2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා

වැටුප් අඩුයි: ටාගට් වැඩියි ඇඟලුම් කම්හල් රැකියා එපා වෙලා

 2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 12:30 658

ඇඟලුම් කර්මාන්තශාලාවලට අවශ්‍ය මැෂින් ඔපරේටර්වරුන් හා වරියන්ගේ දැඩි හිඟයක් පැවතීම හේතුවෙන් මෙරට ඇඟලුම් ක්ෂේත්‍රය ගැටලු රැසකට මුහුණ පා ඇතැයි අනාවරණය වේ. මෙම වෘත්තිය සඳහා පෙර පැවැති ආකර්ෂණය ක්‍රමයෙන් අවම වී ඇතැයිද, එවැනි රැකියා සඳහා තරුණ පිරිස් ඉල්ලුම් නොකරන බවට ද වාර්තා වේ. ඇඟලුම්, නිෂ්පාදනය සහ අපනයනය ශ්‍රී ලංකාවේ විශාලතම කර්මාන්තවලින් එකක් වන අතර රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාම සඳහා ප්‍රධාන කාර්යභාරයක්ද ඉටු කරන්නකි.  ඇඟලුම් කර්මාන්තය මගින් මෙරට ශ්‍රම බලකායෙන් 15%ක් පමණ වන තරුණ තරුණියන්ට රැකියා අවස්ථා හිමිකර දී තිබේ. අපේ  සමස්ත අපනයනයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් ඇඟලුම් අපනයනය ලෙස සැලකිය හැකිය.

මෙරට ඇති සමස්ත ඇඟලුම් කර්මාන්තශාලා සංඛ්‍යාව 400කට අධික බව පැවසේ. එහි සේවකයකු සඳහා ගෙවන අවම වැටුප රුපියල් 13500කි. ඇතැම් කම්හල් 18000ක පමණ අවම වැටුපක් ලබා දේ. දිනපතා සේවයට පැමිණියහොත් පැමිණීමේ දීමනාවක් ඔවුනට හිමිය. එහෙත් අසනීපයක් නිසා එක් දිනක් හෝ නොපැමිණියහොත් පැමිණීමේ දීමනාව කපා හැරේ. නිෂ්පාදන දිරි දීමනාව හිමි වන්නේ නියමිත නිෂ්පාදන ඉලක්කය (ටාගට්) සපුරාලිය හැකි වුවහොත් පමණි. මෙම ඉලක්කය දිනපතා වැඩි වේ. ආහාර විවේකය පැය බාගයක් වුවද ටාගට් එක සැපිරීම සඳහා විනාඩි දහයකින් ආහාර ගෙන පැමිණීමට තමන්ට සිදුවන බව සේවිකාවෝ පවසති. මසකට අවම වශයෙන් පැය 60ක් අතිකාල සේවයේ යෙදිය යුතුය. මේ සියල්ල සපුරාලීමේදී මෙම සේවක සේවිකාවන් ශාරීරිකව හා මානසිකව පීඩාවට පත්වේ. මෙවැනි කරුණු මත දැනට සිටින සේවක සේවිකාවන් රැකියාව හැර යෑමත් එම පුරප්පාඩු පිරවීම සඳහා අලුතින් එක් නොවීමත් නිසා ඉහත සඳහන් කළ සේවක අර්බුදය නිර්මාණය වී තිබේ.

මෙවැනි වාතාවරණයක් නිර්මාණය වීමට බලපෑ සාධක පිළිබඳව නිදහස් වෙළෙඳ කලාප පොදු සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් මහතා මෙලෙස සඳහන් කරයි.

“ඇඟලුම් කර්මාන්තශාලාවලට සේවකයන් ආකර්ෂණය නොවන වාතාවරණයක් මේ වන විට ඇති වී තිබෙනවා. ඊට හේතුව ප්‍රධාන වශයෙන්ම ඔවුන්ට ලැබෙන වැටුප කිසිසේත් ප්‍රමාණවත් නොවීමයි. බොහෝ ඇඟලුම් සේවක සේවිකාවන් ඈත ප්‍ර‍දේශවලින් නගරයට පැමිණි පිරිස්. ඔවුන් ජීවත් වෙන්නේ පෞද්ගලික නේවාසිකාගාරවල. මේ නේවාසිකාගරවල තත්ත්වය ඉතාමත් දුක්ඛදායකයි. එක කාමරයක හතර දෙනෙක් පමණ සිටිනවා. ඒ සඳහා ඔවුන් බෝඩින් ගාස්තු සහ විදුලි බිල ගෙවිය යුතුයි. මේ නේවාසිකාගාරවල විදුලි බිල ව්‍යාපාරික ගණයට වැටෙන නිසා ඔවුන්ට වැඩි මුදලක් ගෙවීමට සිදුවනවා. කර්මාන්තශාලාවේ කොපමණ කාලයක් සේවය කළත් උසස්වීම් නැහැ. මැෂින් ඔපරේටර් සදාකාලිකවම මැෂින් ඔපරේටර්ම තමයි. ඇඟලුම් ක්ෂේත්‍රයේ සේවය කරන වැඩි පිරිසක් තරුණ තරුණියෝ. ඔවුන් යහපත් අනාගතයක් අපේක්ෂා කරනවා. වැඩි දෙනෙක් තම මව්පියන් සහෝදර සහෝදරියන් නඩත්තු කරන්නෙත් මේ වැටුපෙන්. නේවාසිකාගාර ගාස්තු, විදුලි බිල්, ආහාරපාන සඳහා වැය වූ පසු පවුලේ අයට යවන්න මුදලක් ඉතිරි වන්නේ නැහැ. අවම වැටුපකට ඇඟලුම් කම්හලක සේවය කරනවාට වඩා මැදපෙරදිග රටක දැඩි අසීරු වාතාවරණයක් යටතේ වුව වැඩි වැටුපකට සේවය කිරීමට ඔවුන් කැමතියි. මෙවැනි කරුණු නිසා අලුතින් ඇඟලුම් කර්මාන්තයට එකතු වන පිරිස අඩුවෙලා.”

දැනට ක්‍රියාත්මක සියලු කර්මාන්තශාලාවල මැෂින් ඔපරේටර් තනතුරු 74,000ක පුරප්පාඩුවක් පවතී. ඇබෑර්තු එතරම් සංඛ්‍යාවක් තිබුණ ද ඒවා සඳහා ඉල්ලුම් කරන්නෝ  සීමිතය. සේවක හිඟය නිසා විදෙස් ගැනුම්කරුවන් වෙත සැපයිය යුතු ඇණවුම් නියමිත දිනයේ ලබා දීමට නොහැකි වීමෙන් ඉදිරි කාලයේ එම ඇණවුම් මෙරටට නොලැබෙන්නට ඉඩ ඇතැයි ඇඟලුම් කම්හල් හිමියෝ පවසති. ඇඟලුම් සේවක සේවිකාවන්ට ඇති ප්‍රශ්නවලට විසඳුමක් ලෙස ඔවුනට උදෑසන හා දිවා ආහාරය නොමිලයේ සැපයීමට ඇතැම් කම්හල් හිමියන් පියවර ගෙන ඇතැයි පැවසේ. එහෙත් ඇන්ටන් මාකස් මහතා පෙන්වා දෙන්නේ එම ආහාරපාන නොමිලයේ නොව කිසියම් සහන මිලකට ලබා දෙන බවයි. මෙම කර්මාන්තය කෙරෙහි වැඩි පිරිසක් ආකර්ෂණය කර ගැනීමට පිළියම් යෙදිය යුතු යැයි පවසන ඔහු ඇඟලුම් කම්හල් හිමියන් සේවක ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට උනන්දු නොවන බවට චෝදනා කරයි.

“ඇඟලුම් සේවකයන්ට වෘත්තීය සමිති පිහිටුවා ගැනීමට ඇති අයිතිය අහිමි කරලා. එවැනි සමිතියක් පිහිටුවා ගතහොත් ඔවුන් සේවයෙන් නෙරපා හරිනවා. රාත්‍රි වැඩමුරය සඳහා සේවිකාවගේ කැමැත්ත අවශ්‍යයි. උදෑසන වැඩමුරයේ නිරත වූ කාන්තාවක් රාත්‍රී වැඩමුරයේ යෙදවිය නොහැකිය. රාත්‍රි 10න් පසු සේවය කරනවා නම් දිනක වැටුප මෙන් එකහමාරක් ගෙවිය යුතුයි. ඇතැම් ඇඟලුම් කම්හල් මෙම නීති රීති අනුව කටයුතු කරන්නේ නැහැ. කම්කරු දෙපාර්තමේන්තුව මේ පිළිබඳව පියවරක් ගන්නේ නැහැ. සේවකයන්ට තමන්ගේ සංවිධාන හදාගෙන හාම්පුතුන් සමඟ තම ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාවක් සැලසෙනවා නම් මෙම ප්‍රශ්නයට විසඳුම් සෙවිය හැකියි. එය සේවකයන්ගේ මූලික අයිතියක්. එහෙත් ලංකාවේ ඇති කිසිදු කර්මාන්තශාලාවක එවැනි සාමුහික ගිවිසුමක් නැහැ. මහා පරිමාණ කම්හලක කිසිම වෘත්තීය සමිතියක් නැහැ. පසුගියදා කොග්ගල ප්‍ර‍දේශයේ මහා පරිමාණ ඇඟලුම් කර්මාන්ත ශාලාවක වෘත්තීය සමිතියක් පිහිට වූ නිසා එහි සියලු නායකයන් රැකියාවෙන් නෙරපා දැම්මා. රජය මේ සම්බන්ධයෙන් කිසිවක් කරන්නේ නැහැ. ඔවුන් සිටින්නේ ආයෝජකයන්ගේ පැත්තේ. ආයෝජකයන්ට අවාසිදායක කිසිවක් කිරීමට රජය පියවර ගන්නේ නැතැ”යි. ඇන්ටන් මාකස් මහතා පවසයි.

සේවක හිඟය නිසා ගම්පහ, සීදූව, ජාඇල, ඒකල, වත්තල හා මීගමුව වැනි ප්‍රදේශවල මධ්‍යම ප්‍රමාණයේ ඇඟලුම් කම්හල් 40ක් පමණ මේ වන විට වැසී ඇතැයි රාවයක් පවතී. එහෙත් ඇන්ටන් මාකස් මහතා පවසන්නේ එලෙස කම්හල් වැසී නොමැති අතර මහා පරිමාණ කම්හල් ඒවා තමන් යටතට ගෙන ඇති බවටය. ආයෝජන මණ්ඩලයේ ඉහළ කළමනාකාරිත්වය මෙම ගැටලුව විසඳීම සඳහා පිළියම් සොයමින් සිටින බවද වාර්තා වේ. රජය ද මේ සම්බන්ධයෙන් ඇතැම් පියවර ගනිමින් සිටී. රජයේ සෘජු අධීක්ෂණය යටතේ සේවක සුබසිද්ධිය සඳහා ඉදිරි කාලයේ අවශ්‍ය පියවර ගන්නා බව ද, ශිල්ප සේනා වැනි වැඩසටහන් ඔස්සේ අවශ්‍ය සේවකයන් බඳවා ගැනීමට ක්‍රියා කරන බවද පැවසේ.

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා