2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා

මහ මඟ අනතුරු දෙන ග්‍රහ පිහිටීම්

 2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 312

අද සැමතැනම අනතුරු බහුලය. වාහනයක ගමන් කරන විට හෝ පයින් ගමන් කරන විට හෝ අනතුරැවලට ලක්ව මියයන්නෝ බොහෝ වෙති. නිවසෙන් එළියට බැස්ස පුද්ගලයා ආපසු නිවෙසට එන මොහොත වනතුරු හිතෛෂියෝ මග බලා සිටිති. පසුගිය දිනවල සිදු වූ අනපේක්ෂිත තත්ත්වයන් හමුවේ බොහෝ දෙනෙක් අතරමගදී විපතට පත් වූහ. මුදල්වලින් පොහොසත්, ඉහළ නිලතල දරන අයට පෞද්ගලික ආරක්ෂකයෝ සිටිති. සමහරුන්ට නිල බලයෙන් ආරක්ෂාව හිමිවන අතර ඇතැමුන් මුදල් ගෙවා ආරක්ෂක භටයන් තමාගේ සේවයට යොදවා ගන්නා බවද දක්වා ඇත.

එහෙත් සැම දෙනාටම එලෙස ආරක්ෂක භටයන් තබාගෙන සිටීමට නොහැකිය. තම ආරක්ෂාව තමාටම බාර යැයිද කතාවක් තිබේ. ඒ නිසා තම ආරක්ෂාව සඳහා ජ්‍යොතිෂ උපක්‍රම භාවිත කිරීම වැදගත් වෙයි. ඇතැම් අය නරක වෙලාවට ගමන් පිටත් වූ විට එම ගමනින් බලාපොරොත්තු වූ ප්‍රතිඵල ලබාගත නොහැකි වනවාත් හැර ජීවිත අනතුරැවලට ද භාජනය වීමට සිදුවිය හැක. ඒ නිසා යන එන වෙලාව ගැන උනන්දුව දැක්වීම වැදගත්ය.

සුබ මුහුර්තයකින් නිවෙසෙන් පිටත්වීම තුළින් තම බලාපොරොත්තු ඉටු කරගෙන කිසිදු කරදරයක් නොමැතිව ආපසු ඒමට ලැබෙනවා ඇත. දුර ගමන් යනවිට, විශේෂයෙන් විදේශ ගමන්වලදී සුබ මුහුර්තයකින් පිටත් වූ විට සියලු කරුණු සඵල වන බව ජ්‍යොතිෂ විද්‍යාවේ කියයි. සමහරුන් අනතුරුවලින් නූලෙන් බේරෙන්නේ තමා පිටවූ වෙලාවේ බලපෑම නිසාමය. උත්පත්ති කේන්ද්‍ර ඵල, හදිසි අනතුරු සහ ක්ෂණික මරණ පෙන්වන අය ගමන් යාමේදී විශේෂයෙන් සැලකිල්ලක් දැක්විය යුතුය. කෙනකුගේ උත්පත්ති කේන්ද්‍රයක යුරේනස් ග්‍රහයා 8 වැනි භාවයේ පිහිටියේ නම් එවැනි අයකුට අතරමගදී ක්ෂණික මරණයකට ලක්වීමේ අවදානමක් ඇතිවේ. ගින්දරෙන් හෝ පිපිරීම් වැනි දේවලින් ඒ අය ප්‍රවේශම් විය යුතුය. එවැනි අයකුගේ ආයුෂ අඩුවීමක් කේන්ද්‍රයෙන් එකවර නොපෙනුණද බලාපොරොත්තු නොවූ මරණයක් ඇතිවීමට ඉඩ ඇත. ඒ නිසා එවැනි අය ගමන් බිමන්වලදී පරෙස්සම් විය යුතුය.

එසේම කිසියම් කේන්ද්‍රයක කුමන හෝ භාවයක යුරේනස් හා කුජ යන ග්‍රහයන් එක්ව සිටිනවා නම් එවැනි අය පිපිරීම්, වෙඩි වැදීම් ආදිය පිළිබඳ ප්‍රවේශම් වීම අතිශය වැදගත්ය. එසේම උත්පත්ති කේන්දර සටහනක ගුරැ, සිකුරැ, බුධ වැනි ග්‍රහයන් තනි වී 8 වැනි භාවය තුළ පිහිටියේ නම් එවැනි විටෙක ක්ෂණික එහෙත් ශාන්ත මරණවලට මුහුණ දීමට සිදුවිය හැකි නිසා එවැනි අය පරෙස්සම් වීම වැදගත් වේ. එසේ වුවද මෙලෙස ගුරු, බුධ, සිකුරු ආදී ග්‍රහයන් 8 වැනි භාවය තුළ පිහිටීම දීර්ඝායුෂ ලැබීමට කිසිදු බාධාවක් නොවන බවද සැලකිව යුතුය. එහෙත් අනපේක්ෂිත සිදුවීම්වලට මුහුණ පාන්නට සිදුවනවා ඇත.

තම උත්පත්ති කේන්ද්‍රවල ඉහත සඳහන් පිහිටීම් නොමැති සැම දෙනාම සුරක්ෂිත යැයි මෙයින් අදහස් නොකෙරේ. මෙහි දක්වා ඇත්තේ හදිසි අනතුරු ඇතිවීමේ පිහිටීම් පමණක් බව අවධාරණය කළ යුතුය. එසේම ඔවුන් නිරතුරුවම හදිසි මරණවලට භාජනය නොවන්නට ද පුළුවන. එවැනි අය කිසිදු හානියකින් තොරව ජීවත් වන අවස්ථා ද දක්නට හැකිය.

ගමනක් පිටත් වන විට ශුභ මුහුර්තයකින් පිටත් වනවාත් හැර අනුහස් ගෙන දෙන ගාථාවක් භාවිත කිරීමෙන් ද යහපත් ප්‍රතිඵල ලබාගත හැකිවෙයි. දුටුගැමුණු රජු යුද්ධයට යන විට භාවිත කළ බව පැවසෙන ජයෝ මුනිංදස්ස සුබෝධි මූලේ ආදී ගාථාව කියමින් ගමන් කරන්නේ නම් එවැනි අයට හදිසි අනතුරැවලින් මිදීමට හැකි වේ. එසේම බුදුන් වහන්සේ, ආරක්ෂාව උදෙසා ඡත්ත මානවකයාට ඉගැන්වූ ඡත්ත මානවක ගාථා තුන ද ගමනක් යාමට පෙර සඡ්ඣායනා කිරීමෙන් ආරක්ෂිත නිරැපද්‍රිත ගමනක් උරුම කරගත හැකිවනු ඇත.

ජ්‍යොතිෂවේදී
සමන් කළුආරච්චි
හැඳල