳහා මිලියන 3ක්ද, රුපියල් මිලියන 12 නොඉක්මවන වාර්ෂික පිරිවැටුපක් හෝ කාර්තුවකට රුපියල් මිලියන 3ක් නොඉක්මවන පිරිවැටුම් සඳහා සියයට 0.5ක් ලෙස බදු සංශෝධනය කර ඇත.

2004 අංක 11 දරණ පනත යටතේ 2 වන වගන්තිය සංශෝධනය කර ඇති අතර හවුල් ව්‍යාපාර විසින් විකුණන නිෂ්පාදනය නොකළ සහ සාදනු නොලැබූ භාණ්ඩ තොග හෝ සිල්ලරව විකුණන ව්‍යාපාර ද බද්දට යටත් කර ඇත. 

1995 අංක 16 දරණ මුදල් පනතේ සංශෝධන අනුව 2011-04-01 දිනට අවසන් වන සෑම වසරක් සඳහාම වර්ෂ 7කට නොවැඩි කාලයක් සඳහා රුපියල් 150,000 සිට 30,000 දක්වා සුඛෝපභෝගී වාහනවලට ද අර්ධ සුඛෝපභෝගී වාහනවලට රුපියල් 60,000 සිට 15,000 දක්වා ද ද්විත්ව කාර්ය වාහන සඳහා පළමු වර්ෂයේ සිට 7 වන වර්ෂය දක්වා රුපියල් 40,000 සිට 6,000 දක්වා ද අය කෙරේ.

එසේම මෙම සංශෝධනවල විශේෂයක් වන්නේ 2018 අංක 35 දරන මුදල් පනත මගින් පැනවූ මන්දිර බද්ද හා මෝටර් වාහන ආනයන බලපත්‍ර ගාස්තුව ඉවත් කර තිබීමය.

මේ ආකාරයෙන් ඇතැම් බදු ඉවත් කිරීම, සංශෝධනය කිරීම සහ අලුතෙන් බදු නැගීම කර ඇත. කෙසේ වුවද අපේ බදු ප්‍රතිපත්තිය සමාලෝචනය කිරීම මේ වනවිට කාලීන අවශ්‍යතාවයක් බවට පත්ව තිබේ. එසේ නොමැතිව විටින් විට පැලැස්තර ඇලවීම ආර්ථික ගැටලුවලට පිළියමක් නොවේ.

මේ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මෙසේ කියයි
“අපේ රටේ සිදුව ඇති ප්‍රධානතම අර්බුදය නම් ආර්ථිකය හා දේශපාලනය එකට පටලවා ගැනීමයි. දේශපාලන න්‍යාය පත්‍රයට අනුව ආර්ථිකය හසුරවන්නට යාම නිසා තමයි විශාල අවුලක පැටලී ඇත්තේ වේදිකාවල දෙන දේශපාලන පොරොන්දු නීත්‍යානුකූල කිරීම සඳහා පනත් ගෙන ඒමයි. මේ දිනවල සිදුවෙමින් පවතින්නේ. දේශපාලනයට හරියන ලෙස ආර්ථිකය හසුරුවන්න බැහැ. දේශපාලනය එකක්, ආර්ථිකය තව එකක්. ආණ්ඩු මාරු වුණාට ඇමැති මාරු වුණාට රටේ ආර්ථික ප්‍රතිපත්ති වෙනස් විය යුතු නැහැ. නිදහස ලැබූ දා සිට අපේ රට අගාධයට යන්නේ දේශපාලනඥයන් ආර්ථිකය අතට ගැනීම නිසයි.

මේ දිනවල සැමදාටම වඩා මෙය සිදුවෙමින් පවතිනවා. ප්‍රධාන දෙපිළේ අපේක්ෂකයන් තරගකාරී ලෙස ආර්ථිකය වෙන්දේසි කිරීමක් තමා අද සිදුවන්නේ. තම ඡන්ද ගොඩ වැඩි කර ගැනීමට තමා මේ අපරාධය කරන්නේ. බලයේ තිබෙන ආණ්ඩුව තම පොරොන්දු දේශපාලනීකරණය කිරීම සඳහා පවතින පනත් පවා කිසිදු විමසුමකින් තොරව වෙනස් කිරීමටයි මේ සූදානම් වන්නේ. මෙලෙස අණපනත් ගෙනඒම විශාල අපරාධයක් : එයට හේතුව මෙලෙස හදිසියේ වෙනස් කරන දේවල් දිගටම පවත්වා ගන්න නුපුළුවන් වීමයි.

රටක ප්‍රාග්ධන වියදම් හා වර්තන වියදම් ලෙස වියදම ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. වියදම් කරනවා නම් එයට අවශ්‍ය ආදායම ලබාගැනීමට ක්‍රම තිබිය යුතුයි. රජයේ කාර්යභාරය වන්නේ අවශ්‍ය ආදායම උපයාගෙන එය අවශ්‍ය පාර්ශ්වවලට සහනාධාර දීම සඳහා කටයුතු කිරීමයි. ඒ නිසා මූලිකව වියදමට වඩා ආදායම ලබාගැනීමට අවධානය යොමුකළ යුතු වෙනවා.

අතීතයේ පැවසුවේ බදු යනු වගකීමක්ය කියලයි. එහෙත් අද වනවිට බදු බරක් බවට පත්වෙලා තියෙනවා. ඉස්සර පිළිගෙන තිබුණේ රටේ සම්පත් භාවිත කර ආදායම ලබන විට ඉන් ප්‍රතිශතයක් බදු ලෙස රජයට ගෙවිය යුතු බවටයි. නිෂ්පාදන සාධකවලින් භූමිය හා ශ්‍රමය රටෙන් ලබාගන්නා විට ඒ වෙනුවෙන් බදු ගෙවීම තමා සම්ප්‍රදායව පැවතියේ. එහෙත් මේ බදු අසාධාරණව අයකිරීම නිසා එය බරක් බවට පත්වුණා. බදු මූලධර්මවලට පටහැනිව බදු අයකිරීම බරක්. වැඩි ආදායම ලබන අයගෙන් වැඩි බදු, අඩු ආදායම ලබන අයගෙන් අඩු බදු තමා අයකර ගත යුත්තේ. එහෙත් අද ඍජු බදුවලට වඩා වක්‍රබදු අයකිරීම නිසා දුප්පත් පොහොසත් දෙපාර්ශ්වයටම බදුවලට එකම ප්‍රතිශතයක් ගෙවිය යුතුව තිබෙනවා. ඒ නිසා රජය කළ යුත්තේ නත්තල් පප්පලාවගේ බදු අඩුකරන බව වේදිකාවල පැවසීම නොව ජනතාවට බරක් නොවන බදු ප්‍රතිපත්තියක් ඇති කිරීමයි.

මේ වනවිට එක් පාර්ශවයක ජනාධිපති අපේක්ෂකයෙක් කියනවා වැට් බද්ද සියයට 15 සිට 8 දක්වා අඩු කරන බව. මේ නිසා අහිමිවන ආදායම රුපියල් කෝටි හතළිස් දහසයි. මෙම මුදල් සොයා ගන්නේ කොහොමද කියලා කියන්නේ නැහැ. මෙලෙස හිඟයක් ඇතිවීම නිසා අප තවතවත් ණයවලට තල්ලු වෙනවා. බදු රාජ්‍යයකින් ණය රාජ්‍යයකට ගමන් කිරීමයි මෙහිදී සිදුවෙන්නේ. බදු නැතිවූ විට වියදම් පියවා ගන්නට ණය ගන්න සිදුවීම වළක්වන්න බැහැ.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේදී කළේ රට ණය රාජ්‍යයක් බවට පත්කිරීමක්. වර්තමාන ආණ්ඩුව උත්සහ කළේ ණය නැතිව බදුවලින් පියවා ගැනීමටයි. බදු ඉහළ දැම්මේ ඒ නිසයි. එය ආර්ථික වශයෙන් යහපත් පියවරක්. එහෙත් දේශපාලන වශයෙන් අහිතකරයි. බැණුම් අහන්නයි වෙන්නේ. මේ ආණ්ඩුව ආර්ථිකය හදන්න ගිහින් තමා මෙලෙස චෝදනාවලට ලක්වෙන්නේ.

බදු අයකිරීමට කළ යුතු දෙයක්. ආසියාව තුළ අපේ රට තමා අවම බදු ප්‍රතිශතයක් අයකරන රට. එක් අපේක්ෂකයෙක් කාබන් බද්ද අහෝසි කරන බවට පොරොන්දු දෙනවා. මුලදී මේ බද්ද නොපනවා ඉන්ධන ලීටරයකින් රුපියලක් වැඩිපුර අය කළා නම් වැඩිපුර ආදායමක් ලබාගත හැකිව තිබුණා. එය ජනතාවට එතරම් දැනෙන දෙයක් නෙවෙයි. අද අපට ඇත්තේ බද්දට වඩා බදු කළමනාකරණය පිළිබඳ ගැටලුවක්. ප්‍රධාන පාර්ශ්ව බදු කපාහරින ගමන් සහනාධාර වැඩි කිරීම ගැන කතා කරනවා. මෙය ප්‍රායෝගිකව කළහැකි දෙයක් නොවෙයි.

ඒ අය කතා කළ යුත්තේ අතිරේක ආදායම් ලබන්නේ කොහොමද කියලයි. එහෙම නැතුව ජනතාව සතුටු කරලා ඡන්ද ගැනීමට සහනාධාර දීම නොවෙයි. ණය ශ්‍රේණි ගත කිරීමේදී ලෝක බැංකුව අපේ රට ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට පත්කරලා තිබෙනවා. එයින් අපට සිදුවන අවාසිය තමා ණය පොලිය වැඩිවීම. එහෙම නැතුව එය වේදිකාවල පවසා ආඩම්බර වීම වැරදියි.

යසවර්ධන රුද්රිගු

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00