2019 නොවැම්බර් 16 වන සෙනසුරාදා

සරසවි දෙකක වැඩකර හොද්ද බොර කරගත් කථිකාචර්යවරු

 2019 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 12:31 384

අපේ රටේ රාජ්‍ය විශ්වවිද්‍යාල පවතින්නේ ස්වාධීන ආයතන ලෙස වන අතර ඒවාට රජයේ මුදල් රෙගුලාසි, ආයතන සංග්‍රහය සහ විවිධ රාජ්‍ය චක්‍රලේඛ බල නොපාන්නේද යන ගැටලුව පසුගියදා කෝප් හෙවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා වාර්තාවක් පාර්ලිමේන්තුවේ සාකච්ඡා වන අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු අනුව පැනනැඟී වී ඇත.

කථිකාචාර්යවරුන් මෙන්ම සරසවිවල අනධ්‍යයන කාර්ය මණ්ඩලවලට රජයේ මුදල් රෙගුලාසි සහ මහා භාණ්ඩාගාරය මෙන්ම උසස් අධ්‍යාපන අමාත්‍යංශය මගින් ගන්නා තීරණ බලනොපාන තැනට කරුණු යෙදී ඇති බව හෙළි වී ඇති අතර ඔවුන් මේ රටේ සමස්ත රාජ්‍ය සේවකයන්ට වඩා විශාල ලෙස වරප්‍රසාද ලැබෙන කණ්ඩායමක් බවට පත්වී ඇතැයි කෝප් කමිටු වාර්තාවලට පදනම් වූ විගණන වාර්තා අනුව පැහැදිලි වී තිබේ.

විශ්වවිද්‍යාල 17කට අදාළව 2017-2018 අතර කාලය තුළ කරන ලද විගණන විමර්ශන පදනම් කරගෙන මෙම කෝප් වාර්තාව සැකසී තිබේ. පසුගිය 07දා කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කෝප් කමිටු වාර්තාවේ සඳහන් කරුණු එකිනෙක වෙන වෙනම ගෙනහැර දැක්වීමට මෙවැනි කුඩා ලිපියකින් අපහසු බැවින් විමර්ශනවලට අදාළ ප්‍රධාන කරුණු කිහිපයක් සංක්ෂිප්ත ලෙස මෙහි දැක්වේ.

විශ්වවිද්‍යාල බොහෝදුරට යැපෙන්නේ රාජ්‍ය භාණ්ඩාගාරයෙන් වෙන්කරන ප්‍රතිපාදනවලිනි. ඒ හැරුණු විට බාහිර සහ පෞද්ගලික උපාධි පාඨමාලා පවත්වා අමතර ආදායමක්ද ලබාගනී. එසේ වුවද මේ දෙආකාරයෙන් ඔවුන් ලබාගන්නා මුදල් නිශ්චිත කරුණු සඳහා නිසියාකාරව යොදාගන්නේද යන්න පිළිබඳ විශාල ගැටලුවක් පවතී.

විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන 46ක් ඔවුනට ලැබුණු රුපියල් කෝටි 2,116ක මුදලක් අදාළ ව්‍යාපෘතිවල නොයොදවා දිගු කාලයක් තිස්සේ විවිධ අරමුදල් සහ බැංකු ස්ථාවර තැන්පතුවල රඳවා තබාගෙන ඇති බව විගණනයේදී හෙළිවී තිබේ. මෙලෙස ඒ මුදල් තබා ගැනීම රටේ ආර්ථික අර්බුදයක් මතුවීමට පවා හේතු වී ඇතැයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවේ දැක්වේ. මේ සා සුවිශාල මුදලක් විවිධ අරමුදල් සහ ස්ථාවර තැන්පතුවල ආයෝජනය නොකර විශ්වවිද්‍යාලවල අවශ්‍යතාවලට යෙදවූයේ නම් වසරක් පාසා දෙන භාණ්ඩාගාර ප්‍රතිපාදන අඩු කිරීම මගින් රටේ ආර්ථිකයට සහන සලසා ගැනීමට අවස්ථාව තිබූ බව වාර්තාව මගින් අනාවරණය කර ඇත. මෙමගින් රටේ දැවෙන ප්‍රශ්නයක් වූ ඒකපුද්ගල ණයබරද අවම කරගත හැකිව තිබුණු බව පැවසේ.

රාජ්‍ය විශ්වවිද්‍යාල 15ක් 2017 වසරේ දෙසැම්බර් මස 31 වන දින වනවිට විවිධ අරමුදල් 794ක් පවත්වාගෙන ගොස් තිබුණු අතර ඒවායේ තැන්පත් කර තිබූ මුදල රුපියල් කෝටි 597ක් වන බව හෙළි වී තිබේ. විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන 31ක් සිය ගිණුම්වල අතිරික්ත මුදල් රුපියල් කෝටි 1409ක් ස්ථාවර තැන්පතුවල තබාගෙන විශාල පොලියක් ලබන බවද පැවසේ. මෙයට අමතරව සරසවිවලට වාර්ෂිකව ප්‍රාග්ධන ප්‍රදාන වශයෙන් ලබාදී තිබූ රුපියල් කෝටි 141ක්ද වැය නොකර බැංකු ගත කර තිබෙන බවද වාර්තාවේ දැක්වේ. විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පවා මෙම තත්ත්වය පිළිබඳ දැනුවත්ව නැතැයි දැනගන්නට ඇත.

විශ්වවිද්‍යාලවල ප්‍රධාන කාර්යභාරය විය යුත්තේ අරමුදල් මුළුමනින්ම වැයකර ශිෂ්‍යයාගේ අධ්‍යාපන කටයුතු සහ සුබසාධනය දියුණු කිරීම වුවද එයට නිසි ප්‍රමුඛත්වය ලබාදී නොමැති අතර ඉකුත් වසර 5 තුළදී සරසවිවලට ඇතුළු කර ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව සියයට 45 සිට 38.7 දක්වා සියයට 6.3කින් පහළ වැටී ඇතැයි වාර්තාව අනාවරණය කරයි.

දේශීය විශ්වවිද්‍යාලවලට 2011-01-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව විදේශීය සිසුන් බඳවා ගැනීමේදී විශාල ලෙස පුරප්පාඩු ඇතිව ඇති බවද පෙන්වා දෙයි. මේ පුරප්පාඩු අවුරුදු පතා වැඩි වී තිබේ.

අධ්‍යයන වර්ෂය    යෝජිත සංඛ්‍යාව    තෝරාගත් සංඛ්‍යාව    පුරප්පාඩු    ප්‍රතිශතය
2013/14    58    14    44    76
2014/15    18    09    09    50
2015/16    38    17    21    55
2016/17    53    05    48    91
2017/18    53    13    40    69
එකතුව    220    58    162    73

තෝරා ගන්නා විදේශ සිසුන් කොළඹින් බැහැර විශ්වවිද්‍යාලවලට ඇතුළත් නොවීම මෙයට හේතු වී ඇති අතර එම විශ්වවිද්‍යාලවල තත්ත්වය උසස් කිරීම, ප්‍රවාහන පහසුකම් වර්ධනය කිරීම සහ ආහාර පාන, සනීපාරක්ෂක පහසුකම් ආදිය ජාත්‍යන්තර ප්‍රමිති තත්ත්වයට පවත්වාගෙන නොයෑම මෙයට හේතු බව වාර්තාව කියයි.

එසේම විවිධ පාඨමාලා සඳහා වාර්ෂිකව දේශීය සිසුන් ඇතුළත් කිරීමේදී විශාල පුරප්පාඩු සංඛ්‍යාවක් නොපුරවා තබාගෙන ඇති බවද හෙළි වී තිබේ. සුදුසුකම් ලබන සිසුන් ඉඩ මදි යැයි ඇතුළත් නොකරන නමුත් නොපිරවූ පුරප්පාඩු තබාගැනීම විශාල අසාධාරණයක් වී තිබේ. පසුගිය වර්ෂ 5ක දේශීය සිසුන් ඇතුළත් කළ අන්දම මේ වගුවේ දැක්වේ.

අධ්‍යයන වර්ෂය    යෝජිත සංඛ්‍යාව    ලියාපදිංචි සංඛ්‍යාව    පුරප්පාඩු    ප්‍රතිශතය
2013/14    8,940    7,146    1,794    20
2014/15    7,940    6,525    1,455    18
2015/16    10,405    8,179    2,226    21
2016/17    10,318    9,580    738    07
2017/18    10,840    9,943    897    08

විශ්වවිද්‍යාල සඳහා සිසුන් ඇතුළත් කිරීමේදී විවිධ පාඨමාලා සඳහා සුදුසුකම් ලබන අය එම පාඨමාලාවලට ලියාපදිංචි නොවීම හේතුවෙන් ඇතිවන පුරප්පාඩු සඳහා තවදුරටත් අයැදුම්කරුවන් බඳවා නොගැනීම නිසා මෙම තත්ත්වය ඇතිවී තිබේ. 2013/14 අධ්‍යයන වර්ෂයට සාපේක්ෂව 2015/16 වර්ෂයේ එවැනි පුරප්පාඩු සංඛ්‍යාව 1794 සිට 2226 දක්වා ඉහළ නැග තිබූ බව වාර්තාව පෙන්වා දේ. විවිධ පාඨමාලා සඳහා සුදුසුකම් ලබන සිසුන් ලියාපදිංචි නොවීම, වෙනත් පාඨමාලාවලට මාරැවී යාම නිසා ඇතිවන පුරප්පාඩු නොපිරවීම නිසා 2016/17 හා 2017/18 අධ්‍යයන වර්ෂවල පුරප්පාඩු සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව කියැවේ.

2017 වසර සඳහා අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයට හිමිවන සප්ත වාර්ෂික නිවාඩු ලබාගෙන සිටි ආචාර්යවරුන් හා අනධ්‍යයන සාමාජිකයන් වෙනත් විශ්වවිද්‍යාලවල දේශන පැවැත්වීම සහ රාජකාරි කටයුතු සඳහා යොමු වී තිබේ. එහිදී සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ඉංජිනේරුවරයෙක් 2016 ජනවාරි 16 දින සිට වසර දෙකක නිවාඩු ලබාගෙන එම ආයතනයෙන් වැටුප් සහ දීමනා ලෙස රුපියල් 2,894,032ක් ලබාගෙන ඇති අතර කැලණිය සරසවියේද රාජකාරි කර රුපියල් 1,700,000ක් ලබාගෙන ඇති බවද හෙළිකරගෙන ඇත.

එසේම කොළම සරසවියේ ජ්‍යෙෂ්ඨ සහකාර මූල්‍යාධිකාරීවරයකු සප්ත වාර්ෂික නිවාඩු ලබාගෙන සිටියදී සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මාස 04ක් සේවය කර රුපියල් 71,792ක දීමනාවක් ලබාගෙන ඇති අතර ඔහුට කොළඹ විශ්වවිද්‍යාලයෙන් රුපියල් 565,294 ක වැටුප් හා දීමනාද ගෙවා ඇත.

කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් තිදෙනකු ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ එම කාලය තුළම සේවය කර රුපියල් 3,068,793ක දීමනා ලබාගෙන ඇති අතර ඔවුන් කොළඹ විශ්වවිද්‍යාලයෙන්ද රුපියල් 7,202,882ක් වැටුප් හා දීමනා ලෙස ලබාගෙන ඇතැයි කෝප් වාර්තා හෙළිකරයි.

සප්ත වාර්ෂික නිවාඩු කාලය තුළ වෙනත් විශ්වවිද්‍යාලයක පුරප්පාඩු සඳහා කොන්ත්‍රාත් පදනම මත හෝ පත්කළ හැකිවන්නේ නිලධාරියා වැටුප් රහිත නිවාඩු ලබාගෙන සිටී නම් පමණකි. එහෙත් කොළඹ විශ්වවිද්‍යාලයේ මූල්‍යාධිකාරී සප්ත වාර්ෂික නිවාඩු කාලය තුළ කොළඹ විශ්වවිද්‍යාලයේ මූල්‍යාධිකාරිවරිය එකම කාල පරිච්ඡේදය තුළ රුපියල් 2,328,598ක් සහ රුපියල් 1,731,280ක් ස්ථීර හා තාවකාලික නිලධාරීන් දෙදෙනකුට වැටුප් ලෙස ගෙවා තිබුණු බවද සොයාගෙන ඇත.
ආචාර්යවරුන්ට අධ්‍යයන කාර්යයන් පැවරීමේදී වැඩ පැවැරුම් (Work norm) ඉටුවන පරිදි අංශ ප්‍රධානීන් විසින් අධ්‍යයන කාලසටහන් වෙන්කර දී නොමැති බවද අනාවරණය විය. එක් එක් ආචාර්යවරයා පැවැත්වූ දේශන පැය ගණන් සහ ඔවුන්ට නියමිතව කාලසටහන්වල තිබූ පැය ගණන් සැසඳීමේදී ඇතැම් ආචාර්යවරැන් නියමිත පැය ගණන සම්පූර්ණ කර නොමැත. එවැනි අවස්ථා 5ක් පිළිබඳ වාර්තාවේ සඳහන් වන අතර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශකවරුන් 18ක ගෙන් 11 දෙනකු අවම පැය ගණන දේශන පවත්වා නොමැත. 

සති 15ක අධ්‍යයන කාලය තුළ විෂයයන් 22ක විෂය ආවරණය වීම සියයට 47 සිට සියයට 75 දක්වා අඩුව ඇත. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේද කථිකාචාර්යවරුන් නියමිත දේශන පැය ගණනින් සත්‍ය ලෙස ආවරණය කළ පැය ගණන් ප්‍රතිශතය 14 සිට 80 දක්වා පවතින බවද අනාවරණය වී ඇත.

කෝප් කමිටු වාර්තා පිළිබඳ වැඩිදුරටත් කරුණු පැහැදිලි කරන කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති:

මෙයට පෙර විශ්වවිද්‍යාලවල වාර්තා ගැන සාකච්ඡා කළේ වෙන වෙනම කැඳවලයි. ඒත් මෙවර තමා සියලුම විශ්වවිද්‍යාල එකට ගෙන සාකච්ඡා කළේ එවිට තමයි වෙන වාරවලට වඩා විශාල වශයෙන් ඌණතා හා අවිධිමත් දේවල් අනාවරණය වූයේ.

සිසුන් විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමේදී විශාල අඩුපාඩු සිදුව තිබෙනවා. පුරප්පාඩු තිබියදී අඩු සංඛ්‍යාවක් බඳවා ගැනීම විශාල අපරාධයක්. එහිදී ඔවුන්ට විශ්වවිද්‍යාලවලට ඇතුළුවීමේ අවස්ථා වුවමනාවෙන්ම අහිමි කරන බවක් පෙනෙනවා. භාණ්ඩාගාරයෙන් විශ්වවිද්‍යාලවලට ලැබෙන අරමුදල් අවශ්‍ය ව්‍යාපෘතිවල යොදවන්නේ නැතුව බැංකුවල තැන්පත් කරලා ආදායම් ලබනවා. ආණ්ඩුව සල්ලි දෙන්නේ බැංකුවල තැන්පත් කරන්න නොවෙයි. ශිෂ්‍යයන්ගේ පහසුකම් සැලසීමටයි. 
ඊළඟට පහසුකම් ඉල්ලලා ශිෂ්‍යයන් පෙළපාළි ගිය විට ඔවුන්ට කඳුළු ගෑස් සහ බැටන් ප්‍රහාරවලින් සලකනවා.

ශිෂ්‍යත්ව අරමුදල් ලැබුණත් ඒවා නිසි ලෙස පරිහරණය කරලා නැහැ. මියගිය අය වෙනුවෙන් ලැබුණු රුපියල් කෝටි 566ක් නිසියාකාරව ප්‍රයෝජනයට ගෙන නැහැ. ශිෂ්‍ය අගැයීම්, සමීක්ෂණ, වැඩමුළු පවත්වා පාඨමාලාවල ප්‍රමිතිය දියුණු කළ යුතු නමුත් එසේ කර නැහැ. ඇතැම් ආචාර්යවරුන් මුදල් අයථා ලෙස ලබාගැනීම කැපී පෙනෙනවා. දෙපැත්තකින් ගෙවීම් ලබා ගැනීම, තමන්ට හිමි නැති වැටුප් දීමනා හා වරප්‍රසාද ලබා ගැනීම දිගටම කෙරෙනවා. මේ ගෙවීම්වලට ඇතුළත අයත් සම්බන්ධයි. සොයා නොබලා තමා මේවා කරලා තියෙන්නේ.

එක් විශ්වවිද්‍යාලයකට අනුයුක්ත ප්‍රසිද්ධ ආචාර්යවරයෙක් වසර දෙකක්ම ආයතනයට නොපැමිණ වැටුප් ලබාගෙන ඇති බව අනාවරණය වුණා. ඔහුගේ පැමිණීම, දේශන කාලය ආදිය ගැන විධිමත් නිරීක්ෂණයක් සිදුකර නැහැ.
අමාත්‍යංශ ලේකම්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විශ්වවිද්‍යාල සනාතන සභා, පාලක මණ්ඩල ඉන්නේ මේවා සොයාබලන්නයි. එහෙත් එය නිසි ලෙස සිදුව නැහැ. ඇතැම් පිඨාධිපතිවරැන් මෙම අවිධිමත් ක්‍රියා ගැන දැනගන්නේ කෝප් කමිටු රැස්වීම්වල කතා කරන විටයි. එතෙක් ඒ අය මෙලෝ දෙයක් දන්නේ නැහැ.

මේ සියලු අඩුපාඩු නිසි ලෙස සොයාබලා විධිමත් කිරීමට කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව අප පෙන්වා දුන්නා. එසේ නොමැති නම් රාජ්‍ය මුදල් අවභාවිතය හා නාස්තිය අවම කිරීම මෙන්ම විශ්වවිද්‍යාලවල ප්‍රමිතිය ඉහළ නැංවීම අපහසු වෙනවා.

 

 යසවර්ධන රුද්රිගු