2019 නොවැම්බර් 16 වන සෙනසුරාදා

ඇමැතිගේ කැරට් කතාව

 2019 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 30

දිල්ලියේ වායු දූෂණය දිනෙන් දින උග්‍ර අතට හැරෙමින් පවතී. නවදිල්ලි නගරය මේ වනවිට ගෑස් කුටියකට සමානයැයි ප්‍රධාන අමාත්‍ය අර්වින්ද් කෙජ්රිවාල් ප්‍රකාශ කර තිබේ. වායු දූෂණය නිසා මිනිස් සිරැරට සිදුවන අහිතකර තත්ත්වය අවම කර ගැනීම සඳහා කැරට් අහාරයට ගන්නා ලෙසට එරට මධ්‍යම සෞඛ්‍ය ඇමැති වෛද්‍ය හාෂ් වර්ධන් ට්විටර් පණිවිඩයක් ඔස්සේ කියා සිටී. ඔහු සඳහන් කර ඇත්තේ කැරට් අනුභවයෙන් සිරුරට විටමින් ඒ සහ පොටෑසියම් ලැබෙන බවයි.

විවිධ දූෂක මගින් ඇතිකරන ඔක්සිකාරක නිසා මිනිස් සෞඛ්‍යයට බරපතළ සෘණාත්මක බලපෑම් ඇති කරනවා. එම තත්ත්වය පාලනය සඳහා ඔක්සිකාරක මට්ටම ඉහළ නැංවීම ඉතා වැදගත්. ඒ සඳහා ඉහළ ප්‍රතිඔක්සිකාරක සහිත ආහාර ද්‍රව්‍ය ආහාරයට ගැනීම අත්‍යවශ්‍ය වේ. වායු දූෂණ තත්ත්වයක් මත ඇතිවන අතුරු ආබාධවලට එරෙහිව සටන් කිරීම සඳහා කැරට්වල විශේෂ හැකියාවක් පවතී. වායු දූෂණයෙන් හෘද රෝගීන්ට බලපෑමක් ඇතිවිය හැකිය. කැරට් වැනි ඔක්සිකාරක මගින් එම තත්ත්වය පාලනය කරගත හැකියැයි මධ්‍යම සෞඛ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කරයි. කැරට්වලට අමතරව නිවිති, මාළු මිරිස් බ්‍රොකාලි, රතු ගෝවා සහ රතු ගම්මිරිස් වැනි ආහාරවලින්ද මෙම තත්ත්වය පාලනය කර ගත හැකි යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

පී. එම් 2.5 ලෙස හඳුන්වන වාතයේ අඩංගු අහිතකර අනු ආරක්ෂිත සීමාව දැඩි ලෙස ඉක්මවා ගොසිනි. සාමාන්‍යයෙන් සෞඛ්‍ය ආරක්ෂිත මට්ටම වන්නේ 40 අගයකි. එය වායු තත්ත්ව දර්ශකයේ 100 අගය ඉක්මවා ගියහොත් අවදානම් තත්ත්වයකි. ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල වායු දූෂණ අගය 900 දක්වා ඉහළ ගොස් ඇතැයි ඉන්දීය මධ්‍යම පරිසර දූෂණ මණ්ඩලය ප්‍රකාශ කරයි. මීදුමක් වැනි පටලයකින් දිල්ලි නගරය සම්පූර්ණයෙන්ම වැසී ගොසිණි. නිවෙස්වල දොර ජනේල තරයේ වැසී තිබේ. පාසල් වැසී ගොසිනි. ගුවන් ගමන් නවතා දමා ඇති අතර, හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ. මෙම මරාන්තික අර්බුදයට විසඳුම ලබාදෙන ලෙසට ඉල්ලමින් ජනතාව විරෝධතා ව්‍යාපාරවල නිරතව සිටිති.

දිල්ලියේ වායු දූෂණයට බලපෑ සාධක කිහිපයකි. වාහනවලින් විමෝචනය වන වායු, අසල්වැසි ප්‍රාන්තවල ගොවීන් අස්වැන්න නෙළීමෙන් පසු පිදුරු වැනි ද්‍රව්‍ය ගිනි තැබීම, කර්මාන්ත ශාලාවලින් නිකුත් කෙරෙන වායු එයට ප්‍රධාන වශයෙන් බලපා තිබේ. මෙයට පිළියම් ලෙස නගරයට පිවිසෙන මෝටර් රථ පාලනයකට නතු කර ඇත. ඒ අනුව එක් දිනෙක ඔත්තේ අංක සහිත වාහන හා අනික් දිනයේ ඉරට්ටේ අංක සහිත වාහන පමණක් නගරයට ඇතුළු කිරීමට අවසර දී තිබේ. 

ඇමැතිවරයාගේ කැරට් ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල අඩවි ඔස්සේ විවිධ විවේචන එල්ල වෙමින් පවතී. ඔහු පවතින අර්බුද තත්ත්වය සුළු කොට සිතන්නේ යැයි විරෝධතාකරුවෝ චෝදනා කරති. එහෙත් ඇමැතිවරයා පවසන්නේ තමන් මෙම මතය ඉදිරිපත් කළේ විද්‍යාත්මක පදනමක පිහිටා බවය.

  ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා