- මහාචාර්ය ලියනගේ අමරකීර්ති
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති නිර්මාණ සාහිත්‍යය කෙරෙහි දක්වන්නේ මහත් උනන්දුවකි. ඔහුගේ නවකතා මෙන්ම කෙටිකතා කෘතිද සම්මානයට පාත්‍ර වී තිබේ. 2007දී අටවක පුත්තු නවකතාවට රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි විය. 2014 දී ස්වර්ණ පුස්තක සම්මානය සහ විද්‍යෝදය සම්මානය හිමිවූයේ ඔහු ලියූ කුරැලු හදවත නවකතාවටය. 2016දී අහම්බකාරක නවකතාව ස්වර්ණ පුස්තක සම්මානය හිමිකර ගත්තේය. අලුත් අලුත් ඉම් ඔස්සේ සිය කතා කලාව විහිදුවන අමරකීර්තිගේ අලුත්ම නවකතාව රතු ඉරි අඳින අත ය. එය විදර්ශන ප්‍රකාශනයකි.
රතු ඉරි අඳින අත මේ සමාජ දේශපාලන ගොහොරැවේ පැතිකඩක් නිරෑපණය කිරීමට ගත් උත්සාහයක් බව පේනවා. ඒ ගැන කිව්වොත්?
දේශපාලන මඩගොහොරුවටත් වඩා සමාජ මඩගොහොරුව. පශ්චාත් නූතන ධනවාදී තත්ත්වය තුළ සිදු වී තිබෙන පොට පැටලුණු නූල් බෝලමය තත්ත්වය. ඒ වගේම රටේ පවතින කලා, සංස්කෘතික කතිකාව, පාතාලය සහ ඊට සමාන අය විසින් මංකොල්ල කෑවොත් මොකක් වෙයිද කියන කියන විකාරරූපමය තත්ත්වය. ගී රස වින්දනය වගේ මතුපිට මට්ටමේ කලා රසවින්දන වැඩවලට පාතාලමය කට්ටිය, හිටපු මිනීමරුවො එහෙමත් එනවා. යම් රටක කලා කතිකාව සටකපට පිරිසකට පහසුවෙන් උස්සගෙන යන්න හැකි වී තිබීම ආදිය මේ නවකතාවේ තියෙනවා. භෞතික ප‍්‍රාග්ධනයටත් වඩා පහසුවෙන් සංස්කෘතික ප‍්‍රාග්ධනය කොල්ලකන තත්ත්වයට පාතාලය පත්වන තැනට අපේ රට පත්වෙලා. අද මහාචාර්යවරයා ආසන්නයෙන්ම පාතාල මැරයා හිඳගෙන සිටින අවස්ථා ඕනෑතරම් දකින්න පුළුවන්. මුදල් විශුද්ධිකරණය වගේ පාතාල වැඩකරන මහාචාර්යවරැත් ඉන්න පුළුවන් කියා ඉඟි පළවුණු අවස්ථා තිබුණා. මේ නවකතාවෙන් අල්ලන්නෙ ඒ විකාර ලෝකය. නමුත් ඒවා තියෙන්නෙ පසුබිමේ. පොරබිමේ තියෙන්නෙ තමන්ගෙ ආත්මීයතාව හෙවත් පුද්ගලභාවය නැවත නැවත ප‍්‍රනිනිර්මාණය කරමින් අලුත් &මම” කෙනෙක් ගොඩනගන්න මිනිසා දරන ප‍්‍රයත්නයේ ස්වභාවය. ඒක අපි කාටත් අදාළ ස්වභාවයක්.
ඔබ මේ කෘතිය රචනා කිරීමට අදාළ ප්‍රදේශවල සංචාරය කළ බවත් සඳහන් වෙනවා. නමුත් අද බහුතරයක් දෙනා අන්තර්ජාලය බලාගෙන භූමි දර්ශන මවාගන්නා බව එක් විචාරකයෙක් අපට පැවසුවා. එවැනි කෘති ගැන ඔබට නිරීක්ෂණය වුණාද?
මේ පොතේ සඳහන් වෙනවා විවිධ ජීවන අඩවි. ඒ සෑම අඩවියකම වගේ මං සංචාරය කරලා තියෙනවා. සමහර පුද්ගලයන්ට කතාකරලා තියෙනවා. සමහර ප‍්‍රදේශවල පොත ලියන්න කලිනුත්, ලියන අතරෙත් සංචාරය කළා. ඇතැම් ගමන් තනියම. ඇතැම් ගමන් මිතුරන් සමඟ. අන්තර්ජාලය බලා භූමිදර්ශන මවා ගන්නවාට වඩා ඒ ඒ ස්ථානවල එන ගඳ සුවඳ ආදිය විඳගන්න එක හොඳයි. නමුත් කෙනෙකුට බොහෝ දේවල් සඳහා අන්තර්ජාලය ප‍්‍රයෝජනවත් වෙන්න පුළුවන්.
රතු ඉරි අඳින අතට ලැබුණු ප්‍රතිචාර කෙසේද?
බොහෝ දෙනෙක් දැනටමත් පොත කියවලා තිබුණා. සමාජ මාධ්‍යවල ප‍්‍රතිචාර පළ වී තිබුණා. මේ වසරේ පොත් ප‍්‍රදර්ශනයේදී තමන්ගෙ කුටියෙ වැඩියෙන්ම අලෙවි වුණ පොත ඒක කියලා ජනක ඉණිමංකඩ කියල තිබුණා.
මේ පොත උත්ප‍්‍රාසාත්මක වගේම තරමක් විකාරරූපී යථාර්ථවාදයක් සහිත පොතක්. බොහෝ රසිකයෝ ඒ උත්ප‍්‍රාසාත්මක බව වටහාගෙන තිබුණා. අනික මම කොහොමත් ප‍්‍රබන්ධ කථාවේ ශිල්පීය පැත්ත ගැන හිතන කෙනෙක්. ඒ නිසා මේ පොත කියවද්දී අහවලා කවුද, අහවලා අහවලාගෙ කවුද, අහවල් තැන සිද්ධ වූයේ කුමක්ද, අහවලා සැබෑ චරිතයක්ද, ෆැන්ටසියක්ද ආදිය සෘජුව කියලා නෑ. ඒ නිසා පොත වාච්‍යාර්ථයෙන් ගත්තොත් බොහෝ තැන් වරදිනවා. නමුත් බොහෝ රසිකයෝ නවකතාවේ තියෙන ප‍්‍රබන්ධ ශිල්පය වටහාගෙන තියෙනවා.
අද විශ්වවිද්‍යාලවල ආචාර්ය මහාචාර්යවරැ බහුතරයක් ඉගැන්වීමට පමණක් සීමාවී සිටින බවයි බාහිර ලෝකයට පේන්නේ. ඔවුන් අතින් විෂය වර්ධනයට අවශ්‍ය ශාස්ත්‍රීය හා සාහිත්‍ය කටයුතු සිදුවන්නේ අඩුවෙන් නේද?
විශ්වවිද්‍යාලෙ ඉගැන්වීම කියන්නෙ පන්ති කාමරේ දේශනය කරලා ගෙදර යාම විතරක් නෙමේ. පර්යේෂණ කරන්නෙ නැත්නම් හොඳට උගන්නන්නත් බෑ. විෂය වර්ධනය කිරීමත්, හොඳින් ඉගැන්වීමත් එකිනෙක පෝෂණය කරනවා. දැන් දැන් තරුණ විශ්වවිද්‍යාල ආචාර්යවරැ අතරින් බොහෝ දෙනෙක් පර්යේෂණ, නිර්මාණකරණය ආදිය කරනවා. මැදිවියේ ඉන්න කීපදෙනෙක් තමයි එක තැන පල්වෙන ස්වභාවයක් පේන්නෙ. ඒකට ඒ අයට දොස් කියලා බෑ. ඒ අයටත් අනික් අයට ලැබෙන සියලුම වරප‍්‍රසාද ලැබෙනවනෙ. දැන් දැන් ටිකක් තත්ත්වය වෙනස් වේගෙන එනවා. ආචාර්ය උපාධි නැතුව, පිළිගත් ශාස්ත‍්‍රීය සඟරාවල පර් යේෂණ පත‍්‍රිකා පළකරන්නේ නැතිව මහාචාර්ය ධූරයට අයදුම් කිරීම කළ නොහැකි තැනට ඇවිත් තියෙනවා. නමුත් බොහෝ අයට ලැබුණ කාර් පර්මිට් ගණන, ලියා ඇති පොත් ගණනට හෝ කර ඇති පර්යේෂණ ගණනට වඩා වැඩියි. ඒකට වගකියන්න ඕනෙ ඒවා ගන්න අය නොවේ දෙන අය. වෙන රටවල විශ්වවිද්‍යාල ආචාර්යවරැන්ට පාරිතෝෂික, දිරිගැන්වීම්, වරප‍්‍රසාද දෙන්නෙ ඔවුන්ගේ ශාස්ත‍්‍රීය කැපවීම අනුව. මෙහෙ එහෙම නෑ.
නවකතාකරණයට තරුණයන් බහුතරයක් එළඹ සිටින බව පේනවා. ඔබ ඔවුන්ගේ කෘති කියවනවාද?
ඔක්කොම කියවන්න අමාරුයි. නමුත් හැකිතරම් කියවන්න උත්සාහ කරනවා. ප‍්‍රියන්ත ලියනගේගේ කොට තුවක්කු ඒක අර්ථවත් දායකත්වයක්. ගාමිණී බස්නායකගේ බෝදිලිමානය, ඩී.එම්.එස්. ආරියරත්නගේ නිමුං කුරැල්ලා ආදී පොත් ඒ අයගේ පළවෙනි නවකතා. ඒවා ඉතා හොඳ ආරම්භ. ආශා රුළපනාව කුසලතාසම්පන්න තරැණ ලේඛිකාවක්. එවැනි පිරිසක් මතු වී සිටීම හොඳයි.
එසේ නම් ඒ අතරින් සාර්ථක කෘති ගැන කිව්වොත්....
තරුණ අය ලියන සියලුම දේවල් නොකියවා සංසන්දනාත්මක අගය කිරීමක් කරන්න අමාරුයි.
අද නවකතා බහුල වුවත් විචාර කෘති නම් පළවෙන්නේ කලාතුරකින්. 60-70 දශකවල මෙයට වඩා විචාර කෘති පළවුණා නේද?
ඒකෙ ඇත්තක් තියෙනවා. ඒ වගේම ඒ කාලෙ විචාර සඟරා සංස්කෘතියක් තිබුණා. සංස්කෘති, පියවර වගේ සඟරාවල දීර්ඝ විචාර ලිපි පළවුණා. ඒ ලිපි තමයි පසුකලෙක ග‍්‍රන්ථ ප‍්‍රමාණයේ අධ්‍යයන බවට පත්වුණේ. සඟරා සංස්කෘතියක් තිබීමේ වැදගත්කම ඒකයි. ඒ දීර්ඝ ලිපි ලියද්දී කෙරෙන අධ්‍යයන ග‍්‍රන්ථ ප‍්‍රමාණයේ අධ්‍යයනවලට පදනම සපයනවා. මෑත කාලේ යම් යම් ප‍්‍රායෝගික විචාර පොත් ලිව්වෙ මහාචාර්ය කුලතිලක කුමාරසිංහ විතරයි.
60-70 දශකවල වුණත් හුඟක් ගැඹුරු ශාස්ත‍්‍රීය අධ්‍යයන පළවුණා කියන්න අමාරුයි. අදත් අපි පරිශීලනය කරන ඒ යුගයේ පළවූ නවකතා අධ්‍යයනය කුමක්ද? වික‍්‍රමසිංහගේ නවකතාංග හා විරාගය, මහාචාර්ය ආරිය රාජකරුණාගේ පොත් ආදිය තමයි කල් අල්ලා හිටියෙ. නමුත් තවමත් බහුල වශයෙන් භාවිතා වන්නේ මහාචාර්ය සරච්චන්ද්‍රගේ සිංහල නවකතා ඉතිහාසය හා විචාරය. ඒ කාලෙ සරච්චන්ද්‍ර වික‍්‍රමසූරිය වගේ අය ඉංග‍්‍රීසි අධ්‍යයන අංශවලට සම්බන්ධ වෙලා හිටියත් අද ඉංග‍්‍රීසි අධ්‍යයන අංශවල එහෙම අය නෑ. ඒ අය සිංහල භාෂක ශාස්ත‍්‍රීය කතිකාවට දායක වෙන්නෙ නෑ. ආචාර්ය කංචුකා ධර්මසිරි, ආචාර්ය ප‍්‍රභා මනුරත්න වගේ අය එහෙම දායකත්වයක් ආරම්භ කර තිබීම විශාල සතුටක්.
- කුසුම්සිරි