තංගල්ල නගර සභාවේ ගිනි නිවීම් ඒකකයට අයත් රුපියල් ලක්ෂ හයකට අධික වටිනාකමකින් යුතු භාණ්ඩ වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තංගල්ල නගර සභාවේ හිටපු සභාපතිවරයකු නොවැම්බර් මස 06 දක්වා රිමාන්ඩ් බාරයේ තැබීමට තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත් එල්.ටී. වරුසවිතාන මහතා පසුගියදා (30) නියෝග කළේය.
මෙලෙස රිමාන්ඩ් බාරයට පත්වූයේ තංගල්ල නගර සභාවේ හිටපු සභාපතිවරයකු වන දැනට නගර සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරයකු වන අනිල් සෙල්ලාහැන්නදි මහතාය. මොහු 2006 වර්ෂයේදී සහ 2011 වර්ෂයේදී තංගල්ල නගර සභාවේ සභාපතිවරයා ලෙස දෙවාරයක් පත්ව සිටි අයෙකි.
සුනාමි ව්‍යවසනයෙන් පසුව තංගල්ල නගර සභාවේ ගිනි නිවීම් ඒකකයට ජර්මනියෙන් ආධාර ලෙස හිමි වූ රුපියල් හය ලක්ෂ හැට නවදහසක වටිනාකමකින් යුතු ආයුධ කට්ටලයක් මෙලෙස හිටපු සභාපතිවරයකු විසින් වංචා කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට පත්ව සිටියේය. මෙම ආයුධ කට්ටලය අතුරුදන් වීම සම්බන්ධයෙන් තංගල්ල නගර සභාවේ හිටපු ලේකම්වරයා විසින් 2015 වර්ෂයේදී තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. එහි විමර්ශන කටයුතු සිදුකෙරෙමින් තිබියදී චෝදනාවට ලක්වූ හිටපු සභාපතිවරයා එම ආයුධ කට්ටලය ලබාදෙන බවට පොරොන්දු වී ආයුධ කට්ටලයක් තංගල්ල නගර සභාවට බාර දී තිබේ. එලෙස ලබා දුන් ආයුධ කට්ටලයේ වටිනාකම අඩුවීම හේතුවෙන් සහ ඇතැම් ආයුධ අඩු වීම හේතුවෙන් පරීක්ෂණ සිදුකළ විමර්ශන නිලධාරීන් සහ ගිනිනිවීම් ඒකකයේ නිලධාරීන් එම ආයුධ කට්ටලය ප්‍රතික්ෂේප කර තිබිණි.
තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයෙන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකෙරෙමින් පවතිද්දී හිටපු සභාපතිවරයා මුල් ආයුධ කට්ටලය තමන් සතු යැයි පවසා තංගල්ල නගර සභාවට ගෙනැවිත් බාර දීමට පොරොන්දු වී තිබිණි. ඒ අනුව යළිත් ආයුධ කට්ටලයක් ත්‍රිරෝද රථයක පටවා ඉකුත් ජූලි මස 18 දින තංගල්ල නගර සභාවට එවා තිබේ. හිටපු සභාපතිවරයා හෝ ඔහුගේ වගකිවයුතු නියෝජිතවරයකු මාර්ගයෙන් එම ආයුධ කට්ටලය බාර නොදීම හේතුවෙන් දැනට සභාපතිව සිටින රවිඳු වෙදආරච්චි මහතා සහ විමර්ශන නිලධාරීහු යළිත් එය ප්‍රතික්ෂේප කර හරවා යැවීමට කටයුතු කළහ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සභාපතිවරයාට එරෙහිව අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර ඇති බවට ලිපියක් ලැබී ඇතැයිද එසේ තිබියදී ඔහු සභාවාරයට සහභාගී වූ බවද තංගල්ල නගර සභාවේ සභාපති රවිඳු වෙදආරච්චි මහතා 2019 සැප්තැම්බර් මාසයේ පැවැති සභාවාරයේදී පැවසීය.
ඒ වනවිට හිටපු සභාපතිවරයා මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලීම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් ලබාගෙන තිබූ බව තංගල්ල මූලස්ථාන පොලීසිය කීය. එහි දින අවසන් වූවාට පසුව ඔහු මෙලෙස නීතීඥවරයකුගේ මාර්ගයෙන් තංගල්ල මූලස්ථාන පොලිසියට ඉකුත් ඔක්තෝබර් මස 24 දින බාර වී ඇත.
තවද තංගල්ල නගරසභාවට අයත් රුපියල් අනූපන්දහසක් වටිනා මල්ටිමීඩියා උපකරණයක් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්ද මොහුට එරෙහිව තංගල්ල නගර සභාවේ හිටපු ලේකම්වරයා තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් සටහන් කර ඇත. මල්ටිමීඩියා උපකරණ සිද්ධිය සම්බන්ධ නඩුවට හිටපු සභාපතිවරයාට ඉකුත් 24 දින කැඳවූ නඩුවේදී ඇප ලබා දී ඇති අතර ගිනි නිවීම් උපකරණ කට්ටලයේ සිද්ධියට අදාළව ඔහු ඔක්තෝබර් මස 30 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තැබීමට ඉකුත් 24 වැනිදා නියෝග කෙරිණි. එම නඩුව යළි කැඳවූ අවස්ථාවේදී හිටපු සභාපතිවරයා යළිත් 6 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තැබීමට තංගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් එල්.ටී. වරුසවිතාන මහතා විසින් නියෝග කරනු ලැබීය.
► සිටිනාමළුව - අනීෂා මානගේ