කල්පිටිය වෙරළ තීරයේ සිට කිලෝමීටර 12ක් පමණ දුරින් පිහිටා ඇති කොරල්පර අභය භූමිය විනාශයට යමින් පවතින බව මීට පෙර අවස්ථා කිහිපයකදී වාර්තා කළේය. මෙම කොරල්පරය ආරක්ෂා කිරීමට ක්‍රියාමාර්ග ගන්නා බවට අදාළ බලධාරීන් අවස්ථා කිහිපයකදීම පැවසුවත් මෙතෙක් ඒ සඳහා නිසි වැඩපිළිවෙළක් සකස් වී නැත. අලංකාරවත් ලෙස වැඩී ඇති කොරල්පරය නැරඹීමට එන සංචාරකයන් ඒ මත නැග එහා මෙහා ගමන් කිරීමත්, තහනම් පන්න ධීවර පන්න ක්‍රියාත්මක කර මසුන් මැරීම නිසාවෙනුත් කොරල්පරය විනාශ වෙමින් පවතී.
හිරිගල් පරිසර පද්ධතීන්ගේ ව්‍යාප්තිය වර්ග කිලෝමීටර් 600,000ක පමණ ලෝකය පුරා පවතින බව සොයාගෙන තිබෙන අතර ලොව පුරාම කොරල්පර විනාශ වීමේ දැඩි තර්ජනයකට ලක්‌ව තිබෙන බවද වාර්තාගතය. හිරිගල් යනුවෙන් හඳුන්වන්නේ ඉතා කුඩා සතුන් සමූහයකගේ සැකිලි එකතුවීමෙන් සෑදුන ලද්දකි. පොලිප් යන නමින් හඳුන්වන මෙම කුඩා ජීවියා විසින් තමාගේ ශරීරයට පිටින් සැකිල්ලක් නිර්මාණය කර ගන්නා අතර, මෙවැනි සතුන් දහස් ගණනක් නිර්මාණය කරන සැකිලි අපි කොරල් නමින් හඳුන්වමු.
වර්තමානය වනවිට ලොව පුරාම කොරල්පර විනාශ වීමේ දැඩි අවදානමක් පවතින බව වාර්තා වේ. ලෝක ප්‍රජාව විසින් මෙම තත්ත්වය පිළිබඳව අවධානය යොමුකර 1997 වර්ෂය ජාත්‍යන්තර කොරල් වර්ෂය ලෙස නම් කරන ලදී. කොරල් පරිසර පද්ධතිය මුහුණපා තිබෙන දරුණු අර්බුදයට ආරක්‍ෂාව සැපයීම වෙනුවෙන් ලෝක ප්‍රජාව තුළ දැනුම්වත්භාවයක් ඇති කිරීම එහි මූලික අරමුණ වී ඇත.
ශ්‍රී ලංකාවේ කොරල් සම්පත වර්තමානය වනවිට බරපතළ අභියෝගයන් රැසකට මුහුණ දී ඇත. ලංකාවේ කොරල් පරිසර පද්ධතීන්ගේ විනාශය සඳහා ස්‌වාභාවික මෙන්ම මිනිස් ක්‍රියාකාරකම්ද බෙහෙවින් බලපා ඇත. පාරිසරික වැදගත්කම පිළිබඳව නිසි අවබෝධයකින් තොරව කරනු ලබන ක්‍රියාවන් නිසා අද වනවිට කොරල් සම්පත බරපතළ තර්ජනයකට මුහුණපා තිබේ.
කොරල් සම්පත රැකගත හැකි ආකාරයේ නීති පද්ධතියක්‌ද අප සතුව පැවතියත් ඒ පිළිබඳව පවතින නොදැනුවත්භාවය මෙන්ම නීති රීති නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම වැනි හේතූන් රාශියක් මත නීතියේ පූර්ණ රැකවරණය කොරල් සම්පතට නොලැබී ඇත. අප රටේ කොරල් සම්පත් ආරක්‍ෂාව සඳහා පවතින ව්‍යවස්‌ථාපිත නීතිය පිළිබඳ විමසා බැලීම කාලෝචිතයැයි කතාබහට ලක්වී ඇති මාතෘකාවකි.
අංක 64 දරන පනතින් සංශෝධිත 1981 අංක 57 දරන වෙරළ සංරක්‍ෂණ පනත මේ සඳහා බලගැන්විය හැකිය. එම පනතේ 31 අ(1) වගන්තියට අනුව වෙරළ කලාපයක හිරිගල් එකතු කිරීම, හිරිගල් කැඩීම, ප්‍රවාහනය කිරීම, ළඟ තබාගැනීම, හිරිගල් පිරිසැකසුම් කරන පෝරණුවල සන්තකය දැරීම, බද්දට හෝ කුලියට දීම තහනම් කර තිබේ. කොරල් කැඩීමට යම් යන්ත්‍රයක් උපකරණයක් සන්තකයේ තබාගැනීම, භාණ්‌ඩයක් භාවිත කිරීම, හිරිගල් ප්‍රවාහනයට යම් වාහනයක්, යාත්‍රාවක්, බෝට්‌ටුවක් භාවිත කිරීමද නීතිවිරෝධී වේ. එම වගන්තියේ වැඩිදුරටත් සඳහන් වන්නේ අධ්‍යක්‍ෂවරයා දෙනු ලබන බලපත්‍රයක් මත විද්‍යාත්මක පර්යේෂණ සඳහා පමණක් හිරිගල් ඉවත් කිරීමට හැකි බවයි.
කොරල් සඳහා වඩාත් ශක්‌තිමත්වූත් පූර්ණවූත් ආරක්‍ෂාවක් හිමිවන්නේ වනසත්ත්ව හා වෘක්‍ෂලතා ආරක්‍ෂක ආඥ පනතට (469 වන අධිකාරිය) කළ 1993 අංක 49 දරන සංශෝධනයත් සමඟය. මෙයට අමතරව වනසත්ව හා වෘක්‍ෂලතා ආරක්‍ෂක ආඥ පනතට කළ 2009 අංක 22 දරන සංශෝධනයද මෙහිදී වඩා වැදගත් වේ. මෙම පනත මගින් ශ්‍රී ලංකාවේ හමුවන කොරල් ජීවියකු විනාශ කිරීම, හානි කිරීම නීතිවිරෝධී වේ. මෙතරම් නීතිපනත් තිබියදීත් මේ ආකාරයට කොරල්පරය විනාශ වන්නට ඉඩ දී බලධාරීන් නිහඬව සිටීම විස්මය දනවන්නකි. කොරල්පරය තුළ ජීවත්වන මත්ස්‍යයන් අල්ලා ගැනීම සඳහා මානව ක්‍රියාකාරකම් හේතුවෙන් විශාල විනාශයක් කොරල්පරයට සිදුවන බව පරිසරවේදීන් අවස්ථා කිහිපයකදී පෙන්වා දී ඇත.
කොරල්පරය විනාශ වෙමින් පවතින බවට විවිධ මාධ්‍යයන් ඔස්සේ වාර්තා කිරීමත් සමඟ නොයෙක් අවස්ථාවල බලධාරීන් ඒ පිළිබඳ සොයා බැලීමට පමණක් යාමට පුරුදු වී සිටිති.
වසර ගණනාවක් තිස්සේ ඒ ආකාරයට සොයා බැලීම් සිදුකළත් රටේ මුදල් නාස්ති වීමක් හැර සිදුවී ඇති යහපතක් නැත. පසුගිය සති අන්තයේ එවැනි සොයා බැලීමේ කටයුත්තක් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් කොරල්පර අභය භූමිය පිහිටි කල්පිටිය ප්‍රදේශයේ සංචාරයක නිරතවීය. එහිදී සිදුව ඇති විනාශය පිළිබඳව සියැසින් දැකගත් මන්ත්‍රී කණ්ඩායම ගන්නා තීරණය කුමක්ද යන්න පිළිබඳව පැහැදිලිව සටහන් කිරීමට නම් එය ආරක්ෂා කිරීමේ ක්‍රමවේදයක් සකස් කර මාධ්‍ය දැනුම්වත් කළ යුතුය. අතීතයේදී සිදුවූ ලෙස මෙම මන්ත්‍රී කණ්ඩායම සහ වගකිවයුතු නිලධාරීන් පිරිස කල්පිටිය කොරල්පර අභය භූමිය තුළ සිදුකළ ස්ථාන නිරීක්ෂණය මහජන මුදල් නාස්ති කිරීමක් පමණක්ද යන්න බලා සිටීමට සිදුවී ඇත.
වැසි ජලය මුහුදට එක්වීම වැනි ස්වභාවික ව්‍යසනයන් මෙන්ම ඉස්සන්, පොකිරිස්සන්, පතැගිල්ලන්, කොරල්බුවෝ හා විසිතුරු මසුන් ඇල්ලීම සඳහා කිමිදුන් ධීවරයන් ඒ තුළ සිටගැනීම ගල් කඩා විනාශ කිරීම, ඩයිනමයිට් ගැසීම, ගල් ආසන්නයේ දැල් එලීම, බෝට්ටු නැංගුරම්ලා තිබීම කොරල්පරය විනාශ වීමට හේතුවන හේතු සාධක වේ.
ඉස්සන්, පොකිරිස්සන්, පතැගිල්ලන් වැනි මත්ස්‍යයන් කොරල්පරයෙන් ඉවත් වූ පසු ඇල්ගී විශේෂ කොරල්පරය තුළ වර්ධනය වීමත් නිසා එහි ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන් ඇණහිට කොරල්පරය විනාශ වීම සිදුවේ. කල්පිටිය මුහුදු සීමාවේ අලංකාරය උත්පාදනය කරමින් සාගර පතුලේ සිට ඉහළට විහිදී විශාල පරාසයක පැතිර තිබේ. ස්වභාවික මුහුදු සම්පතක් වන කොරල්පරය විනාශ මුඛයට ලක්වී ඇති බව පරිසරවේදීහු පෙන්වා දෙති.
ත්‍රිකුණාමලය, ගාල්ල, හික්කඩුව වැනි ප්‍රදේශවලද කොරල්පරය ආරක්ෂා කිරීමට නිසි ක්‍රියාමාර්ගයක් නොමැති බවද පෙන්වා දෙන පරිසරවේදීන් පවසන්නේ එලෙස විනාශයට පත්වන කොරල්පරය නැවත යථා තත්ත්වයට පත්වීමට වසර ගණනාවක් ගතවන බවත් එයට යහපත් පරිසරයක් අවශ්‍ය වන බවත්ය.
විනාශ වන කොරල්පරය ආරක්ෂා කරගැනීම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම කොරල්පර පෙන්වා සංචාරකයන්ගෙන් යැපෙනා පිරිසගේද වගකීමකි. කොරල්පරය පිළිබඳ කළ ගවේෂණවලදී පැහැදිලි වන්නේ ඉදිරියේදී ඒ පිළිබඳ නිසි වැඩපිළිවෙළක් සිදු නොකළහොත් මතු ඉදිරි පරපුරට කල්පිටිය ප්‍රදේශයේ කොරල්පරය දැකගැනීමට හැකිවන්නේ ඡායාරූපයකින් පමණක් බවය. එවන් පසුබිමකදී මේ කොරල්පර රැකගැනීමේ ජාතික වගකීම උදෙසා බලධාරීන්ගේ අවධානය වඩාත් යොමුවිය යුතු බව කිව යුතුමය.
කතාව හා සේයාරූ - රෝවන් පෙරේරා පුත්තලම