2019 නොවැම්බර් 16 වන සෙනසුරාදා

ගම්පෙරළියට 75යි

 2019 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 1986

මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා නිර්මාණයක් කිරීමට පෙර පොතක කෙටි සටහනක් කරන පුරුද්දක් තිබුණා. අපට හම්බවුණා ඔහුගේ ලේඛනාගාරයේ තිබිලා මොනිටර් එක්සයිස් පොතක ඉංග්‍රීසියෙන් ලියපු කටුසටහනක්. ස්ක්‍රැප් බුක් කියලා ඒකට කිව්වේ. ඒ පොතේ පිටු 13ක For a Novel කියලා කටුසටහනක් ලියලා තියෙන්නේ 1922දී. ගම්පෙරළිය ලියන්න අවුරුදු 22කට කලින් තමයි එලෙස කතා තේමාව සටහන් කර තිබෙන්නේ. ගම්පෙරළිය රචනා කිරීමට ඔහු තුළ ඇති වූ අදහස එහි විස්තර වෙනවා. අප සමඟ එලෙස අදහස් පළකළේ මාර්ටින් වික්‍රමසිංහගේ දෑස් දුර්වල වීම නිසා ඔහුගේ ග්‍රන්ථ රාශියක සෝදුපත් බැලූ මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ සේවයේ නියුතු ප්‍රවීණ ලේඛක දයාපාල ජයනෙත්තිය.

අවුරුදු 75ක් සපිරෙන ගම්පෙරළිය මුලින්ම මුද්‍රණයෙන් පළවූයේ 1944දී ගල්කිස්ස මවුන්ට් යන්ත්‍රාලයෙනි. එම මුද්‍රණාලයේ හිමිකරැවා වූයේ ද මහගත්කරු වික්‍රමසිංහයන්මය. අද බොහෝ ලේඛකයන් කඩිමුඩියේ නවකතා ලිවීමට උත්සාහ කළ ද මාර්ටින් වික්‍රමසිංහ අවුරුදු 22ක් වස්තු බීජය පරිණත කරගැනීමට කල්ගත කළ බව පැහැදිලිය. ඉන් පෙනෙන්නේ විශිෂ්ට ලේඛකයකු සතු විය යුතු ඉවසීම ඔහු තුළ මනාව පැවති බවයි.

තම අත්දැකීම් වැඩිදුරටත් විස්තර කළ දයාපාල ජයනෙත්ති මෙසේ ද කීවේය. ගම්පෙරළියේ කයිසාරැවත්තේ මුහන්දිරම් චරිතය කටුසටහනේ දක්වා තිබුණේ මුහන්දිරම් කුලචන්ද්‍ර කියලා. පියල් කියන චරිතය වෙනුවට මුලින්ම යොදාගෙන තිබුණේ සිරිමල් රණවීර කියන නම. නන්දා සහ අනුලා, මාතර හාමිනේ කියන චරිත ඒ විදිහටම තිබුණා. ජිනදාස සිංහලේ යන ගමන ඒ විදිහටම තිබුණා.

විරාගය කතා තේමාව ලියා තිබෙන්නෙත් නවකතාව ලියන්න අවුරැද් 24කට කලින්.

හැම පොතකටම පූර්ව සටහනක් ලියලා තමයි ඒක වර්ධනය කරන්නේ. වික්‍රමසිංහ තම පෞද්ගලික ජීවිතේ අත්දැකීම් කදිමට නවකතාවට එක්කරගෙන තිබෙනවා. ගම්පෙරළිය හා තම නවකතාවලට ඇතුළු වූ අත්දැකීම් ගැන වික්‍රමසිංහ මහතා දේශනයක් කර තිබෙනවා. අපි ඒ පොත් දැන් පළකර තිබෙනවා. ගම්පෙරළියේ කයිසාරැවත්තේ මුහන්දිරම්ගේ චරිතයට පාදක වූයේ පොලිස් ඔපිසර කෙනෙක් වූ තම පියාගේත්, ආරච්චි කෙනෙක් වූ මහප්පාගේත් චරිත බව සඳහන්.

මාතර හාමිනේ කියන්නේ වික්‍රමසිංහගේ අම්මාගේ චරිතයටයි. ඇය ගැමියන්ට අනුකම්පාවක් දක්වපු කෙනෙක්. වික්‍රමසිංහගේ අක්කා කෙනෙක් බැඳපු මහත්තයෙක් සිංහලේ යනවා කියලා ගිහින් එහිදී මැලේරියාව වැළඳී මියයනවා. රත්නපුර රෝහලට ගොස් මිනිය හඳුනාගෙන භූමදාන කළේ වික්‍රමසිංහ සහ මාමණ්ඩි කෙනෙක් බව වික්‍රමසිංහ මැතිනිය පවසා තිබෙනවා. ඒ සිද්ධිය තමයි නන්දා හා විවාහ වන ජිනදාස ව්‍යාපාරවලට සිංහලේ ගොස් මියයාමෙන් අදහස් කරන්නේ.

දිනක් අපි වික්‍රමසිංහගේ කනිටු පුත් වෛද්‍ය රංග වික්‍රමසිංහ සමඟ බිබිල මධ්‍ය මහා විද්‍යාලයේ සාහිත්‍ය උත්සවයකට ගියා. එහිදී පාසලක විදුහල්පති කෙනෙක් පැමිණ කිව්වා ගල්කිස්ස මවුන්ට් යන්ත්‍රාලයේ අකුරැ අමුණපු ඩේවිඩ්ගේ පුතා ඔහු බව. ඔහු තමයි කිව්වේ බිබිල ඇකිරියන්කුඹුරේ ජිනදාසගේ ළමයි දෙන්නෙක් තවම ඉන්න බව. ඒකෙන් අපට පේනවා ඔහු සැබෑ චරිත මේ නවකතාවට යොදාගත් බව. ඒ විදිහට සැබෑ සිද්ධි එකිනෙක මිශ්‍ර කරගෙන විශිෂ්ට නවකතාවකට යොදාගත් හැටි හරි පුදුමයි

වර්ෂ 1944දී මුල්වරට පළවූ ගම්පෙරළිය එවකට පැවති නවකතා කලාව සම්පූර්ණයෙන් වෙනසකට භාජනය කළේය. ඒ වනවිට පැවතියේ පළමු සිංහල නවකතාව වූ සයිමන් ද සිල්වාගේ මීනා නවකතාවෙන් ඔබ්බට නොගිය කතා කලාවකි. පියදාස සිරිසේන, ඩබ්ලිව්.ඒ. සිල්වා වැනි නවකතාකරැවන්ගේ නිර්මාණ අතිශය ජනප්‍රියත්වයට පත්ව පිටපත් දස දහස් ගණනින් අලෙවි වුණත් යථාර්ථවාදී නවකතාවට වුණු සෙතක් නැත. සමහරු බටහිර නවකතා කියවමින් ඒ ඔස්සේ ලිව්වෝය. අහඹු සිදුවීම්, ත්‍රාසජනක ජවනිකා බහුල මේ නවකතාවලින් ලාංකීය ජනසමාජය හෝ සමාජය විපරිණාමය නිරූපණය වූයේ නැත. ගම්පෙරළිය තුළින් යටත්විජිත සමාජයේ මුල් බැසගෙන තිබුණු වැඩවසම් රදල සමාජය ක්‍රමයෙන් පිරිහී යමින් වාණිජකරණය වූ නව ධනපති පැලැන්තියක් හිස ඔසවන ආකාරය කදිමට නිරූපණය කෙරිණි. කයිසාරැවත්තේ පවුලේ පිරිහීම ඔවුන්ගේ වලව්වේ අබලන්වීම ඔස්සේ සංකේතාත්මකවද නිරෑපණය විය. ඒ අතර වලව් සමාජය විසින් ප්‍රතික්ෂේප කළ කුලහීන පියල් ධනවත් ව්‍යාපාරිකයෙක් වූ පසුව ජිනදාසගේ අතුරුදන්වීමෙන් වැන්දඹු වූ නන්දාට සරණ පාවාදෙන ආකාරය තුළින් එම පරම්පරාවේ අසරණකම පෙන්වයි.

අපේ ගැමියන්ට පරිසරය ගැන ඉවක් තිබෙනවා. පරිසරය වෙනස්වීම අනුව අනාගතයේ අත්වන ඉරණම ගැන ඔවුන්ට ඉවෙන් මෙන් කියන්න පුළුවන්. ඒක ගම්පෙරළිය පොතේ හරි අපූරැවට විස්තර වෙනවා. හිරිගල් පර්වතය අපේ සංස්කෘතිය වගේ දෙයක්. නවකතාව පටන් ගන්නේ හිරිගල් දේවාලය ගැන විස්තර කිරීමෙන්. වෙනස් නොවන හිරිගලත් පසුව වෙනස්වන බව මේ නවකතාවෙන් සමාජ වෙනස්වීමෙන් අපට පැහැදිලි කරනවා. ජයනෙත්ති මහතා තවදුරටත් අපට කීවේය.

ගම්පෙරළිය නවකතාව වර්ෂ 2018 වනවිට මුද්‍රණ 58ක් පළ වී තිබේ. මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලය පවසන්නේ එය පසුගිය අවුරැදු 10 තුළ පිටපත් 120,000ක් අලෙවි වී ඇති බවයි. ගම්පෙරළිය කිසිදිනෙක පරණ නොවන බවත් පරම්පරාවෙන් පරම්පරාවට එහි පාඨක ඉල්ලුම පවතින බවත් වෛද්‍ය රංග වික්‍රමසිංහ පවසයි. ගම්පෙරළිය ඉංග්‍රීසියට පරිවර්තනය කළේද වික්‍රමසිංහ පුත් රංග වික්‍රමසිංහයි.

ගම්පෙරළිය අපි ඉස්කෝලෙ යන කාලෙ පාඩම් පොතක් විදිහට නියම කර තිබුණා. මං හිතන්නේ ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගෙට. මම ගම්පෙරළිය හරියට කියෙව්වේ එතකොටයි. මුල් කාලෙ විනෝදෙට ඒ පොත කියවා තිබුණා. ඒත් විභාගයට සූදානම් වනවිට තමයි හරියට තේරැම් අරන් කියෙව්වේ.

ගම්පෙරළිය පරම්පරා ගණනක් සිංහල පාඨකයන් අතර ස්ථාවර වුණු පොතක්. ඒකට තිබෙන ඉල්ලුම කවදාවත් අඩුවෙන්නෙ නැහැ. මඩොල් දූව, අපේ ගම කියන පොත් දෙකට පසු වැඩිම අලෙවියක් තිබෙන්නේ ගම්පෙරළියට. රංග වික්‍රමසිංහ වැඩිදුරටත් කීවේය.

මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලය පළකළ වික්‍රමසිංහ චරිතාපදාන ග්‍රන්ථ මාලාව රචනා කළේ ප්‍රවීණ සාහිත්‍යවේදී ආචාර්ය ඩබ්ලිව්.ඒ. අබේසිංහයි. ඔහු ගම්පෙරළිය ගැන අප සමඟ කීවේ මෙලෙසිනි.

අපේ නවකතා කලාවේ ආරම්භය විදිහට සලකන්නේ ගම්පෙරළිය. ඒක අදටත් බලපානවා. ඒ වගේම වික්‍රමසිංහ අවුරැදු 75කට පෙර ඉදිරිපත් කළ යථාර්ථවාදී නවකතා රීතිය අදටත් ඒ විදිහටම අපේ ප්‍රබන්ධකරැවන් අනුගමනය කරනවා. ඒ අනුව වික්‍රමසිංහ කළේ සිංහල නවකතාවේ පුරෝගාමී මෙහෙවරක්.

ගම්පෙරළිය යථාර්ථවාදී නවකතාවක් කියන එකේ අනෙක් අරැත තමයි ඉන් ජීවිතය සහ සමාජය ප්‍රබල විදිහට විවරණය වීම. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි නවකතාවේ විශ්වාසනීයත්වය රැඳී පැවතීම තිබෙන්නේ. නවකතාව පළවූ පසු ඒකට ප්‍රශංසා ගලාගෙන ආවා.

වික්‍රමසිංහ ලියූ ගම්පෙරළිය ගැන මුල්ම විවේචනය ලියන්නේ ජී.බී. සේනානායක විසිනි. සිළුමිණට විචාරයක් ලියන සේනානායක පවසන්නේ කොග්ගල ගමේ සමාජ පෙරළිය ඉන් නිරෑපිත වුවත් එය මුළු ලොවටම සාධාරණ බවයි. විචාරකයන් පවසන අන්දමට නවකතාවේ තිස්ස චරිතයෙන් පෙන්නුම් කරන්නේ ලේඛකයාගේ ආත්මයයි. ගම්පෙරළියට පසු ලියූ කලියුගය හා යුගාන්තය යන තුන් ඈඳුතු නවකතාවලටද තිස්ස කයිසාරැවත්ත චරිතය ඇතුළත්ය. තිස්ස අවිවාහකව දිවිගෙවන මානව භක්තියෙන් පිරුණු සානුකම්පිත හදවතක් ඇත්තෙකි.

වික්‍රමසිංහගේ කොග්ගල අත්දැකීම් අඩුවැඩි වශයෙන් ගම්පෙරළියට ඇතුළත් කළ බව අපි මුලින් සඳහන් කළෙමු. මේ වික්‍රමසිංහ උපන්දා සිට චරිතාපදානයේ කොග්ගල ගැන සඳහන් කරන ආකාරයයි. මම අවුරුදු 30කට වැඩි කාලයක් කොග්ගල ජීවත්වූයෙමි. බොහෝ සුන්දර ඔය හා ගැමියන් නිසා මා තුළ ඇල්මක් හටගත්තේය. ඔය, ලන්ද, බැඳි සතුන් හා මිනිසුන්ද සහිත ගැමි පරිසරය සිහිකිරීමෙන් මම දැනුදු සංතෝසයක් ලබමි. මාගේ නවකතාවලට පමණක් නොව විචාර නිබන්ධනවලටත් සංස්කෘතික මානව විද්‍යාව හා දර්ශන පිළිබඳ සත්ව සන්තතියටත් පිටුපසින් පවා මගේ ගැමි අත්දැකීම් හා ගැමි පරිසරය මා කෙරෙහි පෑ බලයද සැඟවී සිටියි. මගේ නවකතාවල චරිත මා වර්ණනා කළ ගැමි පරිසරය නිසා පණ ලබයි. ඔවුන්ගේ හුස්ම ඒ ගැමි පරිසරයයි. ඒ හුස්ම නොමැතිව ඔවුන්ට ජීවත්විය නොහැකිය.

ගම්පෙරළිය නවකතාවට තම පවුලේ චරිතද යෝදාගත් බව අප සඳහන් කළා මතකද? උපන්දා සිට කෘතියේ තම මව ගැන වික්‍රමසිංහ මෙසේ පවසයි. අම්මා දිළින්දන්ට උපකාර කළාය. වරක් දිළිඳු ගැහැනියක තම රෝගී දරුවාට බෙහෙත් හා ආහාර සපයනු නොහැකිව අම්මාගෙන් උපකාරයක් ඉල්ලුවාය. අඟහිඟවලින් මිරිකෙමින් ජීවත්වන අම්මා කරාබු කන් දෙකින් උගුළුවා අර ගෑනිට දුන්නාය. අම්මාගේ දයානුකම්පාව දත් සමහර කපටි ගෑනුද අම්මාගෙන් රන්බඩු ඉල්ලාගෙන ගොස් මුදල් ගත්හ.
ගම්පෙරළිය නවකතාවේ මාතර හාමිනේ චරිතය විස්තර කරන වික්‍රමසිංහ මෙසේ සඳහන් කරන්නේ මව සිතේ තබාගෙන නොවේද? ඈ අනාථයන්ට සංග්‍රහ කළේ හංසයකු දියට බසින්නාක් මෙනි. ගැනීම මෙන්ම දීමද ඇයට එකසේ සංතෝෂයක් විය. වේදනාවෙන් මිරිකෙනා දරුවකුගේ මුහුණක් පමණක් නොව ආරෑඪ කරගත් වේදනාව ඇති තක්කඩි හිඟන්නෙකුගේ මුහුණද ඇගේ හද උණු කළේය. එසේ තම හද උණුකළ කවරකු වුවද සැනසීම ඈටප්‍රීතියකි. එසේ නොකළ හැකිවීම ඈට දුකකි.
ගම්පෙරළියෙන් පසු අපගේ ලේඛක පරපුර නවකතා දහස් ගණනක් රචනා කර තිබේ. එහෙත් ඒ අතරින් ගම්පෙරළිය කැපී පෙනෙන්නේ ඇයිද යන්න ගැන ගැඹුරින් විමසා බැලිය යුතුය

  කුසුම්සිරි විජයවර්ධන