පිරිමින් හා හරි හරියට වැඩ කරන කාන්තාවන් වර්තමාන සමාජයේ සුලභය. කාන්තාව කියූ පමණින්ම කෙනකුගේ සිතෙහි සුකොමළ ළඳ බොළඳ ස්ත්‍රී ප්‍රතිරූපයක් ගොඩනැගුණද, සැබවින්ම ගත්විට පිරිමින්ට නොදෙවැනි වූ අපිරිමිත ශක්ති සම්පන්නභාවයක් කාන්තාවද සතුය. පසුගිය 8 වැනිදා යෙදී තිබූ කාන්තා දිනයට සමගාමීව දකුණු ආසියාවේ පළමු බහාලූ දොඹකර ක්‍රියාකරවන්නියන් ශ්‍රී ලංකාවෙන් බිහිකරමින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මහපොළ වරාය සහ සමුද්‍රීය විද්‍යායතනයේ පුහුණුව ලත් බහාලූ දොඹකර ක්‍රියාකරවන්නියන්ගේ පළමු කණ්ඩායම විසිර ගියහ.
මෑත කාලයේදී පිරිමින් පමණක් නිරත වූ රුකියා අවස්ථාවන් වන බස් රථ එලවීම, ත්‍රීවිල් එලවීම, සයිකල් වැඩපළවල් පවත්වාගෙන යාම ආදී රැකියා අවස්ථා බොහොමයක් සඳහාද කාන්තාවෝ අත ගැසූහ. පසුගියදා බහාලූ දොඹකර ක්‍රියාකරවන්නියන් ලෙස මෙරට කාන්තාවන් තවත් පියවරක් ඉදිරියට තබන්නේ ශ්‍රී ලාංකික කාන්තාවන් හට තවත් රැකියා අවස්ථාවකට දොරටු විවර කරමිනි.
ඉතා දුෂ්කර මෙන්ම අවදානම් සහගත රැකියා අවස්ථාවක් ලෙසින් සැලකෙන මෙය දකුණු ආසියාවේ කාන්තාවන් සඳහා විවෘත කළ පළමු ආයතනය වන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරියයි.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මහපොළ වරාය සහ සමුද්‍රීය විද්‍යායතනයේ ප්‍රධාන පුහුණු කළමනාකාර ඉන්ජිනේරු රංජිත් සේපාල මහතා මෙම පුහුණු කටයුත්ත සම්බන්ධයෙන් දේශය සමඟ අදහස් දැක්වූයේ මෙසේය.
අපි දොළොස් දෙනෙක් මේ සඳහා පුහුණු කළා. මේ අපේ පළමුවැනි කණ්ඩායම. ඇත්තටම පුහුණුවට සහභාගී වූ සියලු දෙනාම තම කටයුත්ත සාර්ථකව සිදුකළා කියලා මම හිතනවා.
මෙවැනි රැකියාවකට අවශ්‍ය සුදුසුකම් ගැන කතා කරද්දී විශේෂයෙන්ම අනිවාර්යය අවශ්‍යතා කිහිපයක් තිබෙනවා. වරායේ තනතුරු සඳහා බඳවාගැනීමකදී වයස, අධ්‍යාපන සුදුසුකම්වලට අමතරව මම බැලුව දේ තමයි මේ අයගේ වගකීම් දැරීමේ හැකියාව. ඒ කියන්නේ කොහොමද මේ අය අභියෝගවලට මුහුණදෙන්නේ, කොහොමද ප්‍රශ්න නිරාකරණය කරගන්නේ හා කොහොමද එකවර කාර්යයන් කිහිපයකට සිත යොමුකර ගන්නේ කියන ගතිගුණ කෙරෙහි තමයි වැඩි අවධානයක් යොමුකළේ. ඊට අමතරව යම්කිසි වැඩක් කිරීමේදී ඒ සඳහා ඇති කැපවීම, පිරිසුදුකම කියන මේ හැමදෙයක් ගැනම බැලුවා. සාමාන්‍යයෙන් කාන්තාවන්හට මේ සෑම ගුණාංගයක්ම උරැමවෙලා තියෙනවා.
බහාලූ දොඹකර ක්‍රියාකරවීම අභියෝගාත්මක රැකියාවක්. සාමාන්‍යයෙන් වරාය තුළ මෙය ක්‍රියාත්මක වෙන ආකාර කිහිපයක්ම තියෙනවා. එක ක්‍රමයක් තමයි නැවක තිබෙන කන්ටේනර් ගොඩබෑම හා නැවකට කන්ටේනර් පැටවීම. මේ සඳහා භාවිත කරන දොඹකර හඳුන්වන්නේ ගැන්ට්‍රි දොඹකර ලෙසින්.
අනෙක් ආකාරය තමයි වරායට ගොඩබාන කන්ටේනර් යාඩ් එක වෙතට ගෙනයාම. මේවා පැටවීම හා යාඩ් එකේ තැන්පත් කිරීමටත් දොඹකර භාවිතා කරනවා. සාමාන්‍යයෙන් මෙම දොඹකරයක් මීටර් 30ක් විතර උසයි. මීටර් 30ක විතර උසක ඉඳලා තමයි මේ අය මේ කර්තව්‍යය ඉටුකරන්නේ. දොඹකරය මුහුදට වගේම නැවටත් යනවා. ඇත්තටම මේක අමාරු කාර්යයක්. ලංකාවේ කාන්තාවන් මෙතෙක් කල් නොකරපු දෙයක් තමයි දැන් මේ විදිහට සිදුකරන්නේ. මුලින්ම පුහුණුව ලබාදුන්නා. ඊළඟට වැඩ කරන ගමන් පුහුණුව ලබාදුන්නා. ඊටපස්සේ පුහුණුව අයින් කරලා කෙළින්ම වැඩවලට දැම්මා. තවත් රටවල් කිහිපයකම බහලූ දොඹකර ක්‍රියාකරවන්නියන් එක්කෙනා දෙන්නා හිටියට මේ විදිහට එකවර 12 දෙනකු පුහුණු කළේ ලංකාවේ කියන කීර්ති නාමයත් අපිට තියෙනවා.
බහාලු දොඹකර ක්‍රියාකාරවන්නියන් ලෙස පසුගියදා විසිර ගියේ එම්.ඩී.යූ. ප්‍රශාදි මනතුංග, එරන්දි ප්‍රනාන්දු, දිල්කි නදීෂා, පූජානි දිල්කි, චතුරංගි පෙරේරා, ඉෂාරා සෙව්වන්දි, මධුෂානි උදේශිකා, මධූ චතුරිකා හර්ෂණී, ශමිලා රසිකානි, ඩබ්ලිව්.ඒ.ඒ. මංගලිකා දිල්කි ගුණරත්න, නෙළුම් සොයිසා යන අයයි.
ප්‍රශාදි මනතුංග
මගේ ගම කළුතර. ඉතින් මම කළුතර ඉඳලා එද්දි ස්ලේව් අයිලන්ඩ්වල තියෙන සයිට් එකක ගොඩක් උසට දාලා තියෙන ක්‍රේන් දිහා ආසාවෙන් බලාගෙන එනවා. ඒවා දකිද්දි මට හිතුණා මටත් මේ වගේ උස තැනකට නැගලා වැඩකරන්න තියෙනවා නම් කියලා. කොහොමත් මම ඉස්සර ඉඳලම ඔෆීස් එකක එක තැනක ඉඳගෙන වැඩ කරන්න ආස කෙනෙක් නෙමෙයි. අපි වරායට ආවෙ ලිපිකරු පත්වීම්වලට. ඉතින් අපි විසිර යන දවසේ මහපොළ වරාය සහ සමුද්‍රීය විද්‍යායතනයේ කළමනාකාරතුමා බහාලු දොඹකර ක්‍රියාකරවන්නියන් විදිහට වැඩකරන්න කැමතිද කියලා ඇහුවා. ඉතින් අපි හරිම ආසාවෙනුයි ඒ සඳහා ඉදිරිපත් වුණේ. වරාය ඇතුළට යන්න ලැබුණ අවස්ථාවේද අපිව මේ ක්‍රේන් ළඟටත් එක්කරගෙන ගියා. ඒවායේ විශාලත්වය ගැන හිතාගන්නවත් බෑ. අපි හරිම ආසාවෙනුයි අපේ පුහුණුවීම් කටයුතුවලට සහභාගී වුණේ.
එරන්දි ප්‍රනාන්දු
මම එක තැනක වැඩකරන්න කොහොමත් අකමැති කෙනෙක්. අනික වරායෙන් සිදුවෙන පළවෙනිම කර්තව්‍ය මොකක්ද කියන එක ගැන මම සොයා බැලුවා. ඒ පළවෙනිම දේ තමයි මෙම ක්‍රියාවලිය. ඉතින් සර් මේ වැඩසටහන ගැන කියපු ගමන්ම පුදුම විදිහෙ සතුටක් දැනුණා. ඇත්තටම මම ගොඩක් ආසාවෙන් තමයි මේ සඳහා ඉදිරිපත් වුණේ. මෙය බොහොම අවදානම් සහගත රාජකාරියක් වුණත් ඒ අවදානම් බවට තියෙන කැමැත්ත හා වරායෙන් සිදුවන මූලිකම රාජකාරිය මෙය වන නිසා මම ඉතාමත් ආසාවෙනුයි මේ සඳහා යොමුවුණේ.
මංගලිකා දිල්කි
අපි ආවෙ ලිපිකරුවන් ලෙස. නමුත් ඊට වඩා වෙනස් දෙයක් තාක්ෂණික පැත්තෙන් කරන්න තියෙනවා නම් හොඳයි කියලා හිතුණා. අනිත් එක මේක අලුත්ම දෙයක්නෙ. මුලින් ක්‍රේන් එකට නගිද්දි නම් බයත් හිතුණා. නමුත් දැන්නම් අපි ඉතා හොඳින් මේ කටයුත්ත සිදුකරගෙන යනවා.
ශාමිලා රසිකානි
මෙම රුකියාවේ අපහසු බවක් ගැනනම් හිතුවෙ නෑ. ඇත්තටම අපිට ඕනෙ වුණේ වෙනස්ම දෙයක් කරන්නයි. ඉතින්, ඒ නිසා තමයි අපි මේ කෙරෙහි යොමුවුණේ. පළවෙනි දවසෙ නම් ටිකක් බයවුණා. නමුත් ක්‍රේන් එකෙන් බහින විට ඒ බය තිබුණෙ නෑ. කොහොමත් මේ දේ අපිට කරන්න පුළුවන් කියන හැඟීම අපි හැමදෙනා තුළම තිබුණා.
ඒ් විශාල වගකීමක් කරට ගත් ඒ් කාන්තාවන් දැක්වූ අදහස් විය.
හේමමාලා කුමාරි රාජකරුණා