2019 ඔක්තෝබර් 25 වන සිකුරාදා

පුටුවත් එක්ක ජීවිතයත් වියන මිනිස්සු

 2019 ඔක්තෝබර් 25 වන සිකුරාදා, ප.ව. 12:30 410

අතීතයේ මතක අතර සැරිසරන අපගේ කාලයාත්‍රාව තවත් හස්ත කර්මාන්තයක ඉතිහාස කතාව අද්දර නතරවිය. ගම නගර අතීත වර්තමානය යා කෙරෙන මේ කතාව ඔබගේ මතක පොතේ පිටු අතර ද ලියවී තිබිය හැකිය. අපගේ සූදානම හීන් සීරුවේ ඒ මතක පොත පෙරළා බැලීමටයි.

අතීතයේදී ගමට ආ ආගන්තුක චරිත අතරින් පුටු වියන්නාගේ චරිතයේ මතක අතර අපි මෙවර නතර වීමු. අද ද ඉඳහිට දක්නට ලැබෙන මෙම චරිතය එදා ගමට නැතිවම බැරි චරිතයක් විය. කාලය විසින් ඔහුගේ සේවාවේ අවශ්‍යතාව බෝහෝදුරට අකාමකා දමා ඇත. එනමුත් පුටු වියන පරපුරේ ශේෂව සිටින ශිල්පීන්ට ද නූතනත්වයට හා බැඳුණු රාජකාරි පැවරී තිබේ. එනිසාම අතීතය වර්තමානය හා යා කෙරෙන පාලමක් අද කතාව වෙනුවෙන් අපි තනමු.

එදා වසරකට තුන් හතර විඩක් ගමට එන පුටු වියන්නෝ වැල් රෝලක් කරපින්නා ගෙන කුඩා මල්ලක් අතැතිව සිටි සරම් කමිස අදින්නන් වූහ. පුටු වියනෝ.. පුටු වියනෝ... යනුවෙන් උච්ච ස්වරයෙන් කෑ ගසමින් මේ මිනිසුන් ගමේ ඇවිද ගියේය. ඇතැම් තැන ඒ ඒ ගම්වල රාජකාරි අනියමින්ම උරුම කරගත් පුටු වියන්නෝ වූහ. එවන් විට ඒ වැයික්කියේ පුටු විවීම ඔහු හැරෙන්නට අනෙකෙක් නොකළේය. විටක ඔහු ගමේ ඇතැමුන්ගේ කුළුපග මිතුරෙකු වූහ.

ඇතැම් ගම්වල වැල් පුටු තිබුණේ ගමේ එහෙමත් ගෙදරකය. බොහෝ ගැමි ගෙවල්වල වූයේ බංකු හෝ ලෑලි ගසා සකසා ගත් පුටුය. හැත්තෑව දශකය පමණ වනතෙක්ම මෙරට අසුන යනු සමාජ තත්ත්වයේ පිළිඹිබුවක් විය. කුලමල නිසා වෙන්ද දුගී දුප්පත්කම  නිසා වෙන්ද හරිහමන් ආසනයක් නිවසක නොවීය. එනිසාම මුල් කාලීනව පුටු වියන්නන්ගේ සේවය බහුල වශයෙන් ලබාගත්තේ ගමේ ඇති හැකි පංතියේ පිරිස්ය. ගමේ තැන තැන ඇවිද යන පුටු වියන්නෝ එවන් නිවෙස්වලින් ඉඳහිට ඇරයුම් ලැබුවෝය. එවිට හෝරාවක් දෙකක් හෝ ඇතැම් විට වරුවක් වුවත් පුටු වියන්නෙකුට කරන්නට මේ නිවස්වල රාජකාරි තිබිණි.

සිංහල අවුරුදු සමය මෙසේ ගමට පැමිණෙන ආගන්තුකයන්ට වැඩ අධික කාලයක් විය. රෙදි වෙළෙන්ඳන්ට පරණ කෝට් කාරයන්ට දුවන බාබර්ලාට මෙන්ම පුටු වියන්නන්ට ද බක්මහේ වසන්තය පැමිණියේය. සිංහල අවුරැද්දට දැරිය නොහැකි තරම් වැඩ ප්‍රමාණයක් ඔවුහු සතු වූහ. නිවසේ වූ එකම පුටුව හෝ වියා පිළිසකර කර ගැනීමට මේ සමයේ ගැමියෝ උනන්දු වූහ. යමක් කමක් ඇති නිවෙස්වල උදවියට තමන් සතු ඇඳ පුටු කවිච්චි සියල්ල අලුත් කර ගැනීමට අවැසි වූහ. එම නිසාම බක්මහේ වසන්තයට පෙර ගමට ඒමට පුටු වියන්නාට සිදුවිය. ඇතැම් විට වැඩ බාරගෙන දින නියම කර ගැනීම සිදුවිය. වැඩ අධික වූ විට ගමේ නිවසකින් පුටු වියන්නාට කහට කෝප්පයක් පමණක් නොව දිවා භෝජන පවා පිළිගැන් විණි.

මෙසේ බටහිර වෙරළකරයේ ගම්මානවලට පැමිණි බොහෝ පුටු වියන්නෝ රත්ගම මොරටුව වැනි ප්‍රදේශවල පදිංචිකරුවෝ වූහ. මොරටු පුටු වියන්නන්ට ගම් තුලාවලට වැඩවලට අමතරව කොළඹ රජයේ කාර්යාලවල ද පුටු විවීම බාරවී තිබිණි. කොළොම්පුර කාර්යාලවල පවතින කුෂන් පුටු, කැරකෙන පුටු අද මෙන් නොවීය. ඉහළ නිලතල නම්බුනාම දැරූ කාටත් උරුම වූයේ වැල් පුටුය. එනිසාම කොළොම්පුර ඒ ඒ ඔෆීසිවල වැඩ අල්ලා ගැනීමට මොරටු පුටු වියන්නන් අතර යම් තරගයක් පවා වූ බව කියවේ. මේ වැඩ අල්ලා ගැනීමේ වාසිය වූයේ එම ආයතනවල ලොකු ලොක්කන්ගේ නිවෙස්වල වැඩ පවා ලබාගැනීමට හැකිවීමයි. ගම් තුලාවට කරක් ගැසීමට වඩා මේ කටයුත්ත පහසු විය.

අනූව දශකය පමණ වන තෙක්ම පුටු වියන්නාගේ රාජකාරිය රට පුරා ප්‍රශස්ත මට්ටමක පැවතියේය. සිදුවූ විසි වන  සියවසේ අග ලෝකයේ වේගයෙන් පරිවර්තනය මත ලාංකික සමාජය වෙනස් වන්නට විය. ඒ අනුව මිනිසුන්ගේ සිතුම් පැතුම් ඇවතුම් පැවතුම් පමණක් නොව ඉඳුම්හිටුම් පවා වෙනස් වූහ. සුවපහසු හිඳ ගැනීමක් වෙනුවෙන් ගරු ගාම්භීර කුෂන් පුටු කරලියට ආවේය. කුෂන් පුටු සෙටියක් නිවසක ආභරණක් වූහ. වැල් පුටු ඉස්තෝප්පුවට කෑම කාමරයට මුළුතැන්ගෙයට සීමා විය. කාලය විසින් මැවූ මේ වෙනස පුටු වියන්නන් හට නම් කිසිසේත්ම සුභ නොවීය. ගමේ රාජකාරි එන්න එන්නම අඩු වන්නට විය. එහෙත් ලාංකිකයන්ගේ සාම්ප්‍රදායික උරුමයක් බඳු වූ වැල් පුටු සහමුලින්ම අතුගා දැමීට නව රුල්ල අසමත් වූහ. සිරිලක් වැසියන් හාන්සි පුටුවක් වැල් පුටු කිහිපයක් නිවසේ තබා ගැනීමට කිසිසේත්ම මැලි වූයේ නැත.

‍කෙසේ වෙතත් පරම්පරාවෙන් ලද පුටු විවීමේ ශිල්පය පවත්වා ගෙන යන්නන් අද විරලය. ඇතැම් ගම්වල කාන්තාවන් කිහිපදෙනකු මේ ශිල්පය අභ්‍යාස කොට ඉගෙන අමතර ආදායම් මාර්ගයක් බවට පරිවර්තනය කරගෙන තිබේ. එහෙත් කලාතුරකින් ගම්වල ඇවිද යන පුටු වියන්නන් දැක ගත හැකිය. කෙසේ නමුත් මොරටු පුරයේ තත්ත්වය තරමක් වෙනස් වී ඇත. පුටු විවීම හොඳ ආදායම් මාර්ගයක් කරගත් බවලතුන් මෙන්ම පුරුෂයන් ද විටක මේ ප්‍රදේශයෙන් හමුවේ. ඇන්ටික් මාදිලියේ පුටු මෙන්ම අලුතින් වෙළෙඳ පොළ ආකර්ෂණය කර ගනිමින් සිටින මිල අධික ලී පුටුවල රටා මැවීම මොවුන් විසින් සිදුකරනු ලබයි. අතීතයේ මෙන්ම අද ද පට දෙකට දමා ඔවුන් මවන මල්කතුරු මෝස්තර මනරම්ය.

රජයේ පැරැණි කන්තෝරුවට මෙන්ම රෝහල්වල ද තවමත් වැල්පුටු තිබේ. ඒවා අබල දුබල වනවිට නැවත වියා පිළිසකර කිරීමේ කටයුතු වෙනුවෙන් පිරිසක් සැදීපැහැදී සිටිති. මේ සඳහා හොඳ ගෙවීමක් ලැබෙන බව කියවේ. මෙවන් වැඩ සාමූහිකව සිදුකෙරන අතර ඊට බොහෝ විට අද දායකවන්නේ බවලත් උදවියයි. කෙසේ වුවත් අද පුටු විවීම වෙනුවෙන් අය කරන මුදල පිළිබඳ බොහෝ දෙනා තුළ විවේචන පවතී. මේ හැකියාව සීමිත පිරිසක් සතු වීම ඊට මූලික හේතුවයි. එහෙත් එම පිරිසගේ ජීවිත පුටු විවීමෙන් ලැබෙන ආදායමින් සුඛිතමුදිත වී නොමැති බව අප පිළිගත යුතුය.

එදා ගමට ආ පුටු වියන්නන්ගේ මතක ඔස්සේ කතාන්දර රැසක් පාඨක ඔබ මනසේ ද මැවෙනු ඇත. සැබවින්ම මේ වියමන වියා නිමකළ නොහැකිය. ජීවිතයේ වියමන වියාගනු රිසියෙන්  පුටු වියන මිනිසුන් රටේ තැන තැන ගමන් යති. ඔවුන් පය හකුළවා බිම හිඳ පිට කොන්ද නවාගෙන මේ රාජකාරිවල නිරත වෙති. වැල් නිසාවෙන් කැපුණු ඇඟිලි තුඩු මතින් රටා මවති. සත්තකින්ම මෙය නිමක් නැති වියමනකි.

 

චමිඳු නිසල් ද සිල්වා
සේයාරූ / අන්තර්ජාලයෙනි