නොවැම්බර් 16 දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට සමගාමීව මේ දිනවල තවත් උණුසුම් මාතෘකාවක් බවට පත්ව ඇත්තේ ඉදිරියේ අත්සන් කිරීමට නියමිත මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමය. මෙම ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 480ක මුදලක් හිමිවීමට නියමිත යැයි රජය ප්‍රකාශ කර තිබේ. මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම යටතේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට ඇති ප්‍රධාන බාධක ලෙස පවතින ප්‍රවාහන ක්ෂේත්‍රයේ සහ ඉඩම් පරිපාලන ක්‍රියාවලියේ දුර්වලතා හඳුනාගනිමින් ඒ සදහා ව්‍යාපෘතින් කිහිපයක් යෝජනා කර තිබේ. කොළඹ අවට රථ වාහන කළමනාකරණය, දිවයින පුරා නව මාර්ග නිර්මාණය, සංවර්ධනය සහ මුළු දිවයින ආවරණය වන පරිදි ඉඩම් පරිපාලන කටයුතු සිදුකිරීමට නියමිතය. සමස්ත ප්‍රදානයෙන් ප්‍රවාහන ව්‍යාපෘති සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 350 ක් වෙන්කෙරෙන අතර ඉඩම් ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 67 ක් වෙන් කෙරේ. ඒ අනුව විද්‍යුත් ඉඩම් ලියාපදිංචි කාර්යාලයක් පිහිටුවා දැනට ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලවල තිබෙන සියලු ඔප්පු විද්‍යුත් ක්‍රමයට සුරක්ෂිත කර ඒ සදහා නීතිමය පිළිගැනීමක් ලබාදීමට ද නියමිතය. එමෙන්ම රජයට අයත් ඉඩම් බදු පදනම යටතේ ලබාදී ඉන් ආදායම් ලබාගැනීම මේ ගිවිසුම යටතේ සිදු වේ.
මෙම ව්‍යාපෘතිය සඳහා මේ වන විට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇති අතර මුදල් ඇමැති මංගල සමරවීර විසින් නුදුරු දිනයක එම ගිවිසුමට අත්සන් තැබීමට නියමිතය. එහෙත් ජනාධිපතිවරණයක් පැවැත්වෙන සමයක මෙවැනි ගිවිසුමක් අත්සන් කිරීම සම්බන්ධයෙන් සිය විරෝධය පළ කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නොවැම්බර් 16 වැනි දිනට පෙර මෙම ගිවිසුමට අත්සන් නොතබන ලෙසට මුදල් ඇමැතිවරයාට දන්වා තිබේ.
මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමට එරෙහිව විරුද්ධ පක්ෂ සහ විවිධ සංවිධාන විශාල විරෝධයක් පාමින් සිටියි. ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් ඉදිරිපත් වී ඇති අතර විවිධ විරෝධතා ව්‍යාපාර ද පැවැත්වේ. ගිවිසුම හකුලා ගන්නා තෙක් මාරාන්තික උපවාසයක නිරත වන බව පවසමින් උඩුදුම්බර කාශ්‍යප හිමියෝ පසුගිය 5 දින නිදහස් චතුරශ්‍රයේ උපවාසයක්ද ආරම්භ කළහ. එය පසුව නවතා දමනු ලැබීය. මේ සම්බන්ධයෙන් විරැද්ධ පක්ෂයේ මතය වී ඇත්තේ මෙම ගිවිසුම තුළින් අමෙරිකා එක්සත් ජනපදය තමන්ට අවශ්‍ය පරිදි ශ්‍රී ලංකාවේ දේශපාලනය හා ආර්ථිකය හසුරුවා ගැනීමට අවශ්‍ය මාර්ගය සකසා ගන්නා බවටය. කොළඹ වරායේ සිට ත්‍රිකුණාමලය වරාය තෙක් දිවෙන කලාපයක ඉඩම් අක්කර ලක්ෂ 12 ක් විශේෂ ආර්ථික කලාපයක් ලෙස නම් කෙරෙන බවට ප්‍රකාශ වුවද අමෙරිකා එක්සත් ජනපදයට පවරා දෙන ඉඩම් ප්‍රමාණය එම ප්‍රමාණයට වඩා වැඩි යැයි ඔවුහු ප්‍රකාශ කරති. එය මෙරට ඉඩම් ප්‍රමාණයෙන් 18.2% හෙවත් අක්කර 29,65,264 ක් බවත් එම අක්කර ප්‍රමාණය සඳහා අමෙරිකාවෙන් ලැබෙන්නේ රුපියල් බිලියන 85 ක් බවත් ඒ අනුව ඉඩම් අක්කරයක් ඔවුනට ලබා දෙන්නේ රුපියල් 180 සත 10 ක් වැනි සුළු මුදලකට බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ප්‍රකාශ කරයි. මෙම ගිවිසුමේ භයානකම තත්ත්වය වන්නේ දින 30කට පෙර දැනුම් දීමෙන් ගිවිසුමෙන් ඉවත් වීමට මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ආයතනයට හැකි වුවද ශ්‍රී ලංකා රජයට ඉන් ඉවත් වීමට නොහැකි වීම යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
මෙකී ගිවිසුමේ අන්තර්ගතය කුමක්දැයි රටේ ජනතාව තබා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වත් නොදන්නා හෙයින් එය අත්සන් කිරීමට පෙර එහි පිටපත ජනතාවගේ දැනගැනීම සඳහා ප්‍රසිද්ධියට පත් කළ යුතු බවත් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විවාදයට ලක් කළ යුතු බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් මගින් ප්‍රකාශ කර තිබේ. “යෝජිත ගිවිසුම මහාමාර්ග සංවර්ධනයට හා ඉඩම් ප්‍රතිසංස්කරණයට අදාළ එකක් යැයි සඳහන් වුවද ඉන් හරියටම සිදුවන්නේ කුමක්ද යන්න ආණ්ඩුව ජනතාවට පැහැදිලි කර නොමැත. මෙයින් ශ්‍රී ලංකාවට සෙතක් සැලසෙන්නේ නම්, මේ සම්බන්ධයෙන් මෙතරම් රහස්‍ය බවක් පවත්වාගෙන යන්නේ කුමටද යන්න පිළිබඳව තමන්ට සාධාරණ සැකයක් ඇතැයි” ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධයෙන් විරුද්ධ පක්ෂ අසත්‍ය ප්‍රචාර කරමින් ජනතාව බියට පත් කරන බවට ඇමැති පාඨලී චම්පික රණවක චෝදනා කරයි. “මෙය ණයක් නොවෙයි. ආපසු නොගන්නා ප්‍රදානයක්. මෙම කාර්යය ක්‍රියාවට නැංවෙන විට ශ්‍රී ලංකා රජය අනෙකුත් අනුෂාංගික වැය දරන්න බැඳී සිටිනවා. ඍජු හෝ අර්ධ වශයෙන් හෝ යුදමය කාර්යයන් සඳහා මෙම ප්‍රදානය භාවිත කළ නොහැකි යැයි” ඔහු ප්‍රකාශ කරයි.
ජනාධිපතිවරණයක් පැවැත්වෙන අවස්ථාවක ජනතාව මුලා නොකර මෙම ගිවිසුමෙන් රටට හෝ ජනතාවට හානියක් වේ නම් ඒ පිළිබඳව කරුණු හෙළිකරන ලෙස විපක්ෂ නායක ඇතුළු පොදු පෙරමුණේ නායකයන් වෙත මුදල් අමාත්‍ය මංගල සමරවීර අභියෝග කර තිබේ. මෙම ගිවිසුම අත්සන් කිරීමෙන් පසු බලාත්මක වීමට පෙර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පසුගිය 31 වැනිදා ප්‍රකාශ කළේය. එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර රජයේ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරන බවද එම නිවේදනයේ සඳහන් වේ.
ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආධාර ප්‍රදාන ගිවිසුමට ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ සහයෝගය ඇති බව සහතික කර ගැනීම සඳහා පාර්ලිමේන්තු අනුමැතිය අවශ්‍ය වන බවටය. අත්සන් කරන ගිවිසුම පාර්ලිමේන්තුවට යොමු කිරීමෙන් පසු එය සමාලෝචනය කිරීමට පාර්ලිමේන්තුවට ප්‍රමාණවත් අවස්ථාවක් හිමිවන බව ද ඔවුන් එමගින් ප්‍රකාශ කර තිබේ.
පසුගිය නොවැම්බර් 5 දින ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති කාලිංග ඉන්ද්‍රතිස්ස මහතාගේ අත්සනින් යුතුව පුවත්පත් නිවේදනයක් නිකුත් කෙරිණි. එහි සඳහන් වූයේ මුදල් අමාත්‍යාංශය නොවැම්බර් 5 වැනි දින මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීමේ සූදානමක් පවතින බවට තමන්ට තොරතුරු ලැබී ඇති බවටය. එහෙත් මෙම ගිවිසුමට අත්සන් කිරීමේ නීතිමය බලයක් මුදල් අමාත්‍යාංශයට නොමැති යැයි එම සංගමය සඳහන් කරයි. එහි වැඩිදුරටත් මෙලෙස දැක්වෙයි. “2019 අගෝස්තු මාසයේදී නීතිඥ සංගමය විසින් ගරු අග්‍රාමාත්‍යවරයාට පැහැදිලි කළ පරිදි, සරල ණයක් හෝ ප්‍රදානයක් ඉක්මවා යන ඉඩම් හා අධිකරණ බලය සම්බන්ධ බොහෝ වගන්ති යෝජිත ගිවිසුමේ අන්තර්ගතය. මේවා පැහැදිලිවම මුදල් අමාත්‍යාංශයේ විෂය පථය ඉක්මවා පවතින කරුණු වන බැවින් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම පිළිබඳ කටයුතු කිරීම සඳහා මුදල් අමාත්‍යවරයාට බලය පැවරීමට කැබිනට් මණ්ඩලයට නොහැකිය. ජාතියේ ස්වෛරීභාවයට බරපතළ බලපෑමක් ඇති කරන එවැනි තීරණවලට එළඹීමේදී සාමූහික වගකීම සහ විෂයයන් ව්‍යවස්ථානුකූලව පැවරීම වැනි පාලනයේ මූලික සංකල්ප කිසිසේත් නොසැලකීම අවාසනාවකි. මුදල් අමාත්‍යාංශයේ එවැනි ක්‍රියාමාර්ගයකට නීතිඥ සංගමය දැඩි ලෙස විරුද්ධ වන අතර නීති ක්ෂේත්‍රයේ නිරීක්ෂණ සැලකිල්ලට නොගෙන මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් නොකරන බවට 2019 ජූලි/ අගෝස්තු මාසවලදී ගරු අගමැතිවරයා අප වෙත ලබා දුන් ප්‍රතිඥාව සිහිපත් කරමු.
ගිවිසුම අත්සන් කිරීමෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට වගකිව යුතු තනතුරු දරන ඇතැම් පුද්ගලයන් කරන ප්‍රකාශ නොමග යවන සුළුය. ගිවිසුම අත්සන් කිරීමෙන් පසු එය බලාත්මක වන බැවින් එවැනි ක්‍රියාමාර්ග අර්ථ විරහිතය. මෙරට ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වන ගරු අගමැතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ ප්‍රමාණවත් සාකච්ඡාවක් සිදු නොවන්නේ නම් මෙම ගිවිසුම අත්සන් කිරීමෙන් වළකින ලෙසටය. ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර අත්සන් කළහොත් එය වහාම ක්‍රියාත්මක වන බව මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනයට සහ එක්සත් ජනපද රජයට වහාම දැනුම් දෙන ලෙස තමන් ජනාධිපතිවරයාගෙන් ද ඉල්ලා සිටින්නේ යැයි” එම මාධ්‍ය ප්‍රකාශනයේ සඳහන්ය.
කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා පීඨයේ මහාචාර්ය සිරිමල් අබේරත්න පවසන්නේ ගිවිසුමේ රටට අහිතකර කිසිවක් සඳහන් නොවන බවය. “මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් යනු ආධාර දෙන අමෙරිකානු ආයතනයක්. මෙම ආයතනයෙන් ව්‍යාපෘති දෙකක් සඳහා ආධාර ලබාගැනීමට ශ්‍රී ලංකා රජය 2016 දී ඉල්ලුම් කර තිබෙනවා. එය 2019 දී අනුමත වුණා. ආධාරය ලබාගැනීම සඳහා ගිවිසුමක් අත්සන් කළ යුතුයි. එම ගිවිසුම අත්සන් කිරීම සඳහා පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය හිමි වුණා. ප්‍රවාහන හා ඉඩම් ව්‍යාපෘති ලෙස නම් කර ඇති මෙම ව්‍යාපෘති දෙකෙන් ප්‍රවාහන ව්‍යාපෘතිය යටතේ කොළඹ හා තදාසන්න ප්‍රදේශයන්හි පොදු (බස් රථ) ප්‍රවාහන ක්‍රමය සහ ඊට අදාළ මාර්ග පද්ධතිය හා යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, නවීන ට්‍රැෆික් ක්‍රමවේදයක් හඳුන්වාදීම යන කටයුතු ද, දෙවැනි ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාවේ ඇති සියලු ඉඩම් පරිගණක ගත කිරීමේ කටයුතු ද සිදු කිරීමට නියමිතයි. මේ යටතේ ඉඩම් ඔප්පු පරිගණක ගතකිරීම සහ රජයේ ඉඩම් පිළිබඳ ලේඛනයක් සකස් කිරීම සිදුකෙරෙනවා. ප්‍රවාහන ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 350ක්ද ඉඩම් ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 67ක්ද වැය කෙරෙන අතර ඉතිරි මුදල පරිපාලන වියදම් සඳහා යොදා ගැනෙනවා. මෙම ව්‍යාපෘති දෙක සම්පූර්ණ කිරීම සඳහා වසර 5ක කාලයක් ගතවන බව සඳහන්.
මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ප්‍රදානය ලොව රටවල් 35කට පමණ ලබා දී තිබෙන අතර ආසියාවේ පිලිපීනය, ඉන්දුනීසියාව, මොංගෝලියාව සහ නේපාලය වැනි රටවලට මින් ඉහත හිමි වී තිබෙනවා. මෙය විවිධ රටවල සංවර්ධන කාර්යයන් සඳහා ලබාදෙන ප්‍රදානයක්. මෙම ව්‍යාපෘති දෙක ක්‍රියාවට නැංවීම සමාජමය හා සංවර්ධනය වශයෙන් ඉතා වැදගත්” යැයි මහාචාර්යවරයා සඳහන් කරයි.
ගිවිසුමට විරෝධය දක්වන පිරිසගේ මතය වී ඇත්තේ එමගින් ඉඩම් අත්පත් කර ගන්නා බවත්, කොළඹ සිට ත්‍රිකුණාමලයට ආර්ථික කොරිඩෝවක් නිර්මාණය කෙරෙන බවටත් එමගින් රට දෙකඩ වීමේ අවදානම් ඇති බවට හා අමෙරිකානු හමුදාව මෙරට නීතියට වග නොකියන තත්ත්වයක් ඇති වන බවටය. මේ සම්බන්ධයෙන් මහචාර්ය අබේරත්න පවසන්නේ එවැන්නක් පිළිබඳව මෙම ගිවිසුමේ කිසිවක් සඳහන් නොවන බවයි.
“ජාතික භෞතික සැලසුම්කරණ දෙපාර්තමේන්තුව නමින් දෙපාර්තමේන්තුවක් තිබෙනවා. 2007 දී පමණ මෙම දෙපාර්තමේන්තුව 2010 – 2030 කාලය සඳහා භෞතික සැලැස්මක් හැදුවා. එම සැලසුමේ තිබෙනවා ලංකාවේ දියුණු කළ යුතු ප්‍රධාන මාර්ග මොනවාද කියා. එයට දුම්රිය මාර්ග, බස් මාර්ග හා අධිවේගී මාර්ග ද ඇතුළත්. එය ලංකාවේ ජනගහණය වැඩිවන ප්‍රදේශ (මෙට්‍රෝ රීජන්ස්) 5 ක් හඳුනාගෙන ඒවා දියුණු කිරීමේ සැලැස්මක්. එයට ත්‍රිකුණාමලයත් ඇතුළත්. මෙම මෙට්‍රෝ රීජන්ස් සියල්ල එකිනෙකට සම්බන්ධ කෙරෙන මාර්ග පද්ධතියක් නිර්මාණය කිරීමට එම සැලසුම මගින් යෝජනා කර තිබුණා. මෙම සැලැස්ම 2015 දී පමණ තවදුරටත් වැඩිදියුණු කළා. ඒ අනුව කොළඹ සිට ත්‍රිකුණාමලයට, යාපනයට නව මාර්ග සැලසුම් කර තිබෙනවා. එය ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘතියක් විනා මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම සමඟ සම්බන්ධයක් නැහැ. මිලේනියම් ගිවිසුමට විරෝධය පාන පිරිස් මේ දෙක පටලවාගෙන. ඔවුන් මාධ්‍ය හමුවේ ඉදිරිපත් කරන සිතියම මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට සම්බන්ධ එකක් නොවෙයි. එය 2007 හදපු භෞතික සැලැස්මේ සිතියමක්.” යැයි සඳහන් කළේය.
මේ අතර මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමටත් ජනාධිපතිවරණයෙන් පසු එයට අත්සන් තැබීමටත් රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා