ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් සතුන් තුන්සිය විසි අටක් පමණ සංඛ්‍යාවක් ගෙවුණු දෙදහස් දහසය සහ දෙදහස් දහ හත වසර දෙක ඇතුළත මරණයට පත්ව ඇති බවට සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට චෝදනා එල්ල වී ඇත.
“ජාතික සත්වෝද්‍යානයේ ජීවත්ව මියයන සෑම සතුන්ගේම වාර්තාවක් අපි තබාගන්නවා. මෙම වාර්තාවට සමනලුන් පමණක් අයත් වන්නේ නැහැ. අපිට සමනල් උයනක් තියෙනවා. ඒකේ වාර්තාවක් ද අපි තබාගන්නවා. නමුත් සමනලුන් මියයාම සම්බන්ධව මරණ පරීක්ෂණ හෝ පශු වෛද්‍ය අංශයට මියයන සමනලුන්ගේ වාර්තාව යන්නෙ නෑ. ඒ හැර මෙම වාර්තාවට හාවුන් ඇතුළු සුරතල් සතුන් ද මින් මැඳුරේ ඉන්නා ගප්පි මසුන් ඇතුළු සියලුම මසුන් වර්ග ද ඇතුළත් වෙනවා. වගකිව යුතු ආයතනයක් වශයෙන් ඒ සෑම මියගිය සතුන්ගේම වාර්තාවක් අපි තබාගන්නවා”
මේ පිළිබඳ විමසූ විට දෙහිවල සත්වෝද්‍යානයේ සහකාර අධ්‍යක්ෂිකා දිනුෂිකා මානවඩු දේශයට පැවසුවාය.
සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසන්නේ ගෙවුණු වසර දෙක ඇතුළත මියගිය තුන්සිය විසි අටක් ඇතුළත් සතුන් කොටසට මියගිය ගප්පි මසුන්, හාවුන් ඇතුළු ඉතා කුඩා සතුන් පවා ඇතුළත් වූ බවය. සත්වෝද්‍යානයේ ජීවත් වන සතුන් කොටස දෙකකට බෙදිය හැක. එයින් එක් කොටසක් ඉක්මනින් වැඩි ප්‍රමාණයක් ඉපදී ඉක්මනින් මියයති. තවත් කොටසක් එකවර ඉතා කුඩා ප්‍රමාණයක් ඉපදුණ ද ඔවුන්ගේ ආයු කාලය ඉතාමත් දීර්ඝ වේ. මිනිසාට සාපේක්ෂව සතුන් ජීවත් වන්නේ අඩු ආයු කාලයකි. මීට අමතරව අලි ඇතුන් ඇතැම් විට මිනිසාට සාපේක්ෂව ආයු කාලයක් ජීවත් වෙති. සත්වෝද්‍යානයේ ජීවත් වන බොහෝ සතුන් පිළිබඳවත්, ආයු කාලය පිළිබඳවත් ඒ සතුන් ජීවත් වන ප්‍රදේශය ආශ්‍රිතව පුවරු මගින් ප්‍රදර්ශනය කර තිබීමෙන් ඒ පිළිබඳව වැඩි අධ්‍යයනය ලබාගැනීමේ හැකියාව පවතී.
මේ හේතුවෙන් ඔවුන් පෙන්වා සත්වෝද්‍යානයේ බොහෝ සතුන් මිය යන්නේ නියමිත ආයු කාලය නිම කිරීමෙන් පසුව බවය. ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ වසර දෙකක් ඇතුළත සතුන් තුන්සියයකට අධික සංඛ්‍යාවක් මියගිය බවට නැගෙන චෝදනාව පිළිබඳ එහි දිනූෂිකා මානවඩු වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වූවාය.
“අපේ දෙපාර්තමේන්තුව යටතේ ආයතන හතරක් ක්‍රියාත්මක වෙනවා. ඒ දෙහිවල සත්වෝද්‍යානය, පින්නවල අලි අනාථාගාරය, පින්නවල සත්වෝද්‍යානය සහ රිදීගම සෆාරි උද්‍යානය. මේ ආයතන හතරේම මියගිය සතුන්ගේ එකතුව විදිහට තමයි ඔය තුන්සිය විසි අට ලෙස ඔවුන් චෝදනා කරන්නේ. දෙහිවල සත්වෝද්‍යානයේ පමණක් හාවුන් පනස්දෙනකුට අධික ප්‍රමාණයක් ඉන්නවා. මේ මියගිය බොහෝ සතුන්ගේ මියයාම ස්වභාවිකයි. වෙනත් රටවල සත්වෝද්‍යානයක මියයන සතුන්ට සාපේක්ෂව අපේ මේ මියයන සතුන් ප්‍රමාණය ඉතාම අඩු ප්‍රමාණයක්. මේ මියගිය සතුන්ගෙන් විශාල සතුන් මියගොස් ඇත්තේ ඉතාම සුළු ප්‍රමාණයක් විතරයි. ඒ අයගෙන් ඔවුන්ගේ ආයු කාලය අවසන් නිසා ස්වභාවික මරණයකින් තමයි මියගොස් තිබුණේ. ඒ වසර දෙක තුළදී සතුන්ගේ උපත් ප්‍රමාණය ඉතා ඉහළයි. සිංහයන්, කොටි, කැලෑ අශ්වයන්, රයිනෝ වැනි පැටව් මේ කාලය තුළදී උපත ලබා තිබෙනවා”
මෙම වසර දෙක ඇතුළතදී හිපෝ සතෙකු මියගොස් තිබූ අතර එයට ප්‍රධාන හේතුව වුණේ වයසට යාමය.
සත්වෝද්‍යානයක සතුන් රැකබලා ගැනීම ඉතා භාරදූර වගකීමක් මෙන්ම එම සතුන්ට ආහාරපාන ලබාදීම ද ඉතා ප්‍රවේසමෙන් කළ යුතු රාජකාරියක් වේ. එය ඉතා විශාල කර්තව්‍යයකි. ඒ සඳහා විශේෂ අවධානයක් යොමු කරනු ලබන්නේ සත්වෝද්‍යානයේ පශූ වෛද්‍ය අංශයයි. පෝෂණය පිළිබඳව සොයා බැලීම පශු වෛද්‍ය අංශය සතු කාර්යයකි. නමුත් ඒ සඳහා සත්වෝද්‍යානයේ මෙහෙයුම් අංශයෙන් ද විශාල සහයෝගයක් පශු වෛද්‍ය අංශයට ලැබේ. මේ සියල්ලගේම එකතුවෙන් ගුණවත්, පිරිසිදු කෑම ලබාදීමට ඔවුහු සැමවිටම වගබලා ගනිති.
සතුන්ට ආහාර පාන ලබා දීම ද ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. එය සත්වෝද්‍යාන සියලුම අංශවල විශාල කර්තව්‍යයකි. ටෙන්ඩර් ක්‍රමයක් මගින් කෑම ලබාගන්නා අතර එයට ඉතා විශාල කොන්දේසි ඇතුළත්ව ඇත. උදාහරණයක් ලෙස සතුන්ට ලබාදෙන ඇපල් ගෙඩියක වුවද එම ඇපල් ගෙඩියේ වර්ණය, ප්‍රමාණය, ලංකාවට ආනයනය කළ කාලසීමාව ආදිය සෑම දෙයක් පිළිබඳවම සැලකිලිමත් වෙයි. එලෙස ජාතික සත්වෝද්‍යානය විසින් සතුන්ට ලබාදීමට බාරගන්නා සෑම ආහාරයක් පිළිබඳව ඔවුහු ඉතා දැඩි ලෙස සැලකිලිමත් වෙති. මේ නිසාම සෑම දිනකම සත්වෝද්‍යානයෙන් සතුන්ට ලැබෙන්නේ ඉතා නැවුම්, අලුත් කෑම වර්ග බව ඔවුහු සඳහන් කරති.
මස්, මාළු, සත්වෝද්‍යානය මගින් ලබාගනු ලබන්නේ නැවුම් ඒවා වශයෙනි. සත්වෝද්‍යානයේ මුළුතැන්ගෙට අපි ගොඩවැදෙන විටදී පශු වෛද්‍යවරියක් සහ පෝෂණවේදිනියක් විසින් ඒ සියලුම ආහාරපාන ඉතා පරිස්සමින් පරික්ෂා කොට බාරගන්නා අන්දම අපට දැකගත හැකි විය.
සත්වෝද්‍යානයේ ජීවත් වෙන සෑම සතෙකුටම සතාගේ වයස සහ බරට අනුව ආහාර තීරණය වේ. මීට අමතරව ගැබිණි සතුන්ට සහ පැටව් ඉන්නා මව් සතුන්ට වෙනමම අදාළ අමතර පෝෂණ වේලක් ලබාදීමට ද අමතක නොකරති. එමෙන්ම වයෝවෘද්ධ සතුන්ට ද වෙනමම ආහාර රටාවකට අනුව ආහාරපාන ලබා දේ.
යම් කූඩුවක් තුළ ගැබිණි සතකු සිටී නම් බොහෝවිට එම ගැබිණි සතා වෙනත් තනි කූඩුවකට මාරු කෙරෙන්නේ නැත. ගර්භනී මව හුරුපුරුදු පරිසරයෙන් ඉවත් කළවිට එය අම මව් සතාට මානසිකව බලපානු ඇතැයි විශ්වාස කෙරේ. විශේෂයෙන් රංචු වශයෙන් ජීවත් වෙන සතුන්ගෙන් එක් සතකු ගර්භනී වූ විට එම සතා අන් අයගෙන් තම ආරක්ෂාව සපයා ගනී. මේ නිසා එවැනි අවස්ථාවල ගර්භනී මව වෙන් කිරීමක් සිදු නොකරයි.
සෑම සතෙකුටම සත්ව භාරකරුවෙක් සිටී. එම භාරකරැගේ වගකීම වන්නේ එවැනි ගර්භනී මවකට, කිරි දෙන සතෙකුට, වයසට ගිය සතෙකුට, රෝගී වූ සතෙකුට වෙන් වුණ විශේෂ ආහාර ඒ සතුන්ට ලබාදෙන බවට වගබලා ගැනීමයි. බොහෝවිට මෙවැනි විශේෂිත වූ සතුන්ට සත්වෝද්‍යාන සේවකයන් කවන අවස්ථා ද එමටය. ඒ කෑම අතරට විටමින්, බෙහෙත් එක්කිරීම ද සිදුකරයි. මේ නිසා සත්ව භාරකරුවන් බොහෝ විට සතුන්ගේ මිතුරෝ වෙති. දරුණු සතුන්නට කෑම කැවීමක් සිදු නොකළද එවැනි සතුන්ට වෙනත් විශේෂ ක්‍රම මගින් කෑම ලබා දේ.
මව් සතාට පැටවා ඉපදුණායින් පසුව බොහෝ විට වෙන් කිරීමක් සිදු නොකරයි. එයින් පැටවාගේ ආරක්ෂාව සහ මවගේ ආරක්ෂාව තර වේ. නමුත් ඇතැම් විට පැටවාගේ ආරක්ෂාවට රංචුව අතරේම නිදැල්ලේ කවන අවස්ථා ද ඇත.
අද වනවිට දෙහිවල සත්වෝද්‍යානයේ අලුත්වැඩියා කටයුතු කිහිපයක්ම සිදුවෙමින් පවතී. මහා සැලසුමක් යටතේ සත්වෝද්‍යානයේම සත්ව රෝහලක් ඉදිවෙමින් පවතී. බොහෝවිට මේ වසර අවසානයේදී හෝ ලබන වසර මුලදී එහි වැඩකටයුතු අවසන් වීමට නියමිතය. ඊට අමතරව සතුන්ට නිදහසේ සැරිසැරීමට නිදහස් අරණවල් ඉදිවෙමින් පවතී. රිදීගම සෆාරි උද්‍යානයට වැඩිවන සතුන් ප්‍රමාණය යොමු කරනා අතර එමඟින් සතුන්ට ලැබෙන ඉඩකඩ පහසුකම් වැඩි වේ. නවීකරණ කටයුතු සියල්ලම අන්තර්ජාතික තත්ත්වයන්වලට අනුකූලවය.
මීට අමතරව කාලගුණයට අනුකූලව ඒ සතුන්ට අවශ්‍ය පරිදි පහසුකම් සපයා දීමක්ද අද වනවිට සත්වෝද්‍යානය තුළ සිදුවේ. දැඩි සීතල ඇති දිනවලදී අදාළ සතුන්ට අමතර විදුලි බල්බ මඟින් උණුසුම ලබාදීමටත්, උණුසුම වැඩි දිනවලදී අවශ්‍ය කූඩුවලට විදුලි පංකා සවි කිරීමත් සිදු කෙරේ. සෑම දිනකම සතුන්ගේ කූඩු පිරිසිදු කරලීමේ කටයුතු සිදුවන අතර මෙය විශාල වෙහෙසක් ගෙන කළ යුතු ඉතා විශාල කර්තව්‍යකි.
විශේෂ ස්තූතිය
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව
අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මිකා මල්සිංහ මහත්මිය
ජාතික පොදු සේවක සංගමයේ සභාපති පී. එච්. ප්‍රභාත්
► දිශානි ජයමාලි කරැණාරත්න
සේයා රූ - සුමුදු හේවාපතිරණ