සාමාන්‍යයෙන් ලෝකයේ නිවර්තන රටවල කාලගුණය ගැන අනාවැකි කීම, නිවර්තන කලාපවලින් ඈත රටවල කාලගුණය ගැන අනාවැකි කීම තරම් පහසු නැත. ශ්‍රී ලංකාව ද සමකයට සමීප රටක් නිසා ශ්‍රී ලංකාව ගැන කාලගුණ අනාවැකි කීම ද පහසු නැත. ශ්‍රී ලංකාවේ මැතිවරණ ප්‍රතිඵල ගැන අනාවැකි කීමද එසේමය.
බටහිර රටවල මෙන් නිතර මත විමසුම් සිදු නොවන නිසා මැතිවරණ ප්‍රතිඵල ගැන අනාවැකි කීමද පහසු නැත. පසුගිය ජනාධිපතිවරණයට පෙර අනාවැකි කියා වරද්දා ගත් සාස්තරකාරයන් කිහිපදෙනෙක් තවමත් සමාජ මාධ්‍යවල විහිළුවට ලක්වෙමින් සිටිති. අප ජනමතය හරියටම දැනගන්නේ මැතිවරණ කොට්ඨාසයෙන් ප්‍රතිඵල නිකුත් වෙද්දීය.
මේ නිසා මැතිවරණයක් පැවැත්වෙන දා රාත්‍රියේ නිදි මරාගෙන ප්‍රතිඵල ගැන විනාඩියෙන් විනාඩිය කුතුහලයෙන් පසුවීම අපේ ජීවිතවල අත්‍යවශ්‍ය අංගයක් බවට පත්ව තිබේ. එක් අතකින් එය චාරිත්‍රයක් බඳුය. ඉස්සර අපි මැතිවරණ දාට රේඩියෝව වටා රොක් වී ගෙවල් ගාණේ මැතිවරණ ප්‍රතිඵලවලට කන් දුන්නෙමු. දැන් අපි මැතිවරණ/ ජනාධිපතිවරණ ප්‍රතිඵල දැනගන්නේ රූපවාහිනියෙන් ඉදිරිපත් කරන වර්ණ රූ රටා හා ඉලක්කම් ඔස්සේය. ශ්‍රව්‍ය මාධ්‍යයෙන් පමණක් අසන දේට වඩා ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයයෙන් අසන දේ මතකයේ සටහන් වෙන බව කියනු ලැබේ.
අසා ඇති ආකාරයට බටහිර බොහෝ රටවල ජනයාට මැතිවරණයේදී ආසියාවේ අපට තරම් උණක් වැළඳෙන්නේ නැත. ඔවුන් ඉස්සර පවා නිදිමරාගෙන රේඩියෝවෙන් මැතිවරණ ප්‍රතිඵල ඇසූ බවක් දැනගන්නට නැත. ඒ කාලයේත් ඔවුන් මැතිවරණ ප්‍රතිඵල දැනගත්තේ පසුවදා උදේ පුවත්පතිනුයි. දැන් නම් අන්තර්ජාලයෙන් ඔවුන් ප්‍රතිඵල නිකුත් වූ සැණින් දැනගන්නවාට සැක නැත. එහෙත් නිදිමරාගෙන අප මෙන් බටහිර ජනයා මැතිවරණ ප්‍රතිඵල අසන බවක් මා අසා නැත. අපේ රටේ ජනයා දේශපාලනය ගැන මෙතරම් උනන්දු වීමේ වරදක් මට නම් නොපෙනේ.
මෙවර ජනාධිපතිවරණය උදෙසා වෙන වාරවල තරම් කොඩි වැල් කටවුට් පෙනෙන්නට නැත. පාරේ යද්දි ඒවා නැතිවට ජනාධිපතිවරණ උණුසුම දැනෙන්නේ අඩුවෙනි. දැන් ඉස්සර තරම් කොළ තොප්පි, නිල් තොප්පි, රතු තොප්පිකාරයන් ද මැතිවරණ දිනවල දකින්නට නැත. (ඒ වෙනුවට තරමක් දුරට ටීෂර්ට් පැමිණ තිබේ)
ගමේ මැතිවරණ කාලයට කොළ තොප්පි, නිල් තොප්පි දෙපැත්තට ලැබුණේ කෙසේද යන්න 1976 කාලයේ පමණ ආ ආර්. ආර්. සමරකෝන්ගේ “ඉඩම” වේදිකා නාට්‍යයේ දෙබසකින් කියවුණේය. එකල ඒ දෙබස කීවේ එහි ගමේ මුදලාලිගේ චරිතය රඟ පෑ එල්සන් දිවිතුරුගම විසිනි.
“මගේ කඩේ ඉතුරු වෙලා තිබුණා පරණ පොලිතින් වගයක්. මම ඒවයින් කොළ තොප්පි සීයක් මහලා එක කට්ටියකට දුන්නා. නිල් තොප්පි සීයක් මහලා අනෙක් පැත්තේ අයට දුන්නා.”
ඒ කාලයේත් මැතිවරණ ප්‍රතිඵලවලින් පසුව මුදලාලිලා ආරක්ෂා වූයේ ඒ ආකාරයෙනි. දැනුදු ඇතැම් කොම්පැණිකාරයන් දෙපැත්තටම අනුග්‍රහය දක්වා මැතිවරණ ප්‍රතිඵලයේ වාසි ලබන බව රහසක් නොවේ.
දැන් මැතිවරණ උණුසුම වඩාත්ම ප්‍රකාශයට පත් වන්නේ සමාජ මාධ්‍ය හරහා පුවත්පත් හා රූපවාහිනී මාධ්‍යයට වඩා අද දේශපාලන ප්‍රවෘත්ති වේගයෙන් සහ එසැණින් පැතිර යන්නේ සමාජ මාධ්‍ය හරහාය. මඩ ප්‍රචාරයන් සමාජ මාධ්‍යවල ඇතත්, විචාර බුද්ධියෙන් කරන ප්‍රශ්න කිරීම් ද ඒවායේ බහුලය.
ඇතැම් ප්‍රචාරයන් සහ ඊට ලබාදෙන ප්‍රති උත්තර නිර්මාණාත්මකය. අන් මත ඉවසාගෙන මුහුණු පොතේ අය තම තමන් සහයෝගය දෙන අපේක්ෂකයා වෙනුවෙන් තබන සටහන්, රූප සහ වීඩියෝ බැලීමෙන් මේ කාලයේ මහත් වින්දනයක් ලබාගත හැකිවේ. ඒ අතර 16, 17 දිනවල සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා ලෙස නම්කොට පොදු ජනයා අතර ජනප්‍රිය මත්පැන් බෝතලයක පින්තූරයක් යොදා තිබිණි. තවත් සටහනක ඇත්තේ මේ මාසේ 16 සහ 17 දින වසා ඇත. 18 දින ද ඇතැම් විට වසා තිබිය හැකි බැවින් කලින් ගෙනත් තබා ගැනීමට ඔබගේ කළණ මිතුරා දැනුවත් කරනා ලෙසයි.
මෙවර කොඩි වැල් සහ කටවුට් සහ වෙනත් සැරසිලි මැතිවරණ කාර්යාල ලෙස නම් කොට ඇති පොල් අතු හෝ ටකරන් මඩුවලට සීමා වී තිබේ. පසුගිය මැතිවරණවල හවස්වන විට ඒවායේ ඇති පුටුවල හිඳගෙන කැරම් ගසන තරුණයන් හිඟ වූයේ නැත. එහෙත් මෙවර ජනාධිපතිවරණයේදී කලින් තිබූ කැරම් බෝඩ් එකද අතුරුදන් වී ඇති සෙයක් පෙනේ. මැතිවරණ කාර්යාල බොහෝමයක් හිස්ය.
1970 මැතිවරණ සමය වනවිට සමහර ගෙවල්වල මාපියන් එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දුන් අතර අලුත් තරුණ පරපුර සහයෝගය දුන්නේ අලුත් සමගි පෙරමුණටයි. ඒ නිසා 1970 ඇතැම් නිවෙස්වල එ.ජා.ප.යටත්, සමගි පෙරමුණටත් සහයෝගය දෙන දෙමාපියන් හා දූදරුවන් මැතිවරණ ප්‍රතිඵල ඇසුවේ එකම රේඩියෝවෙනි. ප්‍රතිඵල එකින් එක ඇසෙන විට දෙමාපියන්ගේ මුහුණ මැලවෙද්දී දූ දරුවෝ හුරේ දැමුවෝය. මඩ ගසා ගැනීමේ දේශපාලනයක් එකල නොවූ නිසා සුහදව විහිලුවෙන් ඒ කාලයේ පවුල් ඇතුළේ දේශපාලනය බේරාගත හැකි වූයේය.
එවැනි අත්දැකීමක් අපට ද ලැබිණි. 1970 මීරිගම ආසනයට ශිවා ඔබේසේකර සමඟ එ.ජා.පයෙන් තරග වැදුණේ ආචාර්ය ඩබ්ලිව්.එස්. කරුණාරත්නය. ඔහු අපේ තාත්තාගේ ඥාති සොයුරෙකි. ඩබ්ලිව්. එස්. කරුණාරත්න දිනූ විට පත්තු කරන්නට අපේ තාත්තා රතිඤ්ඤා වැලක් ගෙනැවිත් තිබුණේය. සමගි පෙරමුණ දිනූ රැල්ලට තාත්තාගේ ඥාති සොයුරා හෙවත් අපේ නෙල්සන් මාමා (අප ඔහු හැඳින්වූයේ ඒ නමිනි.) ශිවා ඔබේසේකරට පැරදුණේය.
අපේ අයියලා අක්කලා හුරේ දැමුවේ සමගි පෙරමුණටය. එකල සරසවි සිසු - සිසුවියෝ හිටපු අධ්‍යාපන ඇමැති අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල සමඟ උරණව උන්නෝය. හේතුව මුල් වරට 1969 – 70 කාලයේ විශ්ව විද්‍යාලවලට පහර දෙන්නට පොලීසිය කැඳවූ නිසාය. ඩබ්ලිව්. එස්. කරුණාරත්න දිනූ විට පත්තු කරන්නට ගෙනා රතිඤ්ඤා වැල අපේ ගෙදර පත්තු වූයේ ඊරියගොල්ල පරාජය වූ මැතිවරණ ප්‍රතිඵල නිවේදනය කරන විටදීය. පක්ෂ භේද කෙසේ වෙතත් දරුවන් රතිඤ්ඤා පත්තු කර ප්‍රීති වන සැටි බලා අපේ අම්මා හා තාත්තා දිනුවාක් මෙන් සතුටු වූවෝය.
ගුවන් විදුලිය ද ජනතාවගේ මූඩ් එකේ හැටියට ගැලපෙන්නට මැතිවරණ ප්‍රතිඵල සමඟ උචිත සින්දු ප්‍රචාරය කරන්නට පුරුදුව සිටියේය. සමගි පෙරමුණේ නායකත්වය දැරුවේ සිරිමාවෝ මැතිණිය නිසා සමගි පෙරමුණ දිනාගෙන එනවිට “රැජන මමයි අපේ රාජ්ජේ” ගීතය ප්‍රචාරය වන්නට ගත්තේය. ඒ පුරුද්ද 1977 මැතිවරණය තෙක්ම ගුවන් විදුලිය අත් හැරියේ නැත. 1977 යූ.ඇන්.පීය ජයග්‍රහණය කරනා විට “ගිය වාරේ උඹේ, මේ වාරේ මගේ” යන ජෝතිපාලයන්ගේ ගීය ප්‍රචාරය වූයේය.
අපේ රාජ්‍ය සේවාවේ කාර්යක්ෂම බවත්, වැඩ කිරීමට ඇති හැකියාවේ විභවතාවන් පෙනෙන්නේ ඡන්ද විමසීමේදීත්, ප්‍රතිඵල ගණන් කොට නිකුත් කිරීමේදීත්ය. වෙනදා සේවා ආකාර්යක්ෂමතා නිසා දොස් අසන රාජ්‍ය සේවාව දින කිහිපයක් එක දිගට මැතිවරණයකදී සාමූහික කාර්යවල නිරත වේ. ඡන්ද පොළේදී හෝ ගණන් කිරීමේදී රජයේ සේවකයාට දෙපාර්තමේන්තු භේදයක් නැත. තාවකාලිකව මුණගැසෙන දින දෙක තුනට රාජ්‍ය සේවකයෝ 1947 සිට මැතිවරණ රාජකාරි ඉටුකර තිබේ. එම සේවාවේ නිර්මලත්වය එදා පටන් මේ දක්වාම රාජ්‍ය සේවකයන් විසින් ආරක්ෂා කරගෙන තිබේ. දන්නා තරමින් ඊට ප්‍රමාණවත් ප්‍රශංසාවක් රාජ්‍ය සේවාවට ලැබී නැත්තේය. වෙනදා අකාර්යක්ෂම රාජ්‍ය සේවය ඡන්දය දාට කඩිසරය.
සමන් පුෂ්ප ලියනගේ