2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා

අද හුඟ දෙනෙක් ලියන්නේ පණ බයේ

 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 293

- මහාචාර්ය ජේ.බී. දිසානායක

ප්‍රවීණ ලේඛක හා දේශය මාධ්‍යවේදී යසවර්ධන රුද්‍රිගුගේ යසයාගේ වාක්කිය ඇතුළු කෘති පහක් නිකුත් කිරීම හා ලේඛක දිවියට අඩ සියවසක් සපිරීම වෙනුවෙන් විශේෂ උත්සවයක් කොළඹ මහවැලි කේන්ද්‍රයේ දී පැවැත්විණි. එහිදී සම්මානිත මහාචාර්ය ජේ.බී. දිසානායක පැවත්වූ දේශනය ඇසුරෙන් මෙම ලිපිය සකස් කෙරිණි. 

යසයාගේ වාක්කිය කියන්නේ රසවත් තීරු ලිපි එකතුවක්. මෙම පොත ලියා තිබෙන්නේ එක් ක්‍රියා පදයක් අරගෙන ඒක ඔස්සේ දිගටම ගමන් කිරීමෙන්. මමත් ඒ විදිහේ තීරු ලිපි ලියා තිබෙනවා. සිංහල සමාජය සාක්ෂර සමාජයක්. ඒ කියන්නේ අකුරැ දන්නා සමාජයක්. එහෙම නැති අයත් ඉන්නවා. හැබැයි කලාතුරකින්. ඒ අයට මළපොතේ අකුරක්වත් බෑ.

එවැනි අයට වැඩ පවරන්න බෑ. වැඩ දන්න අයයි ලියන්නේ. නොයෙක් දේවල් ලියන අය ඉන්නවා. කාර්යාලවල ලියන්නේ ලිපිකරැවෝ. අනෙක් ලියන්නො තමයි ලේඛන කලාව දන්නා ලේඛකයෝ. ලේඛකයා කියන්නේ සමාජය වෙනස් කරන කෙනෙක්. අපේ යසයාත් අයිති ඒ පරම්පරාවට. මමත් ඒ පරම්පරාවෙ කෙනෙක්.

ඈත අතීතයට ගියොත් අපට අභිමානයක් එක්ක ලේඛක ඉතිහාසයක් තිබෙනවා. අපේ පුරාණ ලේඛක පරම්පරාව බහුපෝෂිතයි. ඒගොල්ල සංස්කෘත, ප්‍රකෘත, පාලි, සිංහල දැන සිටියා. ඒ කාලෙ ඉංග්‍රීසි තිබුණෙ නැති නිසා ඉංග්‍රීසි නම් දන්නෙ නෑ. පුරාණයේ සිටි හුඟක් ලේඛකයෝ හාමුදුරුවරු නිසා උන්වහන්සේලා බුදුන් වහන්සේ බණ දෙසුවේ මාගධී භාෂාවෙන් බව දැන සිටියා. නමුත් මාගධී භාෂාවට අකුරු නෑ. පාලි භාෂාවටත් අක්ෂර නෑ. පාලි භාෂාවෙන් තිබුණු ත්‍රිපිටකය මාතලේ ආලෝක විහාරයේ දී හෙළ බසට නැගුවේ හාමුදුරුවරු. එලෙස බුදුන් වහන්සේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ සූත්‍ර ධර්ම මුල්වරට සිංහල අකුරේන් පුස්කොළවල ලිව්වා.

පාලි භාෂාවෙන් අපේ උගත් හාමුදුරුවරු කළ වැඩ අසිරිමත්. මහාවංශය, දීපවංශය වගේ වංශ කතා ලිව්වේ පාලියෙන්. සිංහල අකුරෙන්. ඒ වගේ විශිෂ්ට වංශ කතා ලෝකේ කොහේවත් නෑ. ඉන්දියාවෙවත් නෑ. පස්සේ වෙන වෙන වංශ කතා ලිව්වා, බුද්ධ වංශය, බෝධි වංශය, දාඨා වංශය වගේ. උන්වහන්සේලා ජාතික කතා කියවා ඒවාට අට්ඨ කතා ලිව්වා, සම්මෝහ විනෝදනී, අත්ථසාලිනී වගේ නම්වලින්. සිංහල ලේඛකයෝ පාලියෙන් වගේම සංස්කෘත භාෂාවෙන් ලිව්වා. අනුරාධපුර යුගයේ රජකම් කළ කුමාරදාස රජ්ජුරැවෝ සංස්කෘත භාෂාවෙන් ජානකීහරණය කාව්‍යය ලිව්වා. සමහරැ කියනවා ඒක රාමායනයටත් වඩා උසස් කෘතියක් කියලා. තවත් රජ කෙනෙක් කාව්‍යාදර්ශය කියන පොත සිංහලයට පෙරළුවා.

ජේතවනාරාමයේ කැණීම්වලින් සංස්කෘත භාෂාවෙන් ලියපු ප්‍රඥා පාරමිතා සූත්‍රය ඇතුළත් රන්පත් ඉරු හමුවුණා. අපේ ලේඛකයෝ බහු භාෂිතයි. අද ඉන්න සමහර ලේඛකයන්ට නම් සිංහලවත් හරියට ලියාගන්න බෑ. එදා හිටියේ හොඳ නිර්මාණාත්මක ලේඛක පිරිසක්. ඔවුන් භාෂාව වෙනස් කළා. ඇ, ඈ කියන දෙක හැදුවා. ඒක පාලියේ නෑ. සඤ්ඤක හතරක් එකතු කළා, හඬ. අඹ, සුවඳ වගේ යෙදුම්වලට උපයෝගී කර ගැනීමට.

සීගිරි ගී ලිව්වේ 6-7 සියවස්වල. ඒ කාලෙ අපේ ලේඛකයො ලෝකයේ වෙන කිසිම හෝඩියක නැති අක්ෂර නිපදවූවා. ඒ පරම්පරාව අභීත නිර්භය පරම්පරාවක්. ලෝකයේ වෙන කිසිම භාෂාවක කවි ලිවීමට පමණක් වෙන්වූ භාෂා රටාවක් නෑ. අපේ සිංහල භාෂාවෙ ඒක තියෙනවා. කව්ලැකිය කියන්නේ ඒකටයි. ගද්‍යයෙන් ලිවීමට නිර්මාණය කළේ ලෙව්ලැකියයි. අපි සංස්කෘත හා පාලි බැහැර කරලා අපේම භාෂාවක් හැදුවා. අපේ අභීත ලේඛක පරම්පරාව එසේ මෙසේ අය නොවේ.

ඉරු, ඉලු කියන අක්ෂර දෙකත් අපේ හෝඩියේ තිබෙනවා. කිසිම වැඩක් නෑ. ඒ දෙක භාෂාවෙන් අයින් කරන්න කෙනෙක් නෑ. අපි ෆ අකුර හැදුවා. ආණ්ඩුවේ හෝඩියේ ප්‍රඥාව ලියන්න අවශ්‍ය ඥ අකුර නෑ. අද වැඩි දෙනෙක් පණ බයේ ඉන්නේ. අවශ්‍ය අවස්ථාවලදී පවා භාෂාව වෙනස් කරන්න බයයි.

 පාඨක