පුරාණ කාලයේ සිටම වෛද්‍ය වෘත්තිය සහ දොස්තර මහත්තයා යන චරිතය ඉතා පූජනීය වූ චරිතයක් ලෙස මහජනයා අතර ඉතා ප්රකටය. මගේ පුතා හොඳට ඉගෙනගෙන කවද හරි දොස්තර මහත්තයෙක් දොස්තර නෝනකෙනෙක් වෙන්න ඕන යැයි එදා කියූ මවුපියන් අද නම් දරුවන්ට කියන්නේ දොස්තර නෝනකෙනෙක් දොස්තර මහත්තයෙක් වෙන්න කියා නොව හොඳ පුරවැසියකු වෙන්න කියා පමණි. ඒ අන් කිසිවක් නිසා නොව අද වනවිට වෛද්‍ය වෘත්තිය පිළිබඳව ජනයා තුළ ඇති වී තිබෙන කලකිරීම නිසාවෙනි.
මිනිසුන්ට කාරුණික වී සිය වෛද්‍ය වෘත්තිය අකුරටම ඉටුකළ සෙවණගල ප්‍රාදේශීය රෝහලේ තරුණ වෛද්‍යවරයෙකු වූ චමින්ද විතාරණ වෛද්‍යවරයා පමණක් නොව ඔහුගේ ප්රියබිරිඳට ද, දරු දෙදෙනාට ද වස දී ඔවුන්ව ඝාතනය කිරීමට උත්සාහ ගත්තේ සෙවණගල ප්‍රාදේශීය රෝහලේම වෛද්‍ය නිලධාරියා විසින්යැයි පොලිසිය කළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. ඒ 2012 වසරේදීය.
සූරියවැව ප්‍රාදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීවරයා රෝහල දියුණු කිරීමට කටයුතු කරගෙන යන අතරවාරයේ ඔහුට අවස්ථා තුනකදීම විවිධ ප්‍රහාරවලට මුහුණ දෙන්නට විය. නිල නිවසට අසූචි ප්‍රහාරයක්ද එල්ල විය. පෞද්ගලික බෙහෙත් සාප්පු වෙනුවට අහිංසක රෝගීන්ට වෙලාවක් කලාවක් නොබලා රෝහල තුළදීම ප්‍රතිකාර කිරීම තවත් පිරිසක් නොරිස්සු බව පැහැදිලිය. එය වාර්තා කිරීම පිළිබඳව එම රෝහලේම තවත් දොස්තරලා කීපදෙනෙකු උරණ වී මාධ්‍ය වෙතද ඔරවන්නට වූයේ එන්තරවාසිද එවමිනි.
වෛද්‍ය වෘත්තියට නොගැළපෙන අය එම වෘත්තියට පිවිසීම නිසා දිනපතා රට වටින් මෙවැනි සිදුවීම් ඕනෑතරම් අපට අසන්නට දකින්නට ලැබේ.
තවත් එවැනිම සිදුවීමක් පසුගිය දින අපට අසන්නට ලැබුණේ හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් කතරගම දෙවි හාමුදුරුවන්ගේ අඩවිය වූ තිස්සමහාරාම ප්‍රදේශයෙනි.
ඉකුත් 10 වැනි දින රාත්‍රියේ තිස්සමහාරාම ප්‍රදේශයේ සංචාරක හෝටලයක් තුළ ප්‍රදේශයේ රෝහල් කිහිපයක සේවය කරන වෛද්‍යවරුන් පිරිසක් සාදයක් පවත්වා තිබේ. සාදය සඳහා විවිධ වර්ගයේ රට බීමද ඇති පදමට සපයා තිබුණි. පැය කිහිපයක් තිස්සේ මධුවිත තොලගෑ වෛද්‍යවරුන්ට උන්හිටි තැන් අමතක වූයේ හරියට දේවශාපයක් වැදුණා මෙනි. සාදය ආරම්භ වී පැය කිහිපයක් ගෙවුණා පමණි. වෛද්‍යවරුන්ගේ මේ සාදය මහා ගාලගෝට්ටියක් බවට පත්වූයේ කිසිවකුටත් සිතා ගැනීමටවත් නොහැකි අයුරිණි.
වෛද්‍යවරුන්ගේ සාදය අතරතුරදී හෝටල් සේවකයෙකුට තම ජංගම දුරකථනයට ඔහුගේ මිතුරකුගේ වීඩියෝ ඇමතුමක් ලැබී තිබේ. ඔහු සිය ජංගම දුරකථනයට පැමිණි වීඩියෝ ඇමතුමට පිළිතුරු දෙන අවස්ථාවේදී වෛද්‍ය කණ්ඩායම තමා විසින් වෛද්‍යවරුන්ගේ සාදය වීඩියෝ ගතකරන බවට වැරදි වැටහීමක් ඇති කරගෙන ඇති අතර මෙය මහා ගාලගෝට්ටියක් බවට පත්වූයේ වෛද්‍ය කණ්ඩායමද හොඳ හැටි මධුවිත තොල ගා සිටි නිසාවෙනි.
පහර කෑමට ලක්ව තුවාල ලැබූ හෝටල් සේවකයා වන චාරුක මධුශංක
මට මගේ යාළුවෙකුගෙන් වීඩියෝ ඇමතුමක් ආවා. මම ඒකට පිළිතුරු දෙමින් සිටින විට වෛද්‍යවරු කිපදෙනෙක් මගේ ළඟට ඇවිත් කුණුහරුපෙන් මට බැණලා මොනාද වීඩියෝ කරන්නේ ඇහුවා. මම වීඩියෝ කළේ නෑ කියලා කිව්වට වැඩක් වුණේ නෑ. ඒ අය වටවෙලා මට ගැහුවා. ගහලා හෝටලෙන් එළියට දැම්මා. පසුව මම හෝටලයේ අපි නැවතිලා ඉන්න කාමරයට ගියා. ඒ ගිහින් දොර වහගෙන ඉන්නකොට දොස්තරලා එතැනටත් ආවා. ඒ ඇවිත් දොර ජනේල කඩාගෙන දොස්තරලා ටික මගේ කාමරයට ඇවිත් මට නැවත පහර දුන්නා. පහරදීලා මාව හෝටලයේ වෙඩින් හෝල් එක ඇතුළට මාව අරගෙන ආවා. ඒ ආවට පස්සේ මට තුවාල වෙලා තියෙනවා දැකලා එක දොස්තර කෙනෙක් ලේ යන එක නතර කරන්න රෙදි පටි අරගෙන බැන්දා. ඒ අතරේ තව දොස්තර මහත්තයෙක් මගේ කරේ තිබුණ චේන්එක කඩාගත්තා. පස්සේ මාලේ හෝටලේම වැටිල තිබිලා අහුවුණා. නමුත් මාලේ කැඩිලා තිබුණේ. මගෙත් එක්ක වැඩකළ හත්දෙනෙකුටම ඉතා අමානුෂික විදියට දොස්තරලා පහර දුන්නා.
දොස්තරලා අපිට පහර දෙන අවස්ථාවේ හෝටලයේ හිටිය එක සේවකයෙක් 119 එකට කතා කරන්න හැදුවම ඔහුටත් පහර දුන්නා. පසුව අපි දොස්තරලා හෝටලයෙන් ගියාට පස්සේ සිද්ධිය පිළිබඳව පැමිණිළි කරන්න තිස්සමහාරාම පොලීසියට ගියා. එහිදී පොලීසියෙන් කිවුවා රෝහල් පොලීසියට පැමිණිල්ල කරන්න කියලා. ඒ අනුව තුවාලවෙලා හිටිය අපි දෙබරවැව රෝහලට ගියා. ඒ යනකොට සාදයට ඇවිත් හිටිය ගලප්පත්ති කියන දොස්තර මහත්තයා අපිට ආයෙත් කුණුහරුපෙන් බැන්න. මගේ එක යාළුවෙකුට පයිනුත් ගැහුවා. තොපි මෙතනටත් ආවදැයි කියලා අපිට පරුෂ වචනයෙන් බැන්නා. ආව නම් ආව විදියට බෙහෙත් දමාගෙන කටවල් වහගෙන පලයල්ලා කියලා අපිට කිව්වා.
තිස්සමහාරාම පොලීසියෙන්වත්, දෙබරවැව රෝහල් පොලීසියෙන්වත් පැමිණිල්ල බාර නොගත් නිසා අපි පාන්දර තුනට විතර ලුණුගම්වෙහෙර පොලීසියට ගිහින් මේ ගැන පැමිණිලි කරලා, ලුණුගම් වෙහෙර රෝහලේ මම ඇඩ්මිට් වුණා. පසුව උදේ ලුණුගම්වෙහෙර පොලීසියෙන් අපේ පැමිණිල්ල තිස්සමහාරාම පොලිසියට යොමු කරලා තිබුණා. ඒ අනුව තිස්සමහාරාම පොලීසිය පරීක්ෂණ ආරම්භ කළා. දවල් වෙනකොට දොස්තරලා ටිකකකුයි අපියි පොලීසියට කැඳවලා සිද්ධිය සමතයකට පත්වුණා යැයි පැවසීය.
හෝටල් හිමිකරු වූ ජයවීර
හෝටලයේ විශේෂ මොකක්හරි තියෙනවා නම් නිතරම සේවකයන් ඒ පිළිබඳව මාව දැනුම්වත් කරනවා. ඒ අනුව 10 වැනිදට වෛද්‍යවරු 45 දෙනකුගෙ පාටියක් තියෙනවා. ඒකට අවශ්‍ය බඩු සපයන්න කියලා මට කිව්වා. සිද්ධිය වෙන අවස්ථාව වනවිට මම වෙන වැඩකට කොළඹ ගිහින් හිටියේ. පාන්දර 2.30ට විතර තමයි වෛද්‍යවරු හෝටලේ අයට ගහලා කියලා දැනගන්න ලැබුණේ. මට හෝටලයේ මැනේජර් කෝල් කරලා තමයි සිද්ධිය කිව්වේ. පාටියේ හිටිය දොස්තර මහත්තයෙකුත් මට කතා කළා. මම ඒ වෙලාවේ දොස්තර මහත්තයටත් කිව්වේ අපේ අයගේ වරදක් තියෙනවා නම් මැනේජර්ට ඒ ගැන කියන්න කිව්වා. මම මැනේජර්ට කතා කරලා බැලුවම දැනගන්න ලැබුණා දොස්තරලා ඇතුළේ සේවකයන්ට පහරදීලා බඩුවලටත් හානි කරලා කියලා. ඒ නිසා මම මැනේජර්ට උපදෙස් දුන්නා පොලිසියට ගිහින් පැමිණිල්ලක් කරන්න කියලා. පොලිසියට ගියාම රෝහල් පොලිසියට පැමිණිල්ල කරන්න කිව්වලු. රෝහලට ගියාමත් පැමිණිල්ල ලියාගෙන නෑ කවුරුවත්. දොස්තරලා එතනදීත් මේ අයට පහරදීමක් කරලා කියලා මේ අය මට දැන්වූවා. මම ඒ වෙනකොට හිටියේ කොළඹ. මම පහුවෙනිදා උදේ 10 විතර වෙනකොට හෝටලයට ආවා.
පස්සේ ගලප්පත්ති කියන දොස්තර මට කතා කරලා කිව්වා මේක සාමදාන වෙමු. මේවා දුරදිග ගෙනියන්න ඕනේ නෑ. ඒ වෙලාවේ වුණේ මොකද්ද කියලා එයාටත් හිතාගන්න බැරි වුණා කියලා කිව්වා. ඉතින් ඒ වෙලාවේ මම ඒ දොස්තර මහත්තයට කිව්වා ඔයාලා කරලා තියෙන්නේ පහත් වැඩක් කියලා. සාමදාන වෙනඑක පිළිබඳව මට උත්තරයක් දෙන්න බෑ. කට්ටියත් එක්ක කතා කරලා බලන්න ඕනේ කියලා මම කිව්වා.
පහරකෑමට ලක්වූ හෝටල් සේවකයෙක්
10 රෑ දොස්තරලාගේ පාටියක් තිබුණා. පාටිය ඉවරවෙන්න වගේ තිබුණේ. අපි කට්ටියත් පැත්තක වාඩිවෙලා හිටියේ. ඒ වෙලාවේ චාරු අයියට වීඩියෝ කෝල් එකක් ආවා. එයාට කොහේහරි යන්න තමයි එන්න කියලා කෝල්එක ආවේ. ඒ වෙලාවේ චාරු අයියා කිව්වා මට අද නම් එන්න විදියක් නෑ. අද පාටියක් හෝටලේ. ඒ නිසා එළිවෙනකම් වැඩ කියලා. ඊට පස්සේ කෝල්එක දුන්න කෙනා චාරු අයියට කිව්වා පාටියක් තියනව නම් පෙන්වන්න බලන්න කිව්වා. කතා කර කර හිටිය කෝල් එකටම පාටිය පෙන්නුවා. කොහොම හරි දොස්තරලා හිතුවේ එයාලා වීඩියෝ කරනවා කියලා. වැරදි වැටහීමක් ඇති කරගෙන තමයි දොස්තරලා ඇවිත් චාරු අයියට ගැහුවේ. චාරු අයියට ගහලා හෝටලයෙන් එළියට දමලා කිව්වා පාටිය ඉවරවෙනකම් අපිට පේන්න එන්න එපා කියලා.
පාටිය ඉවරවෙලා දෙබරවැව රෝහලට ගියා බේත් දමාගන්න. ඒ යනකොට ඒ රෝහලේ හිටියෙත් පාටියට ඇවිත් හිටිය දොස්තරලාමයි. ඒ වෙලාවේ එක දොස්තරකෙනෙක් මගේ ළඟට ඇවිත් තොපි මෙහෙටත් ආවද කියලා අහලා මට පයින් ගැහුවා. ගලප්පත්ති කියන දොස්තර තමයි මට පයින් ගැහුවේ. අපිට කරන්නම දෙයක් නැති නිසා අපි ලුණුගම්වෙහෙර පොලිසියට ගිහින් පැමිණිල්ලක් දමලා ලුණුගම්වෙහෙර රෝහලේ ඇඩ්මිට් වුණා.
හෝටලයේ කළමනාකරු ඩබ්ලිව්.ටී.කේ. සිසිර කුමාර
පාටිය පටන් අරගෙන රෑ 11.30 විතර වගේ වෙනකොට තමයි මේ කළබලය ඇති වුණේ. අපේ සේවකයෙක් වීඩියෝ කෝල් එකක් අරගනිමින් ඉන්නකොට දොස්තරලා හිතලා තියෙන්නේ එයාලගේ පාටිය වීඩියෝ කරනවා කියලයි. ඒක තමයි මේ ප්රශ්නය ඇති වෙන්න හේතුව. දොස්තරලා වැරදි වැටහීමක් ඇති කරගෙන තමයි මේ පහරදීම සිදු කළේ. දොස්තර මහත්වරුත් හොඳට බීලා හිටිය නිසාද කොහෙද රණ්ඩුව නතර කරගන්න බැරි වුණා. ඒ අය පාටිය ඉවරවෙලා ගියාට පස්සේ තමයි ගිහින් බේත් දමාගෙන ඇවිත් පොලීසියට ගිහින් පැමිණිලි කළේ.
කතාව හා සේයා රූ - සූරියවැව නුවන් ජයසේකර