2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා

ඡන්ද කරලියේ වෙන්දේසි වන දරුවෝ

 2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 12:30 123

“දේශපාලන කටයුතු සඳහා ළමයින් යොදානොගන්නා ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සියලු දේශපාලන පක්ෂවලින්, ස්වාධීන කණ්ඩායම්වලින් හා තැනැත්තන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ අවස්ථාව ජනාධිපතිවරණයක් ප්‍රකාශ කර ඇති කාලයක්. මේ අවස්ථාවේදී ළමයින් විවිධ ක්‍රම ඔස්සේ දේශපාලන කටයුතුවලට සහභාගී කරගන්නා බවට අපට තොරතුරු ලැබී තිබෙනවා.” එලෙස පැවසුවේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති නීතිඥ එච්.එම්. අබේරත්නයි.

ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ප්‍රධාන පක්ෂ තුන වන නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ජාතික ජන බලවේගය මේ වනවිට රට පුරා රුස්වීම් පවත්වමින් දැවැන්ත ප්‍රචාරණ ව්‍යාපෘති දියත් කරමින් සිටනු දක්නට පුළුවන.

මෙම රැස්වීම්වලට සමහර දෙමාපියන් යන්නේ කුඩා දරුවන් කරේ තබාගෙනය. එම පින්තූර පසුව සමාජ මාධ්‍යවලට ද එක්කරනු දක්නට ලැබේ. තවත් සමහරු ගිනි අව්වේ දේශපාලන පෙළපාලිවල දරුවොත් සමඟ ගමන් කරති. හයක් හතරක් නොතේරෙන දරුවන්ට මෙය විශාල පීඩාවකි.

“ළමයාට උපරිම යහපත කිරීම තමයි ළමා ආරක්ෂක අධිකාරී පනතේ අරමුණ වන්නේ. ළමයාට අගතියක් වන වෙලාවලදී එය වැළැක්වීම අපේ වගකීමක්. ළමයා දේශපාලන කටයුතුවලට එක්කර ගැනීම මගින් ඔවුන් කායික හෝ මානසික හිංසනයකට ලක්වන්නේ නම් එය ළමා අපයෝජනයක්. එමෙන්ම ළමයාගේ අයිතිවාසිකම් උදුරා ගැනීමක්.” ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් කීවේය.

“ළමයින් දේශපාලන කටයුතුවලට යොදා ගැනීම ගැන ඔබේ අදහස් කුමක්දැයි” විමසමින් මම මේ ලිපිය ලිවීමට පෙර මුහුණු පොතේ සටහනක් තැබුවෙමි. එයට ලැබුණු ප්‍රතිචාර විශාල ප්‍රමාණය අතරින් කිහිපයක් මෙහි සඳහන් කරමි.

“අන්තිම වැරදි වැඩක්.”

“ළමයින්ට ස්වාධීනව හිතන්න දෙන්න. මේ ජරාජීර්ණ දේශපාලනයට ළමයින් ගැටගහන්න එපා.”

“දේශපාලන අනාථභාවයේ පිළිපිඹුවක්.”

“ලංකාවේ දේශපාලනයේ පිරිහීමේ සලකුණක්.”

තම අපේක්ෂකයාට සහයෝගය පළකිරීමේ උණෙන් පාරට බහින සමහර දෙමාපියෝ දරුවන් වඩාගෙන ඡන්ද පෙළපාළිවලට රැලිවලට යමින් ඒ දරුවන් පීඩාවට පත්කරති. ඒ අතර ඡන්ද රැලිවලදී අතදරුවන් වඩාගෙන හාදුදීමට ඡන්ද අපේක්ෂකයෝ ද පොරකති. පසුගිය කාලයේ නම් කියැවුණේ එලෙස ජනාධිපතිවරණ අපේක්ෂකයාට වඩා ගැනීමට රැස්වීම ඉදිරියෙන්ම අතදරුවන් වඩාගත් අම්මලා සංවිධානාත්මකව රඳවා සිටින බවය. මුහුණු පොතේ සටහන් තැබුවන් කිව් ලෙසට එලෙස කිරි දරුවන් වඩා ගැනීම දේශපාලන අනාථභාවයේ සලකුණකි. කිසිම දියුණු රටක ඡන්ද රැස්වීමකදී අපේක්ෂකයන් පැමිණ අතදරුවන් නළවනු ඔබ දැක තිබේද?

පසුගිය 2015 ජනාධිපතිවරණයේදී ද කුඩා දරුවන් යොදාගෙන අපේක්ෂකයන්ට මඩ ප්‍රහාර එල්ල කළ අන්දම අපට අමතක නොවේ. දැන් 2019 ජනාධිපතිවරණයේ ද ඒ සෙල්ලම පටන් ගෙන තිබේ. එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියට අනුව අවුරුදු 18ට අඩු සෑම තැනැත්තකුම ළමයෙක් ලෙස සැලකේ. ළමයින් සම්බන්ධව ක්‍රියාකරන විටදී සහ ඔවුන් පිළිබඳව ගන්නා තීරණවලදී ළමයින්ට උපරිම යහපත සැලසෙන ලෙස ක්‍රියා කළයුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. ශ්‍රී ලංකාවේ සමස්ත ජන සංඛ්‍යාවෙන් ළමයින් ප්‍රතිශතය 33%කි. ඔවුන් වෙනුවෙන් උපරිම නීතිමය රැකවරණ සැලසෙන ප්‍රතිපාදන හා ආයතන තිබේ. 1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරි පනත යටතේ පිහිට වූ ළමා ආරක්ෂක අධිකාරිය, පරිවාස හා ළමා රක්ෂක දෙපාර්තමේන්තුව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය එම ආයතන වේ.

ලොව දිගම සාරිපොට වාර්තාව තැබීමට අලවතුගොඩ පාසලක ළමුන් 250ක් පීඩාකාරී අයුරින් මහපාරේ රඳවා ගැනීම ගැන පසුගිය කාලයේ විශාල හා හූවක් ඇති විය. දේශපාලනඥයන් පිළිගැනීමට ගිනි අව්වේ පාර දෙපස පැය ගණන් රස්තියාදු වෙමින් කොඩි වැනීමට පාසල් දරුවන් යොදා ගැනීමද අපට සුලබ දර්ශනයකි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අබේ රත්නායක ඒ පිළිබඳව අප සමඟ කතා කළේ මෙලෙසයි.

“අවුරුදු 18ට අඩු ළමයින්ගේ මනස දේශපාලන මතයක් දැරීමට තරම් වර්ධනය වෙලා නැහැ. ඔවුන්ට ස්වාධීනව දේශපාලන තීරණ ගන්න බැහැ. අද රටේ තිබෙන දේශපාලන සංකීර්ණත්වය ළමයින්ට කෙසේවෙතත් වැඩිහිටියන්ටත් තේරැම් ගන්න අමාරුයි. එහෙම බුද්ධිමය වර්ධනයක් නැති දරුවන් යොදාගෙන දේශපාලන ප්‍රතිරූපය වර්ධනය කරගැනීමට උත්සාහ කිරීම මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්.

මේ වැඩ නිසා ළමයි නොමඟ යනවා. ඒක සුදුසු නැහැ. ළමයින් දේශපාලන ප්‍රචාරණ වැඩවලට යොදාගැනීම වැරදියි. අද පවතින්නේ වෙළෙඳාමක්. දේශපාලනයත් එහෙම තමයි. එතැනදී ළමයි හෝ කවුරැ හෝ යොදාගෙන දේශපාලන ප්‍රතිරූප ගොඩනගා ගැනීමට තමයි උත්සාහ කරන්නේ. එහිදී සදාචාරය, ළමා අයිතිවාසිකම් ගැන හිතන්නේ නැහැ. අද පවතින මනාප තරගය නිසා සදාචාරය යටගිහින්. මහ මැතිවරණයකදී මේ තත්ත්වය තවත් ඉහළ යාවි. ළමයින් යොදා ගැනීමත් ප්‍රතිරෑපය වර්ධනය කර ගැනීමට යොදාගන්නා උපක්‍රමයක්. වියරුවෙන් දඟලන අධිවේගකාරී සමාජ වටපිටාවක් තිබෙන්නේ. ආත්මාර්ථකාමිත්වය මුල්වෙලා තිබෙන අධිපාරිභෝජනවාදී සමාජයක්. එහිදී සමාජ සාරධර්ම, පුරුෂාර්ථ ගැන අවධානයක් යොමුකිරීම දැකගත නොහැකියි. මේක අමුතුම චින්තනයක්. එහිදී ළමා අයිතිවාසිකම් විශාල වශයෙන් උල්ලංඝනය වෙනවා. නීතිමය අංශයෙන් පියවර අරගෙන උල්ලංඝනය කරන අයට එරෙහිව දඬුවම් ලබාදිය යුතුයි.”

ඡන්ද අපේක්ෂක ප්‍රතිරූප වර්ධනය කිරීමේ දැන්වීම් මේ දිනවල සුලබය. විද්‍යුත් නාළිකාවල මෙන්ම පුවත්පත්වල ද ඒවා ප්‍රචාරය වේ. බොහෝ දැන්වීම්වල අසරණ වූ ජනතාව පෙන්වීමේදී ළමුන් ද යොදාගැනීම දැකගත හැකිය. එය හැඟීම් අවුස්සා තම දේශපාලන මතවාදය ප්‍රචලිත කිරීමේ පහසු මඟක් වී තිබේ. එය ලංකාව පමණක් නොව ඉන්දියාව, පාකිස්ථානය ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවලද දැකගත හැකිය. එය අපට නම් පෙනෙන්නේ නොදරුවන් විකුණා ඡන්දගොඩ ඉහළ දමා ගැනීමේ වෑයමක් ලෙසයි.

සේයාරූ : අන්තර්ජාලයෙනි.
► කුසුම්සිරි විජයවර්ධන