2017 මාර්තු 18 වන සෙනසුරාදා

කියග මගිය තොප කොතැනද?

 2017 මාර්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 77

පහළ ගම්මානය වනාන්තරයට තරමක් එපිටතින් පිහිටියේය. වන බිමත්, මානත්, තණ බිමත් වෙන්වන නයින වන තණ තීරුව අබියසදී ඔරේනස්ට ගුරුතුමාණන් කතා කළේය. එහෙත් ඔහු දෘශ්‍යමානව පෙනී නොසිටියේය.

 

ඔරේනස්

ගුරුතුමාණෙනි...

ඔබද දැන් පිවිසෙන්නේ කොයිබටදැයි දැන වදාරා එහි යාම මැනවි. වාසනාවක් සේම පවිටු මිනිසුන් සිටින ඉසව්වක් ඔබට මුණගැසෙන්නට යන්නේ. ඉන් එපිටකට ඔබේ කර්තව්‍ය නිම කර මිසක ආපසු හැරෙනු නොහැක්කේය. ඔබ අත මා එවූ සංදේශය ඔවුන් වෙත භාර දෙන්න. එය පිළිගන්නා කෙනෙකු වෙත්නම් ඔවුනට නිම්නයේ උල්පත්වලට යන මාවත පෙන්වන්න. ඔවුනට එන්නට ඉඩ හරිනවා මිසක නුඹ ඔවුන්ව කැඳවාගෙන නොඑන්න. ඔවුහු මාගේ බල සීමාව තරණය කළ පසු ඔවුන් රැකබලාගැනීම මගේ යුතුකමසේම වගකීම වන්නේය. තරුණ තරුණියන් ගැනත් ළමා ළපටීන් ගැනත් වඩ වඩාත් උනන්දුවන්න. ඔවුහු සාපලත් මිනිසුන්ගෙන් වෙන්කොට ගෙන මෙහි ගෙන්වා නිම්නයේ උල්පත් සමීපයේ පදිංචි කරවීමට මම සිතා සිටිමි.

එහෙයි ගුරුතුමාණෙනි...

ඔරේනස් මඳක් නවතින්න... නුඹද තවමත් මාගේ නිම්න දේශයේ අභිෂේක නොලැබුවෙකි. එනමුත් ඒ කරා ළඟා වූවෙකි. එබැවින් ඉවසීම පිළිබඳ නුඹේ සමබරතාවයද මඟහැරෙන යම් යම් තැන් හමුවිය හැක... වඩාත් ඉවසිලිවන්තවන්න. සිහි තබාගන්න දෙවියන්ගේ මෙහෙවරකදී වඩාත් බැණුම් අසන්නේ දෙවියන්ය. වඩාත් වෙහෙස වන්නේ දෙවියන්ය. එබැවින් ඔරේනස් කිසිවක් නොදත් අසරණ මිනිසුන් කෙරේ අනුකම්පා උපදවා මේ චාරිකාවේ නියැලෙන්න. ඔබට අවැසි විටකදී මා ඇමතිය හැක. ඒ වනවිට ඔබ සිටිනා ප්‍රදේශයට මුලින්ම ඉර එළිය වැටෙනා උස්බිමේදී දිනයේ පළමු අරුණැල්ල සමඟ මම එමි. ඒ මොහොතේදී නුඹත් සංචාරයේ නවතම තතු මා කියන්න. මිනිසුන්ගේ වෙනස ගැන මට කියන්න. නුඹ ප්‍රශංසා කළ මිනිසුන්සේම නුඹට අවමන් කළ නොමිනිසුන් ගැනද මට කියන්න. ඒ කිසිවෙකු ගැන තීරණ නොගන්න. තීරණ ගැනීම මට බාර කටයුත්තකි. ඔබ චාරිකා කරන්න. ඔරේනස් සෑමදාම සිහිතබා ගත යුතු වැදගත්ම කාරණය මම නුඹට නැවත කියමි. කිසිවෙකු ගැන තීරණ ගැනීමට කිසිවෙකුටත් අයිතියක් නොමැත්තේය. ඒ සොබා දහමේ පරම නීතිය වේ. එය විශ්වාස කරන්න. සොබා දහම නම් මම වෙමි...

ගුරුතුමාණන්ගේ හඬ අතුරුදන් වූයේය. ඔරේනස් ගමන පටන් ගත්තේය. තණ මණ්ඩියට උඩින් පෙනෙන අහස් කුසට අඳුරැ දුම් රොටු නැගෙමින් තිබිණ. හේ ඒ දිග් පහළ බැලීය. ගෙවල් මණ්ඩියකි. සුරතල් දරුවන්ගේ කෑ කෝ ගෑම් සේම එළු, ගව, සැවුල් හඬවල්ද ඇසෙයි. ඔහු පසු පස හැරී බැලුවේය. වන බිම ඈතින් පෙනෙයි. ඔහු දිගින් දිගටම ගමන් කළේය.

උදා ඉර එළියේ එන තුනී මඳහසක් සහිත පින්පාට අගන්තුකයාගේ ඇස් මුලින්ම දුටු ගම්වැසියා රාසාය. ඔරේනස් දුටු එකෙනෙහිම ඔහු ගල් ගැසුණාක් මෙන් විය.

ඔබතුමා මම දැකලා තියෙනවා.

මමද දරුවා.

ඔව්...

කොහේදිද.

වනාන්තරේදි...

ඔව් මේ වනාන්තරේ තමයි හිටියේ. ඔබ මට ඔබතුමා යැයි කීවේ ඇයි.

උතුමාණෙනි... මට... මට... මට තේරෙන්නේ නැහැ... නමුත් ඔබතුමාගේ වෙනසක් තියෙනවා. අපි අන් හැමෝටම වඩා.

ඔරේනස් මඳ සිනා පෑවේය.

සැබෑවකි දරුව. කොයි සත්ත්වයාගෙත් පෙනුම හැදෙන්නේ ඒ ඒ සත්ත්වයාගේ සිතුවිල්ල අනුවයි. සත්ත්ව ලෝකයේ රෞද කිසිම සත්ත්වයෙකු අහිංසක පාටට නැහැ. නයා, පොළඟා, සිංහයා, කොටියා ආදී සතුන් බලන්න ඔවුන් කොතරම් රෞදද, කොතරම් නපුරැ පාටද උන් වනයේ අනික් බොහෝ සතුන්ව විලෝපනය කරගන්නවා. මරාගෙන කනවා. නමුත් කාටත් කරදරයක් නැති බොහෝ සතුන් සැබැවින්ම පෙනුමින් අහිංසකයි. මිනිස් ලෝකයත් එහෙමයි දරුවා. දුෂ්ඨ, දුර්ජන, රුදුරු මිනිසුන් හැමවිටම රෞද පෙනුමින් යුක්තයි. මා දෙස බැලූ විට ඔබට පෙනෙන්නේ රෞද පෙනුමක්ද?

අනේ නෑ උතුමාණෙනි... ඔබතුමා කැමති නම් අපේ නිවෙසට ගොඩව සංග්‍රහයක් භුක්ති විඳ යමු.

හොඳයි ඔබේ කැමත්තක්.

මුලින්ම රාසා ද දෙවනුව ඔරේනස්ද කඩුල්ල පැන්නෝය. අලුත් ආගන්තුකයා ගැන අල්ලපු වැටේ අසල්වැසියාද විමසිලිමත් වනු පෙනිණ.

 සමන් එදිරිමුණි