කොළඹ පැවැත්වෙන විරෝධතා හා උද්ඝෝෂණ මාසයකට එකකට පමණක් සීමා කිරීමට රජය ගත් තීරණය ජනතාවගේ බලවත් කනස්සල්ලට හේතුවන බව අමුතුවෙන් කිව යුතු නොවේ. වැඩක් නොකෙරෙන රටකට වැඩවර්ජන හෝ තිබිය යුතුය. නිතර නිතර උද්ඝෝෂණ හා විරෝධතා පැවැත්වීමෙන්, රටක ජනතාවගේ දේශපාලන දැනුම වර්ධනය වේ. මර්දනය ශක්තිමත් වීමෙන් රජයේ සුරක්ෂිතභාවයද වැඩි වේ.
රජයේ ඉහත කී අමනෝඥ තීරණය නිසා වැඩි වශයෙන්ම කලකිරීමට පත්ව සිටින්නේ, මාසයේ දින තිස්එකේම කලට වේලාවට වැඩට නොයාමට හුරුපුරුදු වී සිටි ජනතාවය. ට්‍රැෆික් ජෑම් නොහොත් වාහන තදබදය හැරුණු විට මහාමාර්ග අවහිර කෙරෙන උද්ඝෝෂණ හා පෙළපාලි ප්‍රමාදයට හේතුවක් ලෙස දැක්වීමට පුරුදුව සිටි ඔවුන්ට දැන් වෙනත් හේතූන් සොයාගන්නට සිදුවෙයි.
මෑතකදී, උද්ඝෝෂණයක් නිසා කාර්යාලයට යාමට අපහසු වූ එක්තරා මහතෙක්, තම යතුරුපැදිය නවතා, අසල සිටියකුගෙන් මෙසේ ඇසුවේය.
“අද මොකක්ද ප්‍රශ්නෙ. මෙතනින් එහාට යන්ඩ බැරිද?”
“ඇන්ටි සයිටම් ප්‍රොටෙස්ට් එකක්ලු.”
“එහෙනම් ඇන්ටිට කියනවා. අන්කල් සයිටම් වැඩට නොගිහින් ගෙදර ගියා කියලා”
යතුරුපැදිකරු ආපසු ගියේය. උද්ඝෝෂණ හා මාර්ග අවහිරතා ආශ්‍රිතව මෙවැනි රස කතා රැසක් නිර්මාණය වී තිබේ.
ආණ්ඩුවේ කන්තෝරුවලට නම් වැඩවර්ජනය නොහොත් වැඩ නොකර සිටීම අලුත් දෙයක් නොවේ. කිසිදු ඉල්ලීමකින් තොරවම ඔවුහු වැඩ වරති.
එක්තරා සංස්ථාවක ලිපිකරුවකු වූ ජනදාස, වැඩට ආවේ දුම්රියෙනි. බොහෝ විට ඔහු ප්‍රමාද වෙයි. එය ජනදාසගේ වරදක් නොව දුම්රිය දෙපාර්තමේන්තුවේ නොහැකියාවය.
කාර්යාලයට එන ජනදාස, පොත අත්සන් කර මුහුණ කට සෝදාගෙන, උදෑසන තේ පානය සඳහා කැන්ටිමට යයි. ඉන්පසු දිනපතා පුවත්පත් කියවයි. මේසය අසලට ගොස් ලිපිගොනු කීපයක් අස්පස් කර, කෙටි නින්දක් ලබයි.
පෙරවරු දහයට පමණ අවදිවන ජනදාස යළිත් කැන්ටිමට යන්නේ තේ පානයටය. එහි සිට දෙපැයක් පමණ රේස්කොළයේ කටයුතුද නිමාකරන ඔහු, මිතුරන් සමඟ කැරම් අතක් ක්‍රීඩා කිරීමටද අමතක නොකරයි. හරියටම, දහවල් දොළහට ඔහු බත් පාර්සලය දිගහැර ගන්නේ, තවත් පමාවුවහොත් එය පිළුණුවීමට ඉඩ ඇති බැවිනි.
කෑමෙන් පසු, අන් සියල්ලන් වගේම ජනදාසද මේසයට හිස තබාගෙන නින්දක් ලබයි. (කාන්තාවන්, නිවසට අවශ්‍ය බඩු මුට්ටු ගැනීමට පිටතට යන්නේද මෙම කෑම පැයේදීය)
පස්වරු තුනට අවදිවන ජනදාස, සවස තේ පානය සඳහා යළිත් කැන්ටිමට යයි. ඉන්පසු මේසයට පැමිණ, ලිපිගොනු හා ලාච්චු අස්පස් කරයි.
සවස හතර වනවිට ඔහු පාරේය. නැතිනම් කෝච්චියේ අසුනක් අල්ලා ගැනීම අපහසු බව, ප්‍රධාන ලිපිකරු පවා දනී. ඒ වේලාවට ජනදාස වැනි මහජන සේවකයන්ගෙන් කොටුව, පිටකොටුව පිරී පවතී. තමන් කරන්නේ ලැබෙන වැටුපට සරිලන සේවයක් බව ජනදාසගේ අදහසයි.
ජනදාස වෘත්තිය සමිතියකද උද්යෝගිමත් සාමාජිකයෙකි. මාසයකට දෙතුන් වතාවක්, සාධාරණ ඉල්ලීම් සඳහා රජයට බලකර සිටීමට පුරුදුව සිටි ඔහුද, අලුත් තීරණය ගැන සිටින්නේ බලවත් කණස්සල්ලෙනි. අඩියක් පුඩියක් ගසා, කලින් කෝච්චියෙන් ගෙදර යාමට තිබූ අවස්ථාවන් අඩුවීම ජනදාස සහ ඔහුගේ මිතුරු සමාගමට මහත් පාඩුවකි.
එක් දිනක් ජනදාස ගෙදර ගියේ, තෙමිච්ච කුකුළකු මෙනි. සියොළඟ වතුර පෙරෙමින් ගෙට ගොඩ වූ ඔහු දුටු බිරිය පුදුමයට පත්වූවාය.
“මේ මොකද? ඇඳුම් පිටින්ම නෑවද?”
“නෑවේ නෑ. නෑව්වා”
“කවුද?”
“ආණ්ඩුව. අපේ උද්ඝෝෂණේට වතුර ගැහුවනෙ.”
“එහෙනං ආණ්ඩුවත් දන්නවා, ඔයගොල්ලන්ට නාගණ්ඩවත් වෙලාවක් නැති වග.”
බිරිය සිනාසුණාය.
සෑම සටන්කාමියකු මෙන්ම ජනදාසද බිරිය සමඟ වාද කිරීමට නොයයි. ගැහැනුන්ට පන්ති හැඟීමක් නැති බව ඔහුගේ අදහසයි. රැකියා කරන බිරින්දෑවරු සිටින ජනදාසගේ මිතුරන්, වැඩවර්ජනය කරන්නේ, බිරියට වැඩට යාමට ඉඩ දෙමිනි. ඊට හේතුව දෙදෙනාටම එක්වර “සේවය අතහැර යාමට” නොහැකි බැවිනි.
ජනදාසගේ දරුවන්ගේ අදහසේ හා අවබෝධයේ හැටියට, අම්මා ප්‍රගතිගාමීය. තාත්තා ප්‍රගතිශීලීය. ගෙදර රන් වෙන්නේ ප්‍රගතිගාමීත්වයේ පිහිටෙනි. ප්‍රගතිශීලීත්වයෙන් රටටවත්, ගෙදරටවත් වැඩක් නැත.
ජනදාසගේ මිතුරෙක්, ඔහු හමුවීමට ආවේ කිසියම් කටයුත්තක් ඉටුකරගැනීම සඳහාය. එහෙත් ජනදාස කාර්යාලයේ නොසිටියේය. දින කීපයක්ම උත්සාහ කොට බැරිම තැන, මිතුරා ජනදාසගේ නිවසට ගියේය.
ඔහෙල පෙළපාලි යන්නෙ නැති දවසක් කියනවද මට ඔෆීස් එකට එන්ඩ. හදිසි වැඩක් තියෙනව කරගන්ඩ.
ආණ්ඩුව තවම දන්වල නෑ, අපි උද්ඝෝෂණ කරන්ඩ ඕන දවස මොකක්ද කියලා. ඒක හරියටම දැනගත්තම මං ඔහෙට එපොයිමන්ට් එකක් දෙන්නං.
ජනදාස ඉතා සහෝදරත්වයෙන් පැවසීය.
♦ කපිල කුමාර කාලිංග