2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා

ලන්දේසි යුගයේ සිට එන බතික් කතිකාව

 2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 2107

සළුපිළි මත නේක වර්ණ රටා මවන බතික් කලාව පිළිබඳ තතු ඔබ හා බෙදාගැනීමට අපට සිත් විය. හුදු කලාවක්ම පමණක් නොව මෙය ලොව පතල කර්මාන්තයකි. නූතනයේ ලක්දිව සංචාරක කර්මාන්තය සමඟ අන්‍යොන්‍ය වශයෙන් බැඳී ඇති මේ කර්මාන්තයේ යම් පමණක බිඳ වැටීමක් දක්නට ලැබේ. අද කතාව එසේ වුවත් බතික් කලාවේ අතීත කතාව විමසා බැලීමට අපූරු පුවතකි. අතීත මතක අතර නිතර සැරිසරන අපි පුරුද්දට මෙන් බතික් කලාවේ අතීත කතාව සොයා ගියෙමු.

මෙසිරිලක වැසියන්ට වර්ණ සහ රෙදිපිළි සම්බන්ධ ඇත්තේ දීර්ඝ ඉතිහාසයක් බව අප අමුතුවෙන් කිව යුතු නැත. ක්‍රි.පූ. 6 වැනි සියවස තරම් ඈත කාලයේ මෙරට වැසියන් කපුවලින් රෙදි වියූ බවට සාක්ෂි අපට හමුවේ. එසේම කාලයාගේ ඇවෑමෙන් දේශීයව සොයාගත් කොළ, මුල්, ගෙඩි, පොතුවලින් සාදාගත් වර්ණ යොදාගෙන සළුපිළි වර්ණ ගැන්වීමට ද ලක්වැසියෝ පෙළඹී සිටියහ. එම නිසාම රෙදි විවීම සම්බන්ධ මෙන්ම වර්ණ ගැන්වීම සම්බන්ධයෙන් ද ලක්වැසියන් හපනුන් වූ බව ඉතිහාස වාර්තාවල සටහන් වී තිබේ. ඒ කෙසේ වෙතත් බතික් කලාවේ ඉතිහාස කතාවට සාක්ෂි අප වෙත ලැබුණේ සයුරෙන් එතෙර රටවලිනි.

හය වැනි සියවසට අයත් චීනයෙන් සොයාගැනුණු බතික් සළුපිළි කිහිපයක් නිසාවෙන් බතික් කලාවේ ඉතිහාස කතාව අාසියාවේ ගිනිකොණට ගෙන යයි. එය වඩාත් තහවුරු වන්නේ හත්වැනි සියවසේ චීන ඉන්දුනීසියානු වැසියන් මෙන්ම ජපන් ජාතිකයන් ද බතික් නිර්මාණකරණයේ නිරත වූ බවට සාක්ෂි ලැබීම හරහාය. මෙම යුගයේ බතික් සළුපිළි සමාජ තත්ත්වයේ පිළිබිඹුවක් වී තිබේ. ජාවා දූපත් වැසියන්ගේ බතික් කලාව අද ද ඊට නිදසුනක් කොට දැක්විය හැකිය.

මල්, පලතුරු, මාළු, සමනළයන්, කුරුළු ආදී රූප යොදමින් නිමවන ජාවා බතික් ලොව පුරා ධනවතුන්ගේ ආකර්ශනය දිනාගෙන තිබේ. අද ද බතික් ශිල්පය දියුණු ජාවා දූපත් වැසියන් එය හඳුන්වන්නේ “තික්‍රික්” සහ “ටැරිතික්” නම්වලිනි. එහි අදහස තිත්වලින් සිතුවම් කරන ලද රෙදි යන්නයි. ජාවා දූපත් වැසියන්ගේ මෙන්ම ඉන්දුනීසියානු ජාතිකයන්ගේ සංස්කෘතිය තුළ ද බතික් කලාවට ප්‍රමුඛස්ථානයක් හිමි බව මෙහිදී සිහි කළ යුතුය. එසේම එම රටවල නූතනයේ පවා ප්‍රමුඛ ආදායම බවට බතික් කර්මාන්තය පත්ව තිබේ.

බතික් කර්මාන්තයේ ඉතිහාසය ආසියාව මත ලඝු නොකරන ඇතැම් ඉතිහාසඥයන්ට අනුව ඉපැරැණි බතික් නිර්මාණ කලාව ඇරැඹී ඇත්තේ ඊජිප්තුවෙනි. නයිල් නිම්න ශිෂ්ටාචාරයේ වැසියන් ඉටි භාවිත කරමින් සළුපිළි මත රටා මවන්නට උත්සාහ ගත් බව ඔවුන්ගේ මතයයි. පර්සියානු සහ මිසර වැසියන් කැඳ හා ඉටි බින්දු තැවරීමේ තාක්ෂණය ලොවට හඳුන්වා දුන් බව කියැවෙයි. ඊට අනුව යමින් වසර 2000කට පමණ ඉහතදීත් පර්සියානුවන් බතික් නිර්මාණවල නිරත වූ බව පැවසෙයි. මෙම මතය සත්‍යයක් නම් පර්සියානු වෙළෙඳ ආධිපත්‍ය මත බතික් කලාව ලොව පුරා ප්‍රචලිත වන්නට ඇති බව අපට සිතිය හැකිය. කෙසේ නමුත් නොදියුණු යුගයේ බිහිවුණු විසිතුරු බතික් කලාව පසුගිය දශකයේ  2009 වසරේදී යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක සංස්කෘතික උරුමයක් ලෙස නම් කරන ලදී.

ශ්‍රී ලංකාවට බතික් කලාව හඳුන්වා දීම සම්බන්ධයෙන් අපි යම් සොයා බැලීමක් කළෙමු. පැරැණි පුවත්පත් වාර්තා අනුව එක්දහස් නවසිය පනහ හැට වැනි දශකවලදී සෝමා උඩබාගේ නම් මහත්මියකගේ මැදිහත් වීමෙන් ලංකාවට බතික් කලාව හඳුන්වා දෙනු ලැබීය. කෙසේ වෙතත් එම කරුණ තහවුරු කර ගැනීමට අපට නොහැකි විය. එහෙත් ලංකාවට බතික් කලාව ලැබීම සම්බන්ධ ඉතිහාස කතා ඊට ඈතට දිව යන බව හැඟවෙන කතාවක් අපට දැනගන්නට ලැබුණි.

අප පෙර කියූ ලෙසින් ශතවර්ෂ ගණනාවකට පෙර බතික් කලාව ආරම්භ වූයේ වර්තමානයේ ඉන්දුනීසියාව සහ මැලේසියාව ආදී  රටවලින් බව කියැවුණි. මුල්කාලීනව එම රටවල ගම්වාසීන් හා ගෝත්‍රිකයන් අතරේ පැවති මෙම කලාව ලන්දේසීන් විසින් ශ්‍රී ලංකාවට ගෙන එන ලද බව කියැවේ. ඒ අනුව ලාංකික බතික් කලාවේ ඉතිහාසය ලන්දේසි යුගය දක්වා දිව යන බව කියැවේ. ඕනෑම කලාවක් තුළ දේශීයත්වය සලකුණු කිරීමේ ලාංකිකන් සතු හැකියාව බතික් කර්මාන්තය තුළින් ද මනාව ප්‍රකට වෙයි. දේශීය සංස්කෘතිය, අන්‍යොන්‍යතාව පිළිබිඹු වන විචිත්‍ර මෝස්තර මේ බතික් කලාවට එක් කිරීමට අපේ නිර්මාණකරැවෝ සමත් වූහ. ලංකාවේ බතික් ලොව පතල වීමේ රහස වූයේ එයයි.
ඉන්දුනීසියාවේ ආරම්භ වන බතික් කර්මාන්තය 19 වැනි සියවස ආරම්භයේදී ලන්දේසීන් විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් අතර අද එය රටට පමණක් ආවේණික වූ රෙදිපිළි කලාවක් දක්වා වර්ධනය වී තිබේ. 1970 දශකය අග භාගයේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ වර්ධනය බතික් ඇතුළු දේශීය හස්ත කර්මාන්ත සඳහා විශාල බලපෑමක් එල්ල කෙරුණි. ඒ අනුව ගෘහ කර්මාන්තයට සීමා වී තිබුණු බතික් කර්මාන්තය ධනෝපායන මාර්ගයක් බවට පත් විය. ජාතික ශිල්ප සභාව වැනි රාජ්‍ය ආයතන බොහොමයක් මෙම කර්මාන්තයට මැදිහත් වන්නට වූයේ ඒ අනුවය. බතික් පුහුණු පන්ති රට පුරා ව්‍යාප්ත වන්නට විය. ගෘහ ආශ්‍රිතව කර්මාන්තශාලා බිහි විය. 80 සහ 90 දශකය තුළ බතික් කර්මාන්තය ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරමින් ලංකාව තුළ ව්‍යාප්ත විය.

ක්‍රමයෙන් පාරම්පරික කර්මාන්තයක් බවට පත්වෙමින් පැවැති බතික් කර්මාන්තය ක්‍රමයෙන් අභාවයට පත්වන්නට වූයේ ආනයනික රෙදිපිළි හරහාය. ජාවා බතික් ආනයනය හරහා ලාංකික කර්මාන්තකරුවාට එල්ල වූයේ මරු පහරකි. අවසානයේ බතික් කර්මාන්තය ආ වේගයෙන්ම පරිහානියට පත්වන්නට විය.

නෙත වශී කරන ‍සෞන්දර්යාත්මක හැඟීම් අවදි කරන බතික් කලාව නුදුරු දිනකදී අහිමි වේදෝ යන සැකය දැන් අපට මතුව තිබේ. එන්න එන්නම බතික් ශිල්පීන් සොයා ගැනීම ඉතා දුෂ්කර කර්තව්‍යයක් වී ඇති බව පෙනී යයි. දීර්ඝකාලීන පළපුරුද්ද, අත්දැකීම මෙන්ම නිර්මාණශීලීත්වය සහ කැපවීම තුළින් බිහිවන දක්ෂ බතික් නිර්මාණකරුවන් යළිත් මෙරට බිහිවේදැයි සිතිය නොහැකි තරම්ය. සංචාරක කර්මාන්තය නිසාවෙන් යම් පමණකට ආරක්ෂා වී තිබෙන මෙම කර්මාන්තය රැකගැනීමේ වැඩපිළිවෙළක අවශ්‍යතාවය අවසානයේ අවධාරණය කළ යුතුය.

► චමිඳු නිසල්
සේයාරෑ - අන්තර්ජාලයෙන්

 

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00