එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල විසින් ශ්‍රී ලංකාවේ වෙසෙන දරුවන් වෙනුවෙන් සපුරාලිය යුතු වගකීම් හයක් ඇතුළත් ප්‍රතිපත්ති ප්‍රකාශයක් පසුගියදා ප්‍රකාශයට පත් කළහ. මේ නිසා එළඹෙන ජනාධිපතිවරණය තුළින් පත්වන ඕනෑම ජනාධිපතිවරයකු විසින් මෙම ප්‍රතිපත්ති මාලාව පිළිබඳව වැඩි අවධානයක් යොමු වනු ඇතැයි ඔවුහු අපේක්ෂා කරති. කිසිදු දේශපලාන පක්ෂයකට, කිසිදු දේශපාලනඥයකු පක්ෂපාති නොවන පරිදි සියලුම අපේක්ෂකයන් වෙනුවෙන් පොදු ප්‍රතිපත්ති මාලාවක් ලෙස මෙය හැඳින්විය හැක.
1. ළමා මන්දපෝෂණය මුළුමනින්ම පිටුදැකීම
දරුවකුගේ ජීවිතය ගොඩනැංවීමේ මූලික අවශ්‍යතාවයක් වන පෝෂණය, සෞඛ්‍ය සම්පන්න හා ඵලදායි පුද්ගලයකු බවට පත්වීම පිණිස අවශ්‍ය අඩිතාලම වේ. එය දරුවන් වෙනුවෙන් කළහැකි අතිශය වැදගත් ආයෝජනයන්ගෙන් එකකි.
ලෝක සමීක්ෂණවලට අනුව ලොව දරුවන්ගේත් කෘෂ බව ගැටලුවක් ලෙස සැලකේ. පහළ හා මධ්‍යම ආදායම් ලබන රටවල් දහයට අයත්වන ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ නේපාලය, බංග්ලාදේශය හා ඇෆ්ගනිස්ථානයට වඩා පහළ ස්ථානයකි. ලොව කෘෂ බවෙහි ඉහළ ප්‍රවණතාවක් දක්වන රටවල් අතරින් මුල්තැන හිමිවන්නේ දකුණු සුඩානයටය. වයස අවුරුදු පහ නොඉක්ම වූ ශ්‍රී ලාංකික දරුවන්ගේ 15.1%ක් කෘෂබවින් පෙළෙන බව එක්සත් ජාතින්ගේ ළමා අරමුදල පෙන්වා දෙයි.
2. අනාගතය සඳහා අපගේ ළමා පරපුර සූදානම් කරවන්නට සමත් අධ්‍යාපන ක්‍රමයක් සැකසීම.
දකුණු ආසියාවේ අනිකුත් රටවල දරුවන්ට වඩා වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ලබන දරුවෝ පාසල තුළ ගතකරති. මෙහිදී නිදහස් අධ්‍යාපනය ලබාදීමට පමණක් නොව නිල ඇඳුම් හා පාසල් පොත් නොමිලේ ලබා දීම, රජයේ මුදලින් ශිෂ්‍යන්ට ප්‍රදානය කිරීම, මෙන්ම වෘත්තීය ගුරැවරැන් ලබාදීම මෙහිදී විශේෂිත වේ.
නමුත් වර්තමානයේදී ඉතා වේගයෙන් ලෝකය වෙනස් වන බව පෙනේ. මේ නිසාම මේ වේගයත් සමඟ ශ්‍රී ලාංකීය දරුවන් ඉදිරියට යාම ඉතා වැදගත් වේ. අනාගත අභියෝග ජයගැනීමට නම් දියුණු වන නවීන ලෝකයත් සමඟ ශ්‍රී ලංකික දරැවන් ද ඉදිරියට යා යුතුවේ. අනාගත අභියෝග ජයගැනීමේ හැකියාවෙන් යුත් වගකීම් සහගත පුරවැසියන්ද, නායකයන්ද ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය වේ. මේ නිසාම අධ්‍යාපන ක්‍රමය නව අවශ්‍යතාවලට සරිලන පරිදි අනුවර්තනය විය යුතුය.
අධ්‍යාපනය වෙනුවෙන් ශ්‍රී ලංකාව ප්‍රමාණවත් ආයෝජනයක් නොකරයි. ශ්‍රී ලංකාව අධ්‍යාපනය වෙනුවෙන් ආයෝජනය කරනු ලබන්නේ වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට දෙකක් පමණ වන අතර එයද රට තුළ සමානව බෙදී යන්නේ නැති බවද එක්සත් ජාතික ළමා අරමුදල පෙන්වා දේ.
5 ශ්‍රේණියේ සිට 9 වැනි ශ්‍රේණිය දක්වා දරුවන්ගෙන් සියයට එකොළහක් පාසල් හැර යති. සියයට විසිහතක් අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අසමත් වෙති. සියයට තිස්හතරක් පමණ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අසමත් වේ. මෙවැනි හේතු මත මීට වඩා දරුවන්ගේ අධ්‍යාපනය කෙරෙහි අවධානය ඉදිරියේ දී ජනාධිපති ධුරය ලබන පුද්ගලයා සැලකිලිමත් විය යුතු බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල නම් කළ ප්‍රතිපත්ති මාලාවේ සඳහන් වේ.
3. ළමා දරිද්‍රතාවය දුරලීම තුළින් සෑම දරුවකුටම සාර්ථකත්වය කරා ළඟා වීම සඳහා සමාන අවස්ථාවක් ලබාදෙන්න.
පසුගිය දශක කිහිපය තුළදී ශ්‍රී ලාංකික දරුවන්ගේ ජීවන තත්ත්වයත් සැලකිය යුතු පරිදි වැඩි දියුණුවත් දක්නට ඇත. නමුත් මේ ධනාත්මක වර්ධනය සෑම දරුවකුම එකසේ සමානව අත්විඳින්නට නොලැබීම කනගාටුවට කරුණකි. ශ්‍රී ලංකාවේ ජීවත් වන ඇතැම් දරුවන්ගේ ජීවන තත්ත්වය ජර්මනිය, ස්පාඤ්ඤය වැනි දරුවන් උසස් ජීවන තත්ත්වයක පැවතියද එකම රටේ ජීවත් වන ශ්‍රීලාංකික ඇතැම් දරුවන්ගේ ජීවන තත්ත්වය ගෙවෙන්නේ ඉතියෝපියාව වැනි අන්ත දුගී රටවල ජීවත් වන දරුවන් පරිද්දෙනි.
එකම රටේ ජීවත් වන දරුවන් මෙසේ ඉහළ හා පහළ තත්ත්වයන්වලට මුහුණ දෙද්දී යාබද දිස්ත්‍රික්ක දෙකක ජීවත් වන දරැවන්ගේ ජීවන තත්ත්වයන් ද ඇතැම් විට හාත්පසින්ම වෙනස් වේ. උදාහරණයක් ලෙස ගත්විට මඩකලපුව දිස්ත්‍රික්කයේ 13.35%ක් ළමා දරිද්‍රතාවයෙන් පෙළෙනා අතර අම්පාර දිස්ත්‍රික්කයේ එම අගය වන්නේ 2.53%කි. ඉහළම ළමා දරිද්‍රතා අනුපාතය 23%ක් කිලිනොච්චි දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එය ලාඕසයේ ළමා දරිද්‍රතාව හා සමවේ. සෑම දරුවන් හතර දෙනෙකුගෙන්ම එක් දරුවෙක් ආසන්න වශයෙන් දරිද්‍රතාවයෙන් පෙළේ.
දරැවන් ජීවත් වන ප්‍රදේශයේ සහ ඔවුන් අයත් පවුලේ ආදායම ඔවුන් ලබන අධ්‍යාපනයේ ගුණාත්මතභාවය බොහෝ දුරට තීරණය කරයි. නාගරික දරුවන්ගෙන් ඇති බහුතරයෙන් පෙර පාසල් අධ්‍යාපනය ලබන අතර ග්‍රාමීය මෙන්ම වතු ප්‍රදේශවල ජීවත් වන දරුවන් එයට සාපෙක්ෂව අඩු ප්‍රවණතාවයක් පෙන්නුම් කරයි.
වයස අවුරුදු 3-4 අතර දරුවන්ගෙන් දස දෙනකුගෙන් හතර දෙනකු පෙර පාසල් අධ්‍යාපනය හෝ පූර්ව අධ්‍යාපන සංවර්ධන මධ්‍යස්ථානයකට සම්බන්ධ නොමැති බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පෙන්වා දෙයි.
මේ නිසා ඉදිරියේදී ජනාධිපතිධූරයට පත්වන ජනාධිපති විසින් ලංකාවේ ජීවත් වන දරුවන් පෙළෙන දරිද්‍රතාවය පිළිබඳව මීට වඩා සැලකිලිමත් විය යුතු බව පෙන්වා දෙයි.
3. දරුවන්ට හානිකර කායික දඬුවම් පැමිණිවිට තහනම් කරලීම.
දරුවකුගේ මොළයේ වර්ධනයට හා මුළු ජීවිත කාලයටම සුව නොවන මානසික ආබාධයන්ට ලක්වීමට දරුවන් මුහුණ දෙන කායික හා මානසික කම්පනය ඉතා ප්‍රබලව හේතුවේ. දරුවන්ට නිවසේදී හෝ පාසලේදී මානසිකව හෝ ශාරීරිකව සිදුවන දඬුවම් හෝ කම්පනයන් හේතුවෙන් බොහෝ විට දරුවා මානසික රෝගීයකු බවට පත්විය හැක. විශේෂයෙන් දරුවන් ඉදිරියේ වැඩිහිටියන් සහසිකවීම තුළින් දරුවා තුළින් වැඩිහිටියන්ට ගෞරවය නැතිව යතී.
වර්තමානයේදී දරුවන්ට මානසික හෝ කායිකව දඬුවම් ලබා දුන් අවස්ථා ඕන තරම් වාර්තා වුවද ඒ සම්බන්ධව සාර්ථක නිවැරදි පියවරයක් ගෙන නෛතික තහනමක් මෙතෙක් පැනවී නැහැ. ඒ සඳහා පවතින ප්‍රතිපත්තිය බලගැන්වෙන්නේ දුබල ආකාරයෙනි.
ගාල්ල, පොළොන්නරුව, මඩකලපුව සහ කොළඹ දිස්ත්‍රික්කවල කරන ලද අධ්‍යයනයකින් හෙළිවී ඇත්තේ මව්පියන්ගෙන් සියයට හැත්තෑහතරක් කුමන හෝ ආකාරයක කායික දඬුවම් පැමිණිවීම් අනුගමනය කරන බව වාර්තා වේ.
4. දරුවන්ගෙන් ආරම්භ කර සැමට සාමයෙන් ජීවත් විය හැකි ශ්‍රී ලංකාවක් නිර්මාණය කරලීම.
සමෘද්ධිමත් හා ස්ථාවර රටක පදනම වන්නේ සාමය හා සහජීවනයයි. තවමත් ශ්‍රී ලංකාවේ ජනවාර්ගික හා ආගමික පදනම මත පාසල් වෙන වෙනම ක්‍රියාත්මක වෙමින් පවතී.
මේ තත්ත්වය වෙනස් කරලීමට වස් ශ්‍රී ලාංකාවාසී විවිධ වාර්ගීකරණයන් අතර අනෝන්‍යය අවබෝධය ඇතිවිය යුතු බව ප්‍රවර්ධනය කිරීම සහ එය සමස්ත අධ්‍යාපන පද්ධතියටම අදාළ ප්‍රධාන මඟ පෙන්වීම් ප්‍රතිපත්තියක් බවට පත් කරලීමත් විවිධාකාර පසුබිම් සහිත ශ්‍රී ලාංකික දරුවන් එක්ව අධ්‍යාපනය ලැබිය හැකි ඒකාබද්ධ පාසල් ප්‍රවර්ධනය කරවීමත් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වේ.
5. දේශගුණ විපර්යාසයන්ට එරෙහිව පියවර ගනිමින් එහි බලපෑම් සඳහා ශ්‍රී ලංකාව සූදානම් කරවීම.
දැඩි දේශගුණික තත්ත්වයන් හේතුවෙන් වඩාත්ම ශාරීරික පීඩනයන්ට ගොඳුරැ වන්නේ දරුවන්ය. මේ දේශගුණික තත්ත්වයන් මගින් දරුවන්ගේ අධ්‍යාපනය මානසික අසහනය ඇතිවේ. උෂ්ණත්වය දැඩි වන විටදී ද දරැවන් විවිධ රෝගාබාධවලට මුහුණ දෙයි.
මේ නිසාම දේශගුණික විපර්යාස අවම කරලීම උදෙසා විපර්යාසයන්ට සාරවත් පරිසර පද්ධතියක් නිර්මාණය කිරීම ඉතා වැදගත් වේ.
වනාන්තර, තෙත්බිම් සහ විශාල ප්‍රමාණයක් කාබන් අවශෝෂණය කරගන්නා අනෙකුත් පරිසර පද්ධති නැවත වගා කිරීම, සංරක්ෂණය කිරීම, ශ්‍රී ලංකාවේ වන ගහණය සියයට දහයකින් ඉහළ නැංවීම, රජයේ සියලු අමාත්‍යාංශ ඉදිරියේදී ක්‍රියාත්මක කරන සෑම ව්‍යාපෘති සහ වැඩසටහන් මඟින් පරිසරයට සිදුවන හානි වළක්වා දේශගුණ විපර්යාස හානි අවම කිරීම ඉදිරියේදී ජනපති ධූරයට පත්වන ජනපතිගේ වගකීමක් බවද එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පෙන්වා දෙති.
► දිශානි ජයමාලී කරුණාරත්න