2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා

පොලීසියේ අණින් ගැලවුණු ගුරුකන්ද පන්සලේ සී.සී.ටී.වී. ආරක්ෂාව

 2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 12:30 34

ආගමික හා ජාතීන් අතර වන කාරණා සංවේදීය. අන්තවාදී පුද්ගලයන්ටත් කණ්ඩායම්වලටත් මේ සියුම් අන්ත ඔස්සේ ක්‍රියාත්මක වීමට පහසුය. ඒ හරහා ආගමික හෝ ජාතීන් අතර ගැටුම් ඇතිකර ඔවුනොවුන් තුළ වෛරය පැතිරවීමට උත්සාහ දරති. මේ ක්‍රියා මගින් ජනතාව බේද කොට සාමය සංහිඳියාව කෙලෙසන අන්තවාදීහු විදෙස් මුදල්වලින් පෝෂණය වෙති.

මෙරට මෑත ඉතිහාසයේ මහා ව්‍යසනයක් ඇතිකළ පාස්කු දින ප්‍රහාරයත් ඉකුත්දා මුලතිව් නයාරු ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ එකිනෙක වූ සිද්ධි දාමයත් එවැනි අන්තවාදී කණ්ඩායම් දෙකක ප්‍රබල අතපෙවීම්ය. මුස්ලිම් අන්තවාදය විසින් බෝම්බ පිපිරීම් මාලාවක් සිදුකර මිනිස් සංහාරයක් සිදුකළේය. දෙමළ ඩයස් පෝරාවේ වුවමනාව මත ක්‍රියාත්මක තවත් අන්තවාදී කල්ලියක් උතුරු නැගෙනහිර මුල්කොට ගනිමින් බෞද්ධ වෙහෙර විහාරස්ථානවලට විවිධාකාර තර්ජන බලපෑම් එල්ල කරමින් සිටිති. එවැනි බලපෑම්වලට එරෙහිව නැගි සිටීමටත් බෞද්ධ සිද්ධස්ථාන රැකබලාගෙන ආරක්ෂා කිරීමටත් එම ප්‍රදේශවල වැඩවසන ස්වාමීන් වහන්සේලා කටයුතු කළෝය. එහෙත් ගුරුකන්ද පුරාණ රජමහා විහාරයට එකිනෙක එල්ලවන චෝදනා පසුපස ඊළාම් අන්තවාදය සැඟවී ඇතැයි කිව හැක්කේ අදාළ භූමි කොටස් ඉලක්ක කොටගෙන එල්ලවන බලපෑම් නිසාය.

ගුරුකන්ද විහාරයේ පිහිටි දේවාලය කෝවිලක් ලෙස හඳුන්වා පුද සත්කාර කිරීමට උත්සාහ කිරීම, එම විහාරයේ විහාරාධිපති හිමියන් අපවත් වූ පසුව දේහය විහාර බිමේ ආදාහනය කිරීමට එරෙහිව නැගී සිටීම, ඊට විරෝධතා දක්වමින් සිටි මොහොතේ අංක රහිත යතුරුපැදියක සැකකරුවන් දෙදෙනකු පැමිණීම, විහාර බිමේ වූ සමාධි පිළිමය මතට පිරිසක් නැගීම, ඩෝසරයක් රැගෙන විත් විහාර භූමිය අනවසරයෙන් හෑරීම සහ බලහත්කාරයෙන් එම භූමියේ පූජාවක් පැවැත්වීම මෙන්ම විහාරයේ භාරකාර තරුණයා කපා දමා විහාරය සම්පූර්ණයෙන් ඩෝසර් කර දමන බවට තර්ජනය කිරීම ගුරුකන්ද පන්සලට එරෙහිව අන්තවාදීන්ගේ ක්‍රියාවන්ය.

විහාරස්ථානයේ ආරක්ෂාව සඳහා මුලතිව් පොලීසියට අනුබද්ධ මුරපොළක් විහාරයේ ස්ථාපිත කර ඇතත් ඉහත කී බලපෑම් සියල්ල එල්ල වී තිබුණේ පොලීසිය එහි රැඳී සිටියදීය. පන්සලේ දේපොළ හා විහාරාධිපති හිමියන් ඇතුළු සංඝරත්නයේ හා භාරකාර තරුණයාගේ ජීවිත ආරක්ෂාව පතා සී.සී.ටී.වී. කැමරා පද්ධතියක් සවිකිරීමට විහාරාධිපති හිමියන් ප්‍රමුඛ දායක සභාව කටයුතු කර තිබුණේ මීට සතියකට පමණ ඉහතදීය.

ඒ අනුව පසුගිය 15වැනිදා කාර්මිකයකු ලවා පන්සලේ විහාරගෙය ආශ්‍රිතව සී.සී.ටී.වී. කැමරා පද්ධතියක් සවිකරමින් සිට ඇත. එහිදී එතැනට පැමිණි පොලිස් නිලධාරීන් අදාළ ක්‍රියාව නතර කරන්නැයි උපදෙස් දී ඇතැයි කියති. මේ පිළිබඳ අදහස් දැක්වූ ගුරුකන්ද විහාරස්ථානයේ බාරකාර කැළුම් බංඩාර මෙසේ කීය.

“දිගින් දිගටම පන්සලට තර්ජන එල්ල වෙනවා. අන්තිමට විහාරස්ථානය ඩෝසර් කරලා මාව කපලා වළදානවා කීවා. ඒ තර්ජනය නායක හාමුදුරුවන්ටත් එක්කමයි කළේ. ඉතින් අපිට ජීවිත අවදානමකුත් තියෙනවා. මේක පරම්පරා ගණනක් තිස්සේ පවතින රජමහා විහාරයක්. ඒ දේපොළ එක එක අන්තවාදීන්ට අවශ්‍ය විදිහට විනාශ කරන්න ඉඩදෙන්න වුවමනා නෑ. මේවා රටේ බෞද්ධ උරුමය. එල්ල වන තර්ජන නිසා නායක හාමුදුරුවොයි දායක සභාවයි තීරණය කළා පන්සලට සී.සී.ටී.වී. කැමරා සවි කරන්න. 15 වැනිදා පරාක්‍රමපුර ප්‍රදේශයේ කාර්මිකයො දෙන්නෙක් ගෙන්වලා ඒ කටයුතු කළා. ඒ අතරේ පන්සලේ ඉන්න පොලිස් මුරපොලේ එස්.අයි. මහත්තයෙක් ඇවිත් වැඩේ නතර කරන්න කීවා. මේකට මුලතිව් පොලීසියේ ඕ.අයි.සී. මහත්තයාගේ අවසරය අවශ්‍ය බව කීවා. පස්සේ මට දුරකථන ඇමතුමක් අරගෙන දුන්නා. එහෙන් කතා කළෙත් එස්.අයි. මහත්තයෙක්. එයා කීවා ගුරුකන්ද පුදබිම කාටවත් අයිති නෑ. නායක හාමුදුරු කෙනෙක් පත්වෙලත් නෑ. මේ බිම අයිති රජයට කියලා. ඒ නිසා හිතෙන හිතෙන වැඩ කරන්න එපා ඔයාට තියෙන අයිතිය මොකක්ද කියලත් ඇහුවා. සංඝ සභාව විසින් මිහිඳුපුර රතනදේවකිත්ති හාමුදුරුවෝ නායක හාමුදුරුවෝ විදිහට පත්කරලයි තියෙන්නේ. උන්වහන්සේ නැතිවෙලාවට පන්සල බලාගන්නේ මමයි. ඒකට දායක සභාව මාව පත්කරලා තිබෙනවා කියලා මම එස්.අයි. මහත්තයාට කීවා. ඒත් එතුමා කීවේ මෙතැනට බාරකාරයෝ අවශ්‍ය නෑ කියලා. ටික වෙලාවකට පස්සේ පොලිස් නිලධාරීන් පිරිසක් පන්සලට ආවා. සවිකරපු කැමරා ගලවන්න කියලා බල කළා. පස්සේ ඒ අයට පේන්නම අපි කැමරා ගැලෙව්වා. දැන් අපිට කිසිම ආරක්ෂාවක් නෑ. මේක අපිට එරෙහි අන්තවාදීන්ට හොඳම සහනයක්. අපි මරලා දැම්මත් කාටවත් හොයන්න බෑනේ.”

මුලතිව් ගුරුකන්ද ජනතාවට සිංහල බෞද්ධ, දෙමළ හින්දු වශයෙන් බේදයක් නැති බව ප්‍රදේශවාසීහු පවසති. එහෙත් දෙමළ ජාතික සන්ධානය ප්‍රමුඛ ප්‍රාදේශීය දේශපාලන බලවතුන් මේ ගැටුම් නිර්මාණය කරන බව ජනතාවගේ අදහසය. ගැටුම වර්ධනය වීමට ඉඩහැර බලා සිටින පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා ආණ්ඩුව වෙතින් සිදුවන්නේ බරපතළ වරදකි. ජාති හා ආගම් අතර ගැටුම් උද්දීපනය කොට ඡන්ද මනාප රැස්කිරීමට තැත් කිරීම යම් හෙයකින් ජීවිත විනාශයකින් කෙළවර වීමට හැකිය. එබැවින් වගකිවයුතු අංශවල අවධානය වහා යොමුවිය යුතු බව පෙන්වා දෙමු.

► සමන්ත ප්‍රදීප් විල්තෙර

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00