අපේ වෙදකම්
වකුගඩු රෝගය
වර්තමානයේ සමාජයීය වශයෙන් බරපතළ ප්‍රශ්නයක් බවට පත්වී ඇති වකුගඩු රෝගය මේ වනවිට උතුරුමැද පළාතේ ප්‍රබලම සෞඛ්‍ය ගැටලුව බවටද පත්වී ඇත. ගතවූ වසර කිහිපය පුරාවටම මෙම රෝගය හේතුවෙන් වටිනා ජීවිත රැසක්ම අහිමි වූ අතර තවදුරටත් එය විශේෂයෙන්ම රජරට වැනි පළාත්වල හෝල්මන් කරමින් ජන ජීවිත බිලිගන්නට සැරසෙමින් සිටී. අප තවදුරටත් මේ සඳහා ගොදුරු විය යුතුද? නැත. මෙය අනිවාර්යයෙන්ම වළක්වා ගත හැකි මෙන්ම වළක්වාගත යුතු රෝගයකි. අපේ වෙදකමෙන් අද ඉඩහසර වෙන්වන්නේ වකුගඩු රෝගයටයි. මේ සම්බන්ධයෙන් අපව දැනුම්වත් කරන්නේ ආයුර්වේද වෛද්‍ය සුජීව විතානගේ මහතායි.
“අපේ ශරීරයේ තිබෙන මනුෂ්‍යයකුට ජීවත් වෙන්නට අත්‍යවශ්‍යම ඉන්ද්‍රියක් තමයි වකුගඩු කියන්නේ. අපේ ශරීර අභ්‍යන්තරයේ ජීව ක්‍රියාවලීන්ගෙන් ගොඩනැගෙන අපද්‍රව්‍යමය (බහිස්‍රාවී ද්‍රව්‍ය) කොටස ශරීරයෙන් බැහැර කරලා ශරීරය පිරිසිදුව තබාගන්නට අවශ්‍ය කාර්යභාරය සිදුකරන්නේ ප්‍රධාන වශයෙන් වකුගඩුවෙන්. යම්හෙයකින් වකුගඩු අකර්මණ්‍ය වුණොත් ඒ තුළින් මනුෂ්‍යයකු වඩා ඉක්මනින් ජීවිතක්ෂයට පත්වෙන්න පුළුවන්. ඒ නිසා වකුගඩුවල ක්‍රියාකාරීත්වය අපි හොඳින් පවත්වාගෙන යන්නට ඕනෙ. එසේම වකුගඩු ක්‍රියාකාරීත්වය හොඳින් පවත්වාගන්නට නම් අපි හැම අතින්ම පරිස්සම් වෙන්නත් ඕනෙ.
වකුගඩු ලෙඩ වෙන්නේ මෙහෙමයි
චරක සංහිතාව, සුශ්‍රැත සංහිතාව, මාධව නිධානය වැනි ප්‍රධාන පෙළේ ආයුර්වේද චිකිත්සක ග්‍රන්ථවල බොහොම පැහැදිලිව වකුගඩු ආශ්‍රිතව ඇතිවන රෝග තත්ත්වයන් විග්‍රහ කරලා තියෙනවා. මේ වකුගඩු ආශ්‍රිතව එන රෝග සම්බන්ධයෙන් අපිට කාරණා කීපයක් ඔස්සේ සාකච්ඡා කරන්න පුළුවන්. ඉන් එකක් නම් පරම්පරා වශයෙන් රැගෙන එන රෝග තත්ත්වයනුයි. ඊට පසුව යම් යම් රෝග නිසාත් පසුකාලීනව වකුගඩු රෝග හටගැනීමේ හැකියාව තියෙනවා. උදාහරණයක් විදිහට අධිරුධිර පීඩනය නිසා වකුගඩු රෝගය ඇතිවෙනවා. ඒ වගේම දියවැඩියාව වැනි රෝගත් වකුගඩු රෝගය කෙරෙහි බලපානවා. මෙම රෝගය හටගැනීම සඳහා තවත් ප්‍රධාන සාධකයක් තමයි විස පදාර්ථ ශරීරගත වීම. සර්ප විස ඉන් එකක්. සර්ප විස ගත්තම පොළොන් විසේදී පුද්ගලයකුගේ වකුගඩු අකර්මණ්‍ය වෙලා තමයි ඒ පුද්ගලයා මිය යන්නේ. වර්තමානයේදී නම් විස රසායන සඳහා හේතුවන්නේ මිනිසා විසින්ම නිර්මාණය කරන ලද විස ද්‍රව්‍යයයි.
වකුගඩුවල මාරයා
බෝග වගාව සඳහා භාවිත කරන කෘෂි රසායන ද්‍රව්‍ය, භාණ්ඩ නිෂ්පාදනයේදී භාවිත කරන ඇතැම් රසායනික ද්‍රව්‍ය, කර්මාන්තවලින් බැහැර කෙරෙන අපද්‍රව්‍ය ආදිය භූගත ජලයට බහුල ලෙස එකතු වීම ආදිය වකුගඩු රෝගය ඇතිවීම කෙරෙහි බලපානවා. ඒ වගේම පාරිසරිකව පවතින යම් රසායන පදාර්ථයනුත් එකතු වීම අපේ වකුගඩු අකර්මණ්‍ය කිරීමේ හේතුවක් බවට පත්වෙලා තියෙනවා. ඊට අමතරව අපේ වැරදි ආහාර රටාවන් හා යම් යම් පුරුදුත් වකුගඩු අකර්මණ්‍ය වීම සඳහා බලපානවා. විශේෂයෙන්ම ආහාර රටාව, ආහාරයට ගන්නා ද්‍රව්‍ය, මත්පැන්, මත්ද්‍රව්‍ය වැනි ඇබ්බැහි වීම් වකුගඩුවල ක්‍රියාකාරීත්වයට බලපෑම් ඇතිකරන සාධක. ඒ වගේම යම් යම් විකිරණශීලී ද්‍රව්‍යයත් මෙම රෝගය කෙරෙහි බලපානවා.
වකුගඩු රෝගය වසංගතයක් වෙලා
වර්තමානයේදී අපේ ජීවන රටාවේ වෙනස් වීමත් සමඟ අපි අපේ පරිසර සාධකයනුත් වෙනස් කරගෙන තියෙනවා. මේක ඇතුළෙ අපේ කෘෂිකර්මාන්තය, වාරි කර්මාන්තය, අධික ලාභ ඉපයීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග බෝග වගාවේ අස්වැන්න වැඩිකරගැනීම සඳහා භාවිත කරන ක්‍රමවේද, ජනගහනය වර්ධනය වීම, පරිසර දූෂණය, කර්මාන්ත ඇතිවීමේ තත්ත්ව යන මේ සියල්ලම හරහා යම් යම් බලපෑම් ඇතිවෙලා තියෙනවා.
අතීතයේදී අපි හොඳ කෘෂිකාර්මික රටවල්. අපි කවුරුවත් ඒ කාලෙ පරිසරය විනාශ කරමින් මේ ක්‍රියාවලිවල නිරතවුණේ නෑ. අද ලංකාවේ වසංගත ආකාරයෙන් වකුගඩු රෝගය ව්‍යාප්ත වන ආකාරයක් අපි දකිනවා. ලංකාවේ උතුරුමැද විශේෂයෙන්ම අනුරාධපුර, පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් වව්නියාව, හම්බන්තොට, මොණරාගල වැනි දිස්ත්‍රික්ක ආශ්‍රිතවත් ව්‍යසනයක් ලෙස වකුගඩු රෝගය පැතිරිලා.
වර්තමානයේ වකුගඩු රෝගීන් ආරක්ෂා කරගැනීමට රජය විශාල ධනස්කන්ධයක් වැය කරනවා.
අධික කෘෂි රසායන රෝගයට හේතුවක්
තම වගාවන් සඳහා අධික ලෙස කෘෂි රසායනික ද්‍රව්‍ය යොදන්නට අද අපේ ගොවියෝ පුරුදුවෙලා ඉන්නවා. ආසනික්, කැඩ්මියම්, වගේ බැර ලෝහ අධික මාත්‍රාවෙන් තිබෙන කෘෂි රසායනික ද්‍රව්‍ය තමයි මෙහිදී භාවිත කරන්නේ. ඉතින් උතුරුමැද ප්‍රදේශයන්හි ඇති ජලය ගලා යාමක් සිදුනොවන නිසා රසායනික ද්‍රව්‍ය මෙම ජලාශවල තැන්පත් වෙනවා. කාලයක් තිස්සේ එකතු වුණ රසායනික ද්‍රව්‍ය නිසා එම ප්‍රදේශයන්හි භූගත ජලය සම්පූර්ණයෙන්ම දූෂිත වෙලයි තියෙන්නේ. ඒ කියන්නේ මේවා පරිසරයේ තිබුණ දේවල් නෙමෙයි. අපි විසින් පරිසරයට එකතු කරපු දේවල්. මේකට හොඳම සාක්ෂිය තමයි අපි ඖෂධ සඳහා ලබාගන්න සියලුම ශාක පරීක්ෂාවට ලක් කිරීම. මෙලෙස පරීක්ෂා කිරීමේදී වැව් ආශ්‍රිතව ලබාගන්නා ලද ශාකවල අධික කැඩ්මියම් හා ආසනික ප්‍රමාණයක් දක්නට ලැබිලා තියෙනවා. ඒ නිසා අපිට අද සිදුවෙලා තියෙනවා, ඖෂධ සඳහා ලබාගන්නා හැම ශාකයක්ම වගා කරන්නට. ඒවා පරිසරයෙන් ගන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙනවා.
වකුගඩු රෝගියකු හඳුනාගන්නේ
වකුගඩු රෝගය ඇතිවීමට හේතූන් ගණනාවක්ම බලපානවා කියලා අපි මුලින් සඳහන් කළෙමු. දියවැඩියාව, හෘද රෝග එහෙමත් නැතිනම් විස ශරීරගත වීම යන මේ කුමන ආකාරයෙන් වකුගඩු රෝගියෙක් බවට පත්වුණත් අවසානයේදී සිදුවන්නේ වකුගඩුවල ක්‍රියාකාරීත්වය අඩපණ වීමයි. එබැවින් රෝගියකු පරීක්ෂා කිරීමකදී ඔහු තවත් රෝගයක් හෝ රෝග කිහිපයකින් පෙළෙනවා නම් ඒ ගැන සොයා බලන්නට කටයුතු කළ යුතුය. සාමාන්‍යයෙන් වකුගඩු රෝගියකුගේ ශරීරය ක්ෂය වීම, දුර්වල වීම, චර්ම රෝග හටගැනීම, මුත්‍රා කිරීමේ අපහසුව, මුත්‍රා කිරීමේ වේදනාවක් හට ගැනීම ආදී රෝග ලක්ෂණ මතුවිය හැකිය. සමස්තයක් ලෙස මුත්‍රා පරීක්ෂණ රුධිර පරීක්ෂණ ආදියෙන් රෝගියා පසුවන්නේ කුමන රෝගී අවස්ථාවකද යන්න පැහැදිලිව හඳුනාගත හැක. සාමාන්‍යයෙන් පුද්ගලයකුගේ බාහිර ස්වරූපය බලා මෙවැනි රෝගයක් හඳුනාගැනීම ඇතැම්විට අපහසු විය හැකි අතර, කොන්දේ වේදනාව, යටි බඩ වේදනාව, මුත්‍රා කිරීමේ අපහසුව, මුත්‍රාවල දුගන්ධයක් පැවතීම, මුත්‍රා පෙන ස්වභාවයෙන් පිටවීම, කෑම අරුචිය, මලානික ස්වභාවයක් පෙන්වීම, ශරීරයේ යම් යම් ප්‍රදේශවල ඉදිමීම ආදී රෝග ලක්ෂණ ඇතිනම් වකුගඩු රෝගයෙන් පෙළෙන බවට සැක කළ හැකිය. එවැනි රෝග ලක්ෂණ තිබේනම් වහාම වෛද්‍යවරයකු වෙත ගොස් පරීක්ෂාවන් සිදුකර තමන් වකුගඩු රෝගයෙන් පෙළෙනවාදැයි හඳුනාගත හැකිය.
වෛද්‍ය උපදේශයකින් තොරව වතුර බොන්න එපා
වකුගඩු රෝගය බැරූරුම් රෝග අවස්ථාවක් වන හෙයින් ආහාර ලබාගැනීම, ජලය පානය යන මේ හැමදෙයක්ම අප සිදුකළ යුත්තේ නියමිත වෛද්‍ය උපදේශයකට අනුකූලවය. ඒ ඒ රෝගියාට අනුව දිනකට පානය කළ යුතු ජලය ප්‍රමාණය වෛද්‍යවරයකු විසින් නිර්දේශ කරන ලබන අතර, එම උපදෙස්වලින් බැහැරව කටයුතු කිරීම අනිසි ප්‍රතිඵල අත්කර දිය හැකිය. ඒ අතරම යම් වකුගඩු රෝගියකු තම රෝගය සඳහා ප්‍රතිකාර ලබාගැනීමේදී සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙත යොමුවීම අනිවාර්යයෙන්ම කළ යුත්තකි.
විවේකය අවශ්‍යයි
වකුගඩු රෝගියකු සඳහා අත්‍යවශ්‍යයම වූවකි විවේකය. වෙහෙස මහන්සි වී වැඩ කිරීම, දැඩි මානසික ආතතිය ආදිය වකුගඩු රෝගියකු හට කිසිසේත්ම සුදුසු නොවේ. මෙවැනි රෝගියකු හට වෙදකම හා හෙදකම යන දෙකම ඉතා සමබරව පැවතිය යුතුය.
වකුගඩු රෝගය සුවකළ හැකියි
වකුගඩු රෝගී අවස්ථාව මූලින්ම හඳුනාගතහොත් එය සම්පූර්ණයෙන්ම සුවකරගත හැකි රෝගයකි. එහෙත් දීර්ඝකාලීනව ඇතිවන වකුගඩු රෝග හා ක්ෂණිකව ඇතිවන වකුගඩු රෝග ආදියෙහිදී රෝගය හටගැනීමට හේතුව සොයාගෙන ඒ සඳහා ප්‍රතිකාර කිරීමත් ක්‍රමානුකූලව කළ යුතුය. යම්හෙයකින් වකුගඩු අකර්මණ්‍ය වුවද නැවත වකුගඩු දෙකක් බද්ධ කිරීම දක්වාම අද වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය දියුණුව ඇති නිසා වකුගඩු රෝගියකු කිසිවිටෙකත් මරණ බය ඇතිකරගත යුතු නැත. කෙසේවෙතත් මෙලෙස වකුගඩු බද්ධ කිරීම අධික වියදම් සහිත වූවක් වන බැවින් එම තත්ත්වයට යාමට නොදී වකුගඩු රෝගය මුල් අවස්ථාවේදීම පාලනය කරගත හැකිනම් එය වඩාත් උචිතය.
ප්‍රෝටීන් වැඩි කෑම හොඳ නැහැ
ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී ගුරු ආහාර වකුගඩු රෝගීන්ට නුසුදුසු ආහාර ලෙස සැලකේ. මෙහිදී ගුරු ආහාර ලෙස සැලකෙන්නේ මස් මාංශ ඇතුළු බර ආහාර සියල්ලක්මයි. ඒවා ගැනීමේදී යම් පාලනයකට නතුව එම ආහාර ලබාගත යුතු අතර, දියර ආහාර ලබාගැනීමේදීත් යම් පාලනයක් කරන්නට සිදුවේ. එසේම මෙවැනි රෝගියකු පළතුරු ආහාරයට එක්කර ගන්නේනම් එයද සිදුකළ යුත්තේ යම් තෝරාබේරා ගැනීමකින් අනතුරුවයි. ඇතැම් පළතුරුවල පොටෑසියම් (K) වැනි සංඝටක අධිකව අන්තර්ගත වන නිසා එවැනි පළතුරු ආහාරයට ගැනීමෙන් වකුගඩුවල පෙරීමේ කාර්යභාරය ඉහළ යයි. වකුගඩු රෝගය නිසා මෙම පෙරීමේ කාර්යභාරය හරි හැටි සිදුනොවන අතර, එම නිසා වකුගඩු අනවශ්‍ය වෙහෙසකටද පත්වේ. එබැවින් වකුගඩු රෝගියකු එවැනි ආහාර ලබාගැනීම හැකිතාක් අඩුකර වකුගඩුවලට යම් විවේකයක් ලබාදිය යුතුය.
ප්‍රෝටීන් ආහාර වැඩිපුර ගැනීමේදීත් අපද්‍රව්‍ය ලෙස ඇමෝනියා පිටවීම වැඩිපුර සිදුවන නිසා එයද වකුගඩුවලට අනවශ්‍ය බරකි. එබැවින් අධික ප්‍රෝටීන් සහිත ආහාර ගැනීම අඩුකළ යුතුය.
වේදනා නාශක පෙති, අරිෂ්ඨ වැඩිපුර එපා
ඕනෑම ඖෂධයක් නියමිත මාත්‍රාවට නොගන්නේ නම් එය සිරුරට ඉතාමත් අහිතකර විය හැකිය. තමන් ලබාගත යුතු ඖෂධ රෝගියකු හට කිසිසේත්ම තීරණය කළ නොහැකි අතර, එය හැමවිටම තීරණය කළ යුත්තේ වෛද්‍යවරයකු විසිනි. එහෙයින් වේදනා නාශක පෙත්තක් වුවද, අරිෂ්ඨ වුවද භාවිත කළ යුත්තේ වෛද්‍යවරයකුගේ නිර්දේශයකින් පසුවය. අපගේ ජීවිත කාලය තුළදී වේදනා නාශක වැනි ඖෂධයක් වුවද ලබාගත හැකි ප්‍රමාණයක් ඇති අතර එය ඉක්මවා ගතහොත් වකුගඩුවලට පමණක් නොව, අපේ සමස්ත ඉන්ද්‍රියන්වලටම එහි බලපෑම් ඇතිවිය හැකිය.
එසේම අරිෂ්ඨ වර්ගද ඒ ඒ රෝග අවස්ථාවන් සඳහා සාදා ඇති බැවින් ඖෂධීය පානයක් ලෙස සලකා තමන්ට සිතූ සිතූ ලෙස පානය නොකළ යුතුය. එලෙස හිතූ මනාපෙට භාවිත කිරීම නිසා යම් යම් රෝග අවස්ථාවන් ඇති අයට මෙමඟින් බලවත් බලපෑම්ද ඇතිවිය හැකිය.
♦ හේමමාලා කුමාරි රාජකරුණා