හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට යැයි කතාවට කියති. සැබැවින්ම එය ඇත්තක් බව දැනුණේ පසුගිය දිනවල සිදු වූ ඡන්ද ඔට්ටු සෙල්ලම් පිළිබඳ සොයා බැලීමේදීය. ඔට්ටු ඇල්ලීම පටන් ගන්නට ඇත්තේ දෙපාර්ශවයක් අතර තරගයක් ඇතිවූ මුල්ම අවස්ථාවේදී වන්නට පුළුවන. එහෙත් මේ වනවිට ඔට්ටු කෙළිය කොයි තරගයටත් ආදේශ වී ඇත.
මුල් යුගයේ ඡන්ද ඔට්ටුවක් යනු තම දේශපාලන පක්ෂය හා අපේක්ෂකයන් දිරිමත් කිරීමේ හා ඔවුන්ට සහය දීම පිණිස විරුද්ධ දේශපාලනික අදහස් දරන්නවුන් තම පක්ෂයට නතු කරගැනීමේ අපේක්ෂාවෙන් සිදු කළ ඒවාය. එවැනි ඔට්ටු අතර ප්‍රකට සිදුවීම් මෙන්ම අප්‍රකට සිදුවීම් ද එමටය.
ඡන්ද ඔට්ටු ඇල්ලීම මැතිවරණවලදී බහුලව දැකගත හැකි සිදුවීමක් බවට මේ වනවිට පත් වී ඇත. එහෙත් මීට දශක තුන හතරකට පෙර එවැනි ඡන්ද ඔට්ටු ඇල්ලුවේ තම පක්ෂයෙන් ඉදිරිපත් වන නියෝජිතයා දිනන පරදින බවටය. එහිදී ඒ ඔට්ටුව පරදින පුද්ගලයා අපහාසත්, උපහාසත් වන දඬුවමක් තම කැමැත්තෙන්ම සිදුකර ගැනීම සිදුවිය. පසුකාලීනව එය මුදලට සහ දේපලවලට ද අල්ලන ඔට්ටු බවට පෙරළී තිබුණත් සෙල්ලමක් හෝ සූදුවකට තිබුණේ නැත. එය කෙරැණේ තමන් වඩාත් ලැදි අපේක්ෂකයාගේ ජයග්‍රහණය දැකීමට තිබූ අභිලාෂය නිසාමය.
වර්ෂ 1977 පැවති රජය පරාජය වීමෙන් පසුව නිවිතිගල ප්‍රදේශයේ එක්තරා පක්ෂයකට ලැදි ප්‍රභූවරයකු විසින් නැවත කවදා හෝ තමන් ප්‍රිය කළ දේශපාලන පක්ෂය බලයට පත්වනතුරු තමන්ගේ රැවුල නොකපන බවට තනිව ඔට්ටුවක් ඇල්ලුවේය. ඒ අනුව ඔහුගේ රැවුල කැපීම සිදුවූයේ 1994 චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ නායකත්වය යටතේ පොදුජන පෙරමුණ රජය බිහිවීමෙන් පසුවය. එකල එම පුවතට ජනමාධ්‍ය ඔස්සේ ද විශාල ප්‍රතිචාරයක් ලැබිණ.
පසුගිය 2015 ජනාධිපතිවරණයේදී රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය එවකට ජනාධිපතිධූරය හොබවූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරන බවට සිය නිවස ඔට්ටු අල්ලන බවට එකල මැතිවරණ වේදිකාවලදී පැවසීය.
2010 ජනාධිපතිවරණයෙන් විපක්ෂයේ අපේක්ෂකයා ජයගන්නා බවට ඔට්ටු අල්ලා පරාජය වූ එ.ජා.ප. සාමාජිකයකු හිසෙන් අඩක් මුඩු කරගෙන මහ පාර දිගේ ඇවිද යමින් සිය පොරොන්දුව ඉටු කළේය.
කුවිතාන්සියකට අත්සන් තබා පොරොන්දු වූ පරිදි වැලහපොල හටන්ගත පදිංචිකරුවකු මේ අපූරු ඔට්ටුව ක්‍රියාත්මක කළේ සියගණනක් දෙනා බලා සිටියදීය.
පෙර මැතිවරණවල මෙන්ම මෙවර ජනාධිපතිවරණයේ ද ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා ජයග්‍රහණය කරනා බවට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ඔට්ටු ඇල්ලීම් පිළිබඳව වාර්තා විය. සිය ජනාධිපති අපේක්ෂකයාගේ ජයග්‍රහණය පිළිබඳව ප්‍රාදේශීය සභා මන්ත්‍රී ධූරයක් ඔට්ටු ඇල්ලීමේ සිදුවීමක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා විය.
සිද්ධිය සැකවින් මෙසේය.
අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන කිංස්ලි වීරසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පී.ඩී. ලක්සරැ මහතා එකඟතාවයකට පැමිණ තිබුණේ තම පක්ෂයට සම්බන්ධ අපේක්ෂකයා ජය නොගතහොත් ප්‍රාදේශීය සභා මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවටයි.
මැතිවරණ ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කිංස්ලි වීරසිංහ මහතා ජයගත් අතර එයින් පරාජයට පත් වූ පී. ඩී. ලක්සරැ මහතා සිය මන්ත්‍රී ධූරයෙන් ඉවත් වීම සඳහා මේ වනවිටත් පක්ෂ මූලස්ථානයට සිය ලිපිය යොමු කර ඇත.
එම ඔට්ටුව අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනාගෙන්ම මේ පිළිබඳව දේශයේ අපි විමසීමක් කළෙමු.
ජනතාව කියනවා ආයෙත් දේශපාලනයට එන්නලු...
පී.ඩී. ලක්සරු - එජාප ප්‍රාදේශීය සභා මන්ත්‍රී (අම්බලන්ගොඩ)
මම මේ මැතිවරණයෙන් ලද පරාජයත් සමඟම අල්ලන ලද එම ඔට්ටුවට අනුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී ධූරයෙන් ඉවත් වීමේ ලිපිය අපේ පක්ෂය වෙත යොමු කර තිබෙනවා. විශේෂයෙන්ම කියන්න ඕන ඇතැම් පුද්ගලයන් මෙවැනි ඔට්ටු ඇල්ලුවත් ඒවා ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඔවුන් කෙරෙහි ජනතාව තුළ තිබෙන්නේ අප්‍රසාදයක්.
මට ජනතාව අතර එහෙම වෙන්න ඕන නැහැ. මම මන්ත්‍රී ධූරයෙන් ඉවත් වීමත් සමඟම ඒ අභියෝගය ජයගත් කිංස්ලි මන්ත්‍රීතුමා, ප්‍රදේශයේ ජනතාව නැවතත් මට ක්‍රියාකාරී දේශපාලනයේ නියැලෙන ලෙස ඉල්ලීමක් කළා. නමුත් මම ඒ පිළිබඳව තාමත් තීරණයක් ගෙන නැහැ.
ඔට්ටු පැරදුණාට කමක් නෑ ආයෙත් එන්න...
කිංස්ලි වීරසිංහ - පොදුජන පෙරමුණ ප්‍රාදේශීය සභා මන්ත්‍රී (අම්බලන්ගොඩ)
මේ මාසේ 11 වැනිදා පැවති සැසි වාරයේදී එක්සත් ජාතික පක්ෂයෙන් අභියෝගයක් ආවා. නමුත් සභාව තුළදී මම එය භාරගත්තේ නැහැ. සභාවේ කටයුතු අවසන් වෙලා එළියට පැමිණි වහාම මම පොදුජන පෙරමුණ වෙනුවෙන් ඒ අභියෝගය බාරගත්තා. එම ඔට්ටුවෙන් කියැවුණේ පොදුජන පෙරමුණෙහි ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගතහොත් එජාප මන්ත්‍රී ලක්සරු මහතා සිය මන්ත්‍රී ධූරයෙන් ඉවත් වන බවත්, එජාප අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජයගතහොත් මම මන්ත්‍රී ධූරයෙන් ඉවත් වන හැටියටත්.
මෙම ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජය ගැනීමත් සමඟම සක්සරැ මහතා සිය පොරොන්දුව ඉටු කරමින් තමන්ගේ මන්ත්‍රී ධූරයෙන් ඉවත් වුණා. එතුමා එම පොරොන්දුව පොරොන්දුවක් පරිදි ඉටු කිරීම ගැන සතුටු වෙනවා. නමුත් මම එතුමාට නැවත ආරාධනා කළා ඊළඟ සැසි වාරයට සහභාගී වී මන්ත්‍රී පදවියේ සිට ජනතාවට සේවය ලබා දෙන ලෙසට. මොකද අපි කවුරැත් ඇවිත් තියෙන්නේ මේ ජනතාවට සේවය කරන්න. ඒ නිසා මේ මන්ත්‍රී ධූරයේ නැවත කටයුතු කරන ලෙස මම එතුමාගෙන් ඉල්ලා සිටිනවා.
I සටහන - හසිත් අංජන