2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා

අතීත ජනපතිවරුන්ගේ නිල නිවාස සහ මෛත්‍රීෙග් ක්‍රියාකලාපය

 2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 185

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන දැනට භාවිත කරන කොළඹ 07 මහගම සේකර මාවතේ පිහිටි නිල නිවෙස විශ‍්‍රාම ගැනීමෙන් පසුවද ඔහුගේ පාවිච්චිය සඳහා ලබාදීමට ගෙන ඇති තීරණය පිළිබඳව මේ වනවිට දැඩි කතාබහක් ඇති වී තිබේ. මේ සඳහා අනුමැතිය හිමි වූයේ, ඔක්තෝබර් 15 වැනිදා ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවති කැබිනට් රැස්වීමට මුදල් අමාත්‍ය මංගල සමරවීර ඉදිරිපත් කළ සංදේශයකට අනුවය.

විශ‍්‍රාමික ජනාධිපතිවරයකුට ව්‍යවස්ථානුකූලව ලබා දිය යුතු සියලු වරප‍්‍රසාදවලට අමතරව මෛත‍්‍රීපාල සිරිසේනගේ ආරක්‍ෂාව වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට ද කැබිනට් මණ්ඩලය එහිදී තීරණය කර තිබිණි. මෙම කරුණ සමාජගත වීමත් සමඟම ඒ සම්බන්ධයෙන් දැඩි කතාබහක් ඇති වූ අතර සමාජ මාධ්‍ය තුළද එය උණුසුම් මාතෘකාවක් බවට පත්විය.

ජනපතිවරයන්ගේ හිමිකම් පනත
ජනාධිපතිවරයන් විශ්‍රාම යාමෙන් පසු ඔවුන්ට හිමිවිය යුතු ප්‍රතිලාභ ඇතුළත් ගැසට් පත්‍රයට අත්සන් තැබුවේ 1986 වසරේ පෙබරවාරි මස 18 වැනිදාය. එය එම වසරේ පෙබරවාරි මස 21 වැනිදා නිකුත් කෙරිණි.

1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනතට අනුව,
“සෑම හිටපු ජනාධිපතිවරයකුටම සහ හිටපු ජනාධිපතිවරයකුගේ වැන්දඹුවකටම ඔහුගේ හෝ ඇයගේ ජීවිත කාලය තුළ වාසය සඳහා උචිත නිවාසයක් නිවාස කුලියෙන් තොරව සැපයිය යුතුය.”

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ, යම් හෙයකින් උචිත නිවාසයක් සැපයීමට නොහැකි අවස්ථාවක අදාළ ජනාධිපතිවරයාගේ විශ්‍රාම වැටුපෙන් තුනෙන් එකකට සමාන දීමනාවක් නිවාස කුලිය ලෙස ලබාදිය යුතු බවය. මෙම පනත අනුව හිටපු ජනාධිපතිවරයකු අභාවයට පත්වුවහොත් හිමි විශ්‍රාම වැටුපෙන් තුනෙන් දෙකකට සමාන විශ්‍රාම වැටුපක් සහ නිල නිවෙස බිරිඳට හෝ සැමියාට ඔවුන් ජීවත් වන තුරු ලබා දිය යුතුය.

මීට අමතරව, 2005 වසරේදී සිවිල් පුරවැසියන් දෙදෙනකු විසින් ගොනුකරන ලද නඩුවක තීන්දුවක් සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගට එරෙහිව ගොනුකර තිබූ නඩුවකට අදාළව එවක අගවිනිසුරු සරත් එන්. සිල්වා 2007 වසරේ මාර්තු 02 වැනිදා දුන් නඩු තීන්දුවක් අනුව හිටපු ජනාධිපතිවරුන්ට හිමි වරප්‍රසාදවල සංශෝධන සිදුවී තිබේ. එහිදී මූලික අයිතිවාසිකම් පෙත්සමක් සම්බන්ධයෙන් (SCFR503/2005) ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් පෙත්සම්කරුවන්ට පක්ෂව තීන්දුවක් ලබාදෙමින්, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ජනාධිපති ධූරයේ කටයුතු කරමින් සිටියදීම ඇයගේ ප්‍රදාන සහ හිමිකම් පිළිබඳව ගෙන තිබූ කැබිනට් තීන්දු අවලංගු කළේය.

කෙසේ වෙතත්, හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ බිරින්දෑවරුන්ට හෝ සැමියන්ට විශ්‍රාම වැටුප්, කාර්ය මණ්ඩලය, නිල නිවාස, ආරක්ෂක භටයන්, රථවාහන සහ ඉන්ධන වියදම්ද හිමි වන බව ජනාධිපති කාර්යාලය පවසයි.

පෙර සිටි ජනාධිපතිවරුන්ගේ නිල නිවාස
ජේ.ආර්. ජයවර්ධන:

ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපතිවරයා වූ ජේ.ආර්. ජයවර්ධන සිය ධූරයෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව රජයේ නිල නිවාසයක් ලබා නොගත්තේය. ඔහු සිය විශ්‍රාම දිවිය ගත කළේ, කොළඹ වෝර්ඩ් පෙදෙසේ පිහිටි සිය පාරම්පරික නිවෙස වූ බ්‍රේමා මැදුරේය. ඒ අනුව, විශ්‍රාම ගැනීමෙන් පසු රජයේ නිල නිවාසයක් භාර නොගත් ශ්‍රී ලංකාවේ එකම ජනාධිපතිවරයා වන්නේ, ජේ.ආර්. ජයවර්ධනය.

රණසිංහ ප්‍රේමදාස:
ජේ.ආර්. ජයවර්ධනගෙන් පසු ශ්‍රී ලංකාවේ දෙවැනි විධායක ජනාධිපතිවරයා බවට පත්වූ රණසිංහ ප්‍රේමදාස ධූරය දරන අතරතුර අභාවප්‍රාප්ත වීම හේතුවෙන් ඔහුට හිමි නිල නිවෙස ඔහුගේ බිරිඳ වන හේමා ප්‍රේමදාසට හිමිවිය. පළමුව කොළඹ ස්ටැන්මෝර් චන්ද්‍රවංකයේ පිහිටි නිවෙසක් ඇයට ලබා දී තිබූ අතර පසුව කොළඹ 07, ග්‍රෙගරි මාවතේ පිහිටි සී-80 දරන නිවෙස ඇයට ලබාදෙන ලදී.

ඩී.බී. විජේතුංග:
තෙවැනි විධායක ජනාධිපතිවරයා ලෙස කෙටිකලක් ධූරය හෙබවූ ඩී.බී. විජේතුංග විශ්‍රාම ගැනීමෙන් පසුව වාසය කළේ, වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වාසය කරන කොළඹ, මහගම සේකර මාවතේ (පැජට් පාර ලෙස මීට පෙර නම්කර තිබිණි) පිහිටි නිවසේය. එකිනෙකට සම්බන්ධ අමාත්‍ය නිල නිවාස දෙකක් එක් නිවෙසක් ලෙස ඩී.බී. විජේතුංග භාවිතයට ගෙන තිබිණි.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග:
සිව්වැනි විධායක ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග සිය විශ්‍රාම දිවිය ගත කිරීම සදහා තෝරා ගත්තේ, කොළඹ 07, නිදහස් මාවතේ, අංක 27 දරන නිවෙසය. ඇය තවමත් එම නිල නිවෙස පරිහරණය කරයි.

මහින්ද රාජපක්ෂ:
පස්වැනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ විශ්‍රාම යාමෙන් පසු කොළඹ 07, විජේරාම මාවතේ, අංක 11 දරන නිවෙස ඔහුගේ නිල නිවෙස වශයෙන් ලබාදෙන ලදී. ජනාධිපති කාර්යාලය පවසන්නේ, “විශාල මුදලක්” වැයකර එම නිවෙස ප්‍රතිසංස්කරණය කර ඉහළ මහලට යාම සඳහා විදුලි සෝපානයක්ද සවිකළ බවය.

මෛත්‍රිපාල සිරිසේනට වෙන් කෙරුණු මහගමසේකර මාවතේ නිවෙසේ වගතුග

මෙම නිල නිවෙස ඩී.බී. විජේතුංග හිටපු ජනාධිපතිවරයා සිය විශ්‍රාම දිවිය ගත කිරීමට තෝරා ගැනීමට පෙර පැවතියේ, අමාත්‍යවරුන් දෙදෙනකු සදහා වෙන්කෙරුණු එකිනෙකට යාබද නිල නිවාස දෙකක් ලෙසය. ඩී.බී. විජේතුංගගේ අභාවයෙන් පසු එම නිවෙස පසුකලෙක අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල සිය නිල නිවෙස ලෙස භාවිත කළේය.

පසුව එය ප්‍රතිසංස්කරණය කර වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය නිල නිවෙස ලෙස භාවිතයට ගත්තේය. ඒ කොළඹ කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරය භාවිත කළහොත් ඒ සඳහා විශාල මුදලක් වැයවන බව පවසමිනි. එම නිවෙස ජනාධිපති නිල නිවෙස වශයෙන් ප්‍රතිසංස්කරණයට හා වෙනත් කටයුතු සඳහා ඉල්ලා තිබූ රුපියල් මිලියන 180ක මුදලක් පිළිබඳව එවක මාධ්‍ය ඔස්සේ කතාබහට ලක් විය.

ඒ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලය ප්‍රතිචාර දක්වමින් නිකුත් කළ නිවේදනයක සඳහන් කර තිබුණේ, “ජනාධිපති ලේකම්වරයා පෙන්වා දෙන්නේ ඉතා පැරණි නිවාස 02ක් එක්කර ජනාධිපතිවරයෙකුගේ පරිහරණයට උචිත ලෙස එම නිවෙස අලුත්වැඩියා කිරීමට සිදු වූ” අතර “ජනාධිපතිවරයා සඳහා වෙන්ව ඇති කොටුව ජනාධිපති මන්දිරය භාවිත කරන්නේ නම් ජලය, විදුලිය සහ නඩත්තු කටයුතු සඳහා මසකට රුපියල් ලක්ෂ 150 ට අධික වියදමක් දැරීමට රජයට සිදුවන බවත් එම අධික වියදම නිසා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා එහි පදිංචිය ප්‍රතික්ෂේප කර ඇති බවත් ජනාධිපති ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරයි,” යනුවෙනි.
විශ්‍රාමික ජනාධිපතිවරයකුට නිල නිවෙසක් හිමිවන්නේ සින්නක්කරවද?

1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත අනුව විශ්‍රාමික ජනාධිපතිවරයකුට හෝ වරියකට නිල නිවෙසක් සින්නක්කරව හිමි නොවේ. එම නිල නිවෙස හිමිවන්නේ, ජනාධිපති සැමියා හෝ බිරිඳ අතරින් පසුව මියයන තැනැත්තා ජීවත් වනතුරු පමණි. ඒ අනුව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අදාළ නිවෙස සින්නක්කරව තමන්ට පවරා ගත් බවට පළවන තොරතුරු සාවද්‍ය බව ජනාධිපති කාර්යාලය පවසයි.

“සාමාන්‍යයෙන් කැබිනට් අනුමැතිය ඉල්ලුවත් නැතත් ජනාධිපතිවරයෙක් විශ්‍රාම ගියාම ජීවත්වෙන්න නිල නිවෙසක් ලැබිය යුතුයි. මේ වැඩේ නීත්‍යානුකූලව කරන්න ඕන නිසයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කැබිනට් පත්‍රිකාවක් දාන්න කියලා ඉල්ලීමක් කළේ,” ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශකයෙක් බීබීසී සිංහල සේවයට පැවසීය.

බැඳියාවන් අතර ඝට්ඨනයක්
ජනාධිපතිවරයා තවමත් සිය ධූරයේ රැඳී සිටියදී, “කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරමින් සිටින කාලසීමාව තුළදී මෙවැනි තීරණයක් ගැනීම, බැඳියාවන් අතර ඝට්ටනය පිළිබඳ විශාල ගැටලුවක් පැන නගින බව,” ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය පවසයි.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂ අසෝක ඔබේසේකර පවසන්නේ, වසර 20ක කාලයක් සඳහා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මහගම සේකර මාවතේ පිහිටි නිල නිවෙස පරිහරණය කිරීම මගින් ඔහුට ලැබෙන අවම ඇස්තමේන්තුගත ප්‍රතිලාභය රුපියල් මිලියන 360ට අධික බවය.

“මෙම නිවෙස ලබා දීම පිළිබඳව තීරණය ගෙන ඇත්තේ ජනාධිපතිවරයාම මෙහෙයවනු ලබන කැබිනට් මණ්ඩලය වන හෙයින් බැඳියාවන් අතර ඝට්ටනය පිළිබඳ ගැඹුරු සැකසංකා මතුකරන අතර පොදු දේපොළ සුරැකීම පිළිබඳව ඇති අඩු අවධානය පිළිබඳව ඉඟි මතුකරන බැවින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ හිමිකම් සම්බන්ධයෙන් වන ඕනෑම කැබිනට් තීන්දුවක් වහාම අවලංගු කරන ලෙස ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය කැබිනට් මණ්ඩලයට දන්වා සිටින,” බව එම ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

හිටපු ජනාධිපතිවරුන් වරප්‍රසාද ලබාගැනීම සාධාරණද?

සංවර්ධනය වෙමින් පවතින මැදි ආදායම් ලබන රටක් ලෙස දේශපාලනඥයන්ට වරප්‍රසාද ලබාදීම ශ්‍රී ලංකාවේ ආර්ථිකය කෙරෙහි බලපාන ආකාරය පිළිබදව රජරට විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ගීතානි කුමාරි බුලංකුලම බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් පැහැදිලි කළාය. ඇය පෙන්වා දුන්නේ, නිෂ්පාදන ආර්ථිකයක් නැති බදු සහ ණය මත පදනම් වූ දුර්වල ආර්ථිකයක් පවතින ශ්‍රී ලංකාව වැනි රටක ජනාධිපතිවරැන්ට හෝ දේශපාලකයන්ට විවිධ වරප්‍රසාද ලබාදීමෙන් ආර්ථිකය තවදුරටත් කඩාවැටෙන බවය.

“ඉස්සර දේශපාලනඥයෝ ආවේ තමන්ට අයිති දේවල් වියදම් කරලා රටට වැඩ කරන්න. හොඳම උදාහරණය තමයි, ජේ.ආර්. ජයවර්ධන. එතුමා නිල නිවාසයත් ප්‍රතික්ෂේප කරල අන්තිමට එයාට පරම්පරාවෙන් අයිතිවෙලා තිබුණ දේපොළත් රජයට පවරා දුන්නා. උදාහරණයක් තමයි ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රය. ඒත් පස්සේ ආපු හැම කෙනෙක්ම තමන් හම්බ කරගත්ත එක තමයි ගොඩක් වෙලාවට කළේ,” මහාචාර්ය ගීතානි කුමාරි බුලංකුලම පැවසීය.

“මේ වගේ බංකොලොත් ආර්ථිකයක් තියෙන රටක දේශපාලනඥයන්ට විශේෂිත ප්‍රතිලාභ දීම සාධාරණ නැහැ. දේශපාලනඥයන් බලයේ සිටින කාලය තුළත් ලබාගන්නා වරප්‍රසාද සහ ප්‍රතිලාභ රටේ ආර්ථිකයට විශාල බරක්. ඒ නිසා මේ ප්‍රතිලාභ අඩු කරල රටේ ආර්ථිකය ගොඩනගන්න උත්සහ කළ යුතුයි.”

කෙසේ වෙතත් ඇය සඳහන් කළේ, අතීතයේ සිටි ජනාධිපතිවරුන්ට හිමි වූ වරප්‍රසාද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ද ලබාගැනීම “වැරැද්දක් ලෙස හුවා දැක්විය නොහැකි,” බවය.

බී.බී.සී. සිංහල වෙබ් අඩවිය ඇසුරිණි

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00