2019 නොවැම්බර් 16 වන සෙනසුරාදා

ලංකාවෙම පුරන් කුඹුරු අස්වද්දන දැදිගම නාලක

 2019 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 12:31 317

2020 යල කන්නයේදී අපි රටක් විදිහට එකතු වෙලා වැඩ කළොත් අපිට පුළුවන් වෙනවා අවුරුදු සියයකට පමණ ධාන්‍ය වර්ග අපේ රටේ ඉතිරි කරගන්න.”

කටින් බතල කොළ හිටවනවා වගේ කියන ප්‍රස්ථාව පිරුළ ලංකාවටම ආවේණිකව බිහිවූවක් බව හිතන්න වැඩි සාක්ෂි ඕන නෑ. එහෙව් මිනිස්සු ඉන්න රටක් මේක. එහෙව් රටක මෙහෙව් මිනිස්සුත් ඉන්න පුළුවන්ද? බැත කොහොමද බත වෙන්නේ? කිසිම කොන්දේසියක් නැතුව රට පුරා වී වපුරණ තරුණ ජවයක්!

මොකද්ද මේ වැඩේ?

රට වටා ඇති පුරන් කුඹුරු අස්වැද්දවීම.

කවුද කරන්නේ?

ලංකාවේ ගහට, කොළට සොබාදහමට ආදරය කරන කොල්ලෙක්.

කොහේ කෙනෙක්ද?

මෙරට හිටපු අගමැතිවරයකු වූ බත් දුන් පියා ලෙස අනුවර්ත නාමයෙන් හැඳින්වූ ඩඩ්ලි සේනානායක මහතා නියෝජනය කළ කෑගල්ල දැදිගම ප්‍රදේශයේ තරුණයෙක්.

මේ කතාවේ සරලම විස්තරය ඒකයි.

ස්වෙච්ඡා සංවිධානයක් ලෙස “ශ්‍රී ලංකාවේ පුරන් කුඹුරු අස්වද්දමු” යන තේමාව යටතේ ඔහු මේ වැඩසටහන ආරම්භ කරන්නේ මීට මාස කිහිපයකට පෙරදීය. නාලක සේනාධීර මේ වැඩේට මුලපිරුවේය. මේ සඳහා පිඹුරුපත් සකස් කරන්නෙත් පුරෝගාමී තරුණයා වන්නෙත් නාලක සේනාධීරයි. ඔහුගේ මේ ක්‍රියාව මේ වෙද්දී සාර්ථක මානයක් ඔස්සේ ගමන් කරමින් තිබේ.

“මනුස්සයෙක් විදිහට අපි ජීවත් වෙන කෙටි කාලය තුළදී ශ්‍රී ලංකාවේ සෑම නිවසකම අපේ රටේ නිෂ්පාදනය කළ බතක් ඉදෙන්නට සැලැස්වීම තමයි මගේ අරමුණ.”

දැඩි අධිෂ්ඨානයක් ගැබ් වී ඇති එම වදනත් සමඟින් කතාව ආරම්භ කළ 28 හැවිරිදි නාලක දිවි ගෙවන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ දැදිගම ගම්මානයෙහිය.

මේ වනවිට ඔහු සිය ගම්මානයේ තිබෙන අක්කර සියයක පමණ පුරන් කුඹුරු අස්වැද්දවීමට අවශ්‍ය ක්‍රියාකාරකම්වල නියැලෙමින් සිටියි. ඒ අතර රත්නපුර මෙන්ම කොළඹ අවට ප්‍රදේශ කිහිපයක තරුණ තරුණියන් ද මෙම කාර්යය සඳහා උනන්දු කර ඔවුන්ට විවිධාකාරයෙන් උපකාර කිරීමට නාලක ක්‍රියා කරයි.

“කෑගල්ල දැදිගම පැරකුම්බා විද්‍යාලයෙන් තමයි මම අධ්‍යාපනය හැදෑරුවේ. 2008 වර්ෂයේ ජාතික තරැණ සේවා සභාවේ නාට්‍ය පාසල නියෝජනය කළ ළාබලම සාමාජිකයත් මම. එයින් පසුව වේදිකා නාට්‍ය කිහිපයකම මම රඟපෑවා. ඒ අතරම කෙටි කතා පොතකුත් මම මේ වන විට එළිදක්වා තිබෙනවා. මගේ හිතේ පොඩි කාලේ ඉඳන් තිබුණ දෙයක් තමයි මේ රටට ගමට වැඩක් කරන්න ඕන කියන ආකල්පය. ඒ ආකල්පයේ ප්‍රතිඵලයක් තමයි අද මේ විදිහට ක්‍රියාත්මක වන්නේ.

ඒ වගේම තමයි මේක එකවරම ක්‍රියාත්මක කළ දෙයක් නෙවෙයි. මොකද අපි පාසල් ආවේ ගියේ මේ වෙල් ඉපනැලි මැද්දේ. ඒ නිසා ඒ කාලයේ ඉඳන්ම මේ ගමත්, වෙල් යායත් කියන එක මගේ සිතේ නිරන්තරයෙන්ම තිබුණා. මේකට යොමු වෙන්න බලපාපු ප්‍රධානම කාරණය තමයි දැදිගම මහ වෙල් යාය කන්න දෙකක් පුරන් වීම. ඒකට ප්‍රධාන හේතුව තමයි දැදිගම කිලෝමීටර තුනක ඇළ මාර්ගය අක්‍රීය වීම. නමුත් මිනිස් පැය 365කින් ඒ ඇළ මාර්ගය ප්‍රතිසංස්කරණය කර වතුර එන මට්ටමකට ගෙන ඒමට අපිට හැකි වුණා.

ඊටපස්සේ වැඩිහිටි ගොවියන්ගේ උපදෙස් ලැබුණා නැවත මේ කුඹුරු පුරන් නොවන විදිහට වැඩකටයුතු කරන්න. මේ ක්‍රියාව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ ශ්‍රී ලංකාව පුරා ඉන්න තරුණ තරුණියන් මෙයට සම්බන්ධ වීමට පටන්ගත්තා. එහෙම තමයි මේ ක්‍රියාවලිය ආරම්භ වුණේ. ඒ වගේම 2020 යල කන්නයේදී අපි රටක් විදිහට එකතු වෙලා වැඩ කළොත් අපිට පුළුවන් වෙනවා අවුරුදු සියයකට පමණ ධාන්‍ය වර්ග අපේ රටේ ඉතිරි කරගන්න. එහෙම ඉතිරි කරගැනීමේ පළවෙනි අදියර විදිහට අපි ලබන අවුරුද්දේ ජනවාරි පළවෙනිදා සිට දෙව්න්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා සියලු පුරන් කුඹුරු පිරිසිදු කර ප්‍රතිසංස්කරණය කර වැඩිහිටි ගොවියන්ට භාරදීම මගේ එක අරමුණක්.

මේ වෙනකොට පොළොවේ ගැටිලා ක්‍රියාකාරී ලෙස තරුණ තරුණියන් දෙසිය පනහක් පමණ මේ වැඩේට මුළු ලංකාව පුරාම එක්වී සිටිනවා. සමාජ මාධ්‍ය හරහා තමයි බොහෝ පිරිසක් මේ වැඩේට එක්වුණේ. දැන් තරුණයන් අතර මේ වෙනකොට මේක රැල්ලක් විදිහට ගිහින් තියෙනවා. ඒ වගේම තමයි මේ ව්‍යාපාරයෙන් කිසිදු මුදල් ඉපයීමේ පරමාර්ථයක් නැහැ. බොහෝ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මූල්‍යමය ආධාර මෙන්ම යන්ත්‍ර සූත්‍රවලින් පවා අපිට ආධාර කරනවා.

වැඩිහිටි ගොවියන් සමඟ එකතු වෙලා සාකච්ඡා කරලා මේක පුරන් වූ අවධියේ සිට අස්වැන්න ගොඩට ගැනීම දක්වාම මේ ක්‍රියාවලිය අපි සිදු කරනවා. ඒ වගේම තමයි මේ වගේ වැඩක් පටන්ගත්තම හැමදෙනාම කියන්නේ මේක යම් දේශපාලන අරමුණක් පෙරදැරි කරගෙන කරන වැඩක් කියලා. ඒ ගැන මට කියන්න තියෙන්නේ මේකයි. දේශපාලනය කියන්නේ අපි මේ දවස්වල කතා කළ යුතු දෙයක් නෙවෙයි. දේශය පාලනය ගැන නෙවෙයි දේශය කළමනාකරණය ගැනයි අපි කතා කළ යුත්තේ. මේ කිසිම දෙයක් දේශපාලන අරමුණක් ඇතුව කරන දේවල් නෙවෙයි. ශ්‍රී ලංකාව වෙනුවෙන් තරැණ පරපුරේ ජවය යොදවලා දවසකට එක පැයක් හරි මේ කුඹුරු ඇළදොළ ගංඟා වෙනුවෙන් වෙහෙසිලා වැඩක් කරන්න පුළුවන්නම් එය සමස්ත එකතුමුතු බවේ සලකුණක් වෙයි.

අද වනවිට බොහෝ දෙනා ගොවිතැනෙන් ඈත් වී සිටිනා කාලයක නාලකගේ මෙම ක්‍රියාව කාටත් ආදර්ශයක් සැපයීම බෙහෙවින් අගය කළ යුතුව ඇත.

► සටහන - හසිත් අංජන

 

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00