සඳැස සර බුද්ධිනී වැලිකලගේ දෙවන කාව්‍ය සංග්‍රහයයි. පාසල් සමයේ පටන්ම කාව්‍යකරණයට විශේෂ දක්ෂතා දැක්වූ බුද්ධිනී සිව්පද කවියට විශේෂ සමත්කමක් දක්වන්නීය. සිංහලයට කිරුළක් වැනි සිංහල භාෂාවේ ඉහළින්ම රැඳෙන අගනාම මාණික්‍යය තමයි සඳැස් කවිය කියන්නේ. ඒ එතරම්ම සෞන්දර්යාත්මකයි. විවිධ සම්ප්‍රදායයන්වලට අයත් විවිධ කාව්‍ය සම්ප්‍රදායයන් දෙස බැලූ විට හෙළ සඳැස් කවියෙහි අපූර්වත්වය ඉතා ඉහළයි. එයට ප්‍රධානම හේතුව සිංහල සම්භාව්‍ය සාහිත්‍යයේ බුදුදහම හා පවතින සබැඳියාව බව මගේ විශ්වාසයයි. බුද්ධිනී පවසන්නීය.
මෙම කෘතියට හැඳින්වීමක් සපයන මහාචාර්ය කුසුමා කරුණාරත්න මෙසේ සඳහන් කරයි. අද ලේඛක ලේඛිකාවන් වැඩි වශයෙන් සිය නිර්මාණ ශක්තිය ප්‍රකට කර ඇත්තේ එළිසමයෙන් යුත් සිව්පද කවි වෙනුවට නිසඳැස් ශෛලිය අනුගමනය කෙරෙන කාව්‍ය රචනා මගිනි. එවන් පසුබිමක සිව්පද කවියෙන්ම කවි සිතුවිලි ප්‍රකට කරන්නට බුද්ධිනී වැලිකල යොමුවී තිබීම පැහැදිලිවම මතුවී පෙනෙන විශේෂත්වයකි.
සඳැස් සර පද්‍ය කෘතිය කවි පන්ති 26කින් සමන්විතය. සමාධි පිළිමය අබියසදී, සිරිමත් බඹ සිරසෙහි පා පිසිනා, පෙම්බර මවුනි, පිය සෙනෙහසට කවි ගී ලියැවුණා මදී, නන්ද මහ තෙරුන්ගේ කතා වස්තුව ඒ අතරින් කිහිපයකි. මේ බොහෝ නිර්මාණවලී ඇය බෞද්ධ සාහිත්‍යයේ ආභාෂය ලබා ඇති බව අපට පෙනේ. මේ පෙම්බර මවුනි කවි පන්තියේ කවියකි.
දරුපෙම වඩා පෑ කරුණා ළබැඳි වම
පිරු මහ පිනැති පෙම්බර පද ගුණැති අම
හිරු දෙව් දියෙන් සැනැහී රැඳි අසිරි තම
අරුණලු පොදකි මවකට බැඳි දුවක පෙම
සීගිරිය ගැන ඇය ලියන්නේ සිංහගිරි නම් පැදි පෙළෙහිය. කිවිඳිය අවසානයේ මේ අතීත උරැමය මතු පරපුර උදෙසා රුකගන්න යැයි ආයාචනා කරයි.
හැකි විරි යොදා මෙය රුක ගතහොත් පේවී
මෙහි සිරි මතුවටත් දෙරණත බබළාවී
ලකදිරි පුතුන්ගේ විකුමන් ඇග යේවී
සිහගිරි පව්ව ඒ අභිමන පෙන්වාවී
පොඩි කාලේ ඉඳන්ම මම වැඩිපුර කියෙව්වේ සංදේශ කාව්‍ය සහ සම්භාව්‍ය කාව්‍ය සාහිත්‍ය පොත්. ඒ නිසා සඳැස් කවිවලට ලොකු නැඹුරැවක් හටගත්තා. මම හිතනවා හරවත් බවක් වැඩිපුර ඇතුළත් වන්නේත් සඳැස් කවිවල කියලා. විරිතක් ගලපාගෙන කාව්‍ය දෝෂ මඟහරවාගෙන තමයි සඳැස් කවි ලිවිය යුත්තෙ. බුද්ධිනී පැවසුවාය.
සඳැස් සර මරදාන සූරිය ප්‍රකාශනයකි.
පාඨක