2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා

විශේෂ ආර්ථික පොළට ගිය කල

 2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 173

වර්ෂ 1998 දී ගම්බඳ ප්‍රදේශවල ජීවත්වන ගොවීන්ගේත්, නිෂ්පාදකවරුන්ගේත් බෝග වගාවන් ඉතා ක්‍රමවත් පිළිවෙළක් යටතේ අලෙවි කිරීම උදෙසා රට පුරා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන බිහිවිය. වෙළෙඳ, අලෙවි සංවර්ධන, සමූපකාර සහ පාරිභෝගික අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන දඹුල්ල, මීගොඩ, රත්මලාන, වැලිසර, නාරහේන්පිට, පිළියන්දල ඇතුළු දිවයින පුරා මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතී.

මෙලෙස ශ්‍රී ලංකාව පුරා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන බිහිකිරීමේ පරමාර්ථ කිහිපයක් සඳහන් වේ. එනම් සුළු පරිමාණ නිෂ්පාදකයන්ගේ ප්‍රවාහන වියදම් සහ ප්‍රවාහනයේදී සිදුවන අපතේයාම් අවම කරගැනීමේ අවස්ථාව එම නිෂ්පාදකයන්ට ලබාදීම, ඉලක්ක ගත වෙළෙඳපොළක් සපයා දීමෙන් කෘෂිකාර්මික නිෂ්පාදකයන්ට ස්වකීය බෝග සඳහා සාධාරණ මිල ගණන් ලබාදීමට වගබලා ගැනීම, තොග වෙළඳුන්ට අතරමැදියන් නොමැතිව නිෂ්පාදකයන්ගෙන් අලුත් පළතුරැ සහ එළවළු මිලදී ගැනීමේ අවස්ථා ලබාදීම, ආහාර ද්‍රව්‍ය අඩු මිලකට ලබාගැනීමේ අවස්ථාව පාරිභෝගිකයන්ට ලබාදීම, තොග වෙළඳුන්ට තරගකාරී අලෙවි පරිසරයක් සැපයීම මගින් ව්‍යාපාරික ප්‍රජාව දිරිගැන්වීම සහ යම් යම් ප්‍රදේශවල විශේෂ වූ කෘෂිකාර්මික නිෂ්පාදන දිවයිනේ සියලුම ප්‍රදේශවල ජනතාවට බෙදාහැරීමේ අවස්ථාව සැලසීම ඒවා අතර වේ. 

කෙසේ වුවද විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන රට පුරා ආරම්භ වුණු මුල් කාලයේදී වෙළෙඳුන් අතර සහ පරිභෝගිකයන් අතර ඉතා උද්යෝගයක් පැවැතිය ද, විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන කරා ඇදෙන පාරිභෝගිකයන් සීඝ්‍ර ෙයන් වැඩිවුණද අද වනවිට ඒ තරම් පාරිභෝගිකයින්ගේ උනන්දුව දක්නට නැත.

විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන ආරම්භ කළ කාලයේදී පැමිණි පාරිභෝගිකයන්ට වඩා අද ආර්ථික මධ්‍යස්ථානයට එන පාරිභෝගිකයන්ගේ යම් අඩුවක් තියෙනවා. ඒකට ප්‍රධාන හේතුව වන්නේ යම් ආර්ථික මධ්‍යස්ථාන අවට සුපිරි වෙළෙඳසල් පැවැත්වෙනවා. ඒ නිසා ඇතැම් පාරිභෝගිකයන් නිෂ්පාදන මිලදී ගන්නේ එවැනි සුපිරි වෙළඳසල්වලින්. නමුත් නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙන පිරිසක් ඉන්නවා. විශේෂයෙන් සෑම සිකුරාදාවකම සෙනසුරාදා සහ ඉරිදා දිනවල බොහෝ පාරිභෝගිකයන් පිරිසක් අපගේ නාරහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට එනවා සෑම දිනකම සවස තුනහමාර සිට රාත්‍රිය කාලය පුරාවට අපගේ ආර්ථික මධ්‍යස්ථානය විවෘතයි. හැබැයි මෑත කාලේදී සිට නැවතත් අපගේ ආර්ථික මධ්‍යස්ථානයට පාරිභෝගිකයන් එන්න පටන් ගෙන තියෙනවා.

නාරහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරැ වූ ලසන්ත සංජීව මහතා දේශයට පැවසීය. 

නාරහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය තුළ රථ වාහන බොහෝමයක් නැවැත්වීමේ ඉඩකඩ පහසුකම පවතී. ආර්ථික මධ්‍යස්ථාන කරා පාරිභෝගිකයන්ගේ පැමිණීම එයද හේතුවකි. වර්තමානය වනවිට බොහෝ වෙනත් වෙළඳ සැල්වල එවැනි රථ වාහන නැවැත්වීමේ පහසුකම් අඩුකම නිසාම ආර්ථික මධ්‍යස්ථාන කරා ඇදී යන පාරිභෝගිකයන් පිරිස වැඩිවේ. විශේෂයෙන් රැකියා නිමකර නිවස බලා යන පාරිභෝගිකයන් වැඩි වශයෙන් ආර්ථික මධ්‍යස්ථාන කරා යාම දක්නට ලැබුණි.

රැකියාව ඉවරවෙලා ගෙදර යන ගමන් සතියකට වතාවක් අපි ආර්ථිකේට ඇවිත් බඩු අරගෙන යනවා. නැවුම් එළවළු සහ පළතුරු තියෙන නිසා තෝරලා බේරලා ගන්න පුළුවන්. ඒ වගේම වාහනය නතර කරලා තියන්නත් ඉඩ තියනවනේ. ඒ නිසා අපි ගොඩාක් වෙලාවට හාල්, එළවළු බඩු ගන්නේ මේ ආර්ථික මධ්‍යස්ථානයෙන් තමයි.

යැයි පිළියන්දල (බෝකුන්දර) ආර්ථික මධ්‍යස්ථානයට පැමිණි එලීනා මහත්මිය දේශයට පැවසීය.

ඇතැමුන්ගේ මතය එසේ වුවද තවත් සමහරැ ආර්ථික මධ්‍යස්ථානවලට නොගොස් සතියේ දිනවල විවිධ පළාත්වල පවතින පොළවල්වලින් තම අවශ්‍යතාවයන් මිලදී ගනිති. සුපිරි වෙළඳසල්වල බොහෝම සාමාන්‍ය පරිදි එදිනෙදා දක්නට ලැබෙන එළවළු, පළතුරැ පමණක් තිබුණද මෙවැනි විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන තුළදී යම් ප්‍රදේශවලට පමණක් සීමා වුණ බොහෝ දෙනාට මිලදී ගැනීමට අපහසු එළවළු හා පළතුරැ පවා මිලදී ගැනීමේ හැකියාව පවතී. විශේෂයෙන් කොළඹ සුපිරි වෙළඳසල්වලින් මිලදී ගත නොහැකි දන්දිල, හුළංකීරිය, ගලන්ගලා ආදී බොහෝ එළවළු හා අල වර්ග මෙවැනි ආර්ථික මධ්‍යස්ථානවලින් මිලදී ගැනීමට හැකිවීම සුවිශේෂී කමකි.

නමුත් අද වනවිට ආර්ථික මධ්‍යස්ථාන මුහුණ දෙන්නේ එතරම් සුභ කාලයක් නොවේ. ආර්ථික මධ්‍යස්ථාන ආරම්භයේදී පැමිණි පාරිභෝගිකයන්ගේ අඩුවීමක් අද වනවිට දක්නට ඇත.

අපි නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානය පටන් ගත්තු දවසේ ඉඳන් මෙතන වෙළඳාම් කරනවා. ඒකාලේ අපේ වෙළඳ සැළේ සේවකයෝ කිහිපදෙනෙක් සේවය කළා. සති අග දවසේ කුලී පදනම මත තවත් සේවකයෝ කිහිප දෙනෙක්ම එකතු කරගත්තා. ඒ තරමට සති අග ආර්ථික මධ්‍යස්ථානයට සෙනඟ ආවා. හැබැයි දැන් එහෙම නැහැ. අද අපි වෙළඳාම් කරන්නේ හරිම අමාරැවෙන්. වැඩ කරන්නේත් දෙන්නයි. සති අගනම් සෙනඟ ටිකක් එනවා. ඒත් අර ඒ කාලේ වගේ නෙමේ. බොහෝ දෙනා ඔය සුපිරි වෙළඳ සැල්වලට යනවා. අද අපි බිස්නස් කරන්නේ හරිම අමාරුවෙන්. 

යැයි නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සැළකදී අපට මුණගැසුණු ඉර්ෆාන් පැවසීය.

මේ වෙළඳ සැල ආර්ථික මධ්‍යස්ථානය පටන් ගන්නකොට අපිම තමයි අරගෙන කළේ. හොඳට බිස්නස් තිබුණා. පුදුම සෙනගක් ආවේ. දානවලට, විවාහ උත්සවවලට තොග පිටින් අපේ නිෂ්පාදන ඒ අය අරගෙන ගියේ. හොඳ බිස්නස් එකක් තිබුණා. ඊට පස්සේ අපේ අවුරැදු ගාණක් මේ වෙළඳසැල කුලියට දුන්නා. වසර කිහිපයකට පස්සේ මේ වසරේදී තමයි ආයෙත් අපි වෙළඳසැල පටන් අරගෙන මේ කරගෙන යන්නේ. සෙනග එනවා. විශේෂයෙන් සෙනසුරාදා, ඉරිදා රාත්‍රී කාලයේදී සෙනගත් එනවා. හැබැයි ආර්ථික මධ්‍යස්ථාන පටන්ගත්තු මුල් කාලේදී වගේ බිස්නස් එකක් අද නැහැ. සාමාන්‍ය විදිහට අපි බිස්නස් එක කරගෙන යනවා.

විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ කුළුබඩු අලෙවි සැළක් පවත්වාගෙන යන කඩ හිමිකාරියක් දේශයට පැවසුවාය.

ආර්ථික මධ්‍යස්ථානයේ හාල්, පොල්, එළවළු, පළතුරැ, කුළුබඩු පමණක්ම නොව ආහාරපාන පිළියල කරනා හෝටල් කිහිපයක්ද පිහිටා ඇත. 

අපේ හෝටලයට මේ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳුන් පමණක් නොවේ. පාරිභෝගිකයන් පවා එනවා. රාත්‍රී කාලයේදී බිස්නස් වැඩියි. ඉස්සර මේස පුටු දාලා ඉඩ පහසුකම් තියෙන නිසා ආහාරපාන මෙතැන ඉඳලත් කට්ටිය රස විඳිනවා. හැබැයි ආර්ථික මධ්‍යස්ථාන ආරම්භයේදී පැමිණි සෙනඟට වඩා අද එන්නේ හරිම අඩුවෙන්. මේ දවස්වල ගෑස් ප්‍රශ්නය නිසාත් ආහාරපාන සකසන සමහර කඩ වහලා දාලා. ඇත්තටම මේ දවස්වල අපි කඩේ කරන්නේ හරිම අමාරැවෙන්. සෙනසුරාදා ඉරිදා නම් බඩු ගන්න මිනිස්සු එනවා. හැබැයි ඒ ආපු ගමන් බඩු අරගෙන වාහනවල නැගලා යනවා.

යැයි ප්‍රියන්ත දේශයට පැවසීය.

කෙසේ වුවද සමස්තයක් ලෙස ගත්කල විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන ආරම්භ කළ මුල්කාලයේදී පැමිණි පාරිභෝගික පිරිසට වඩා අඩු පාරිභෝගික පිරිසක් මෙම ආර්ථික මධ්‍යස්ථානවලින් වාර්තා වේ. එයට ප්‍රධාන හේතුව ලෙස බොහෝ දෙනා. පවසන්නේ සුපිරි වෙළෙඳසල් නගරයක් නගරයක් පාසා ව්‍යාප්ත වීමය. නමුත් සුපිරි වෙළෙඳසල්වල දින ගණන් ඇති බෝගයන්වලට වඩා නැවුම් එළවළු සහ පළතුරැ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානවලනින් මිලදී ගත හැකිබව අමතක නොකළ යුතුය. එලෙසින්ම පිට පළාත්වලින් අතරමැදියන් නොමැතිව තොග වෙළඳුන්ට ගොවීන්ගෙන්ම නිෂ්පාදන මිලදී ගතහැකි බැවින් ආර්ථික මධ්‍යස්ථානවල ඇති නිෂ්පාදනවල මිල ගණන්වලද යම් සාධාරණයක් ඇත.

 දිශානි ජයමාලි කරුණාරත්න
      සේයාරූප - සුමුදු හේවාපතිරණ 

 

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00