2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා

රෝයල් පාක් චූදිතයාට හිමි වූ ජනාධිපති සමාව

 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 91

කොළඹ රාජගිරියේ පිහිටි රෝයල් පාක් නිවාස සංකීර්ණයේදී ස්වීඩන් ජාතික ඉවෝන් ජොන්සන් නමැති 19 හැවිරිදි තරුණිය ඝාතනය කළ ජූඩ් ශ්‍රමන්ත ඇන්තනි ජයමහ නමැති තරුණයාට ජනාධිපති සමාව හිමිවීම සම්බන්ධයෙන් විශාල ආන්දෝලනයක් ඇති වී තිබේ. වැඩි පිරිසකගේ මතය වී ඇත්තේ ඔහුට ජනාධිපති සමාව හිමිවීම අසාධාරණ බවයි. ඉවෝන් ජොන්සන් ඝාතනය කෙරුණේ 2005 වසරේය. ඝාතකයා වූ ජූඩ් ශ්‍රමන්ත ඇන්තනි ජයමහ ඇයගේ සොහොයුරියගේ පෙම්වතා විය. එවක 19 හැවිරිදි තරුණයකු වූ ඔහු කොළඹ ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය ලද්දෙක් විය.

ස්වීඩන් ජාතික පියකුගේ හා ශ්‍රී ලාංකික මවකගේ දියණියක වූ ඇය ඉවෝන් මරාදමා තිබුණේ ඇය ඇඳ සිටි ඇඳුමකින් ගෙල සිර කිරීමෙන් හා හිස පොළොවේ ඇනීමෙනි. එය කෙතරම් දරුණු ද යත් ඇයගේ හිස් කබලේ බිඳීම් 64ක් තිබූ බව මරණ පරීක්ෂණ වාර්තාවෙන් අනාවරණ විය. මිනීමැරුම් චෝදනාව යටතේ ජූඩ් ශ්‍රමන්ත අත්අඩංගුවට ගනු ලැබීය. නඩු විභාගය කොළඹ මහාධිකරණයේ වසරකුත් දින 12ක කාලයක් පුරා පැවතියේය. ඉවෝන් ජොන්සන් මරා දැමීමට විත්තිකරු සැලසුම් කර නොමැති වුවද මිය ගිය තැනැත්තියගේ සිරුරේ වූ තුවාල අනුව ඇය මරණයට පත්විය හැකිය යන හැඟීමක් විත්තිකරු තුළ ඇතිවන්නට ඇතැයි විනිසුරුවරයා නිගමනය කර තිබිණි. විත්තිකරැගේ වයස හා වසරකට අධික කාලයක් රිමාන්ඩ් භාරයේ සිටීම සැලකිල්ලට ගත් විනිසුරැවරයා  2012 වර්ෂයේදී ඔහු 12 වසරක සිර දඬුවමකට හා ලක්ෂ 3ක දඩයකට යටත් කළේය.

මහාධිකරණ තීන්දුව සම්බන්ධයෙන් අභියාචනා දෙකක් ඉදිරිපත් විය. විත්තිකරුට නියම කරන ලද සිර දඬුවම ඉවත් කරන ලෙසට ජූඩ් ශ්‍රමන්තගේ මව්පියන් විසින්ද, ඔහුට නියම කළ දඬුවම ප්‍රමාණවත් නොවන බව පවසමින් නීතිපතිවරයාද අභියාචනාධිකරණයට එම අභියාචනා  ඉදිරිපත් කර තිබිණි. දීර්ඝ කාලයක් පැවැති නඩු විභාගය අවසානයේ ජූඩ් ශ්‍රමන්තට මරණ දඬුවම පැමිණවීමට අභියාචනා අධිකරණය තීන්දු කළේය.

එම තීන්දුවට එරෙහිව විත්ති පාර්ශ්වය ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළද. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව වූයේ ද ඔහුට මරණ දඬුවම හිමිවිය යුතු බවටය. එමෙන්ම මහාධිකරණයට පමණක් නොව අභියාචනාධිකරණයට ද මරණ දඬුවම පැනවිය හැකි බවට 2014 වර්ෂයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික තීන්දුවක්ද ලබා දුන්නේය. 2016 වසරේ විශේෂ ජනාධිපති සමාවක්‌ යටතේ ජූඩ් ශ‍්‍රමන්තගේ මරණ දඬුවම, ජීවිතාන්ත සිරදඬුවමක් ලෙසට ලිහිල් කරනු ලැබීය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා ජූඩ් ශ්‍රමන්තගේ ජීවිතාන්ත සිරදඬුවම අහෝසි කොට ජනාධිපති සමාව යටතේ ඔහු නිදහස් කළේ මේ අතරය. තමා එම තරැණයාට සමාව දීමට සලකා බලන්නේ යැයි නිදහස් කිරීමට පෙර ජනාධිපතිවරයා කියා තිබිණි. “මේ සිද්ධිය සම්බන්ධයෙන් සිරගත වෙලා ඉන්න ළමයාගේ පාර්ශ්වයෙන් මට ඉල්ලීමක් ආවා ජනාධිපති සමාව යටතේ ඔහුව නිදහස් කර දෙන්න කියලා. සිරගෙදර දී ඔහු යහපත් කල් ක්‍රියාවෙන් සිටි නිසා මම මේ ඉල්ලීම ගැන සලකා බලනවා. ඉවසීම නැති නිසා වූ සිද්ධියක් මත සිරගත වෙනකොට ඔහුට වයස 19යි. ඔහු එම තරුණිය සමඟ වාදයක පැටලිලා අවසානේ ඇයව ඝාතනය කළා. ඔහු මේ වන විට ආචාර්ය උපාධියකුත් සම්පූර්ණ කරලා තියෙනවා, මම හිතන්නේ දැන් ඔහුට වයස 32ක්,” යැයි පසුගිය ඔක්තෝබර් 20 කොළඹ පැවැති සමුළුවකදී ජනාධිපතිවරයා කියා තිබිණි.

ජූඩ් ශ්‍රමන්තට ජනාධිපති සමාව හිමිවීම සම්බන්ධයෙන් ඝාතනය වූ ඉවෝන්ගේ සොහොයුරිය වන කැරොලයින් ජොන්සන් තම ෆේස් බුක් ගිණුමේ මෙලෙස සටහනක් තබා තිබුණාය.

“මගේ සොහොයුරිය සාහසික ලෙස මරා දැමීමෙන් පසු අපගේ ජීවිත කනපිට හැරුණා. අවමඟුලට සහභාගී වූ සැම ඇයගේ දේහය මිහිදන් කරනු දුටුවා. ඇයත් සමඟ මාත් වැළලී ගියා. මගේ මව සහ පියා. අපේ ජීවිත යළි ගොඩනගා ගැනීමට සෑහෙන උත්සහයක් ගත්තා. වසර 15කට පසුවත් අපට  යුක්තිය උදෙසා සටක් කිරීමට සිදුවී තිබෙනවා. දැන් අපට තවත් අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දීමට සිදුව තිබෙනවා ඒ මගේ සහෝදරියගේ මිනීමරුවාට සමාව දීමයි. යුක්තිය ජය ගනු ඇතැයි අප සිතනවා.”

ජනාධිපති සිරිසේන මහතා ජූඩ් ශ්‍රමන්තට සමාව ලබාදුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි වගන්තිය යටතේය.  34 වගන්තියේ (1) අනු වගන්තිය යටතේ ශ්‍රී ලංකාවේ කවර හෝ අධිකරණයක තීන්දුවක් යටතේ හෝ වරදකරුවකු කරන ලද පුද්ගලයකුට සමාවක් ලබා දීමට ජනාධිපතිවරයාට බලය පැවරේ. එමෙන්ම, වරදකරුට ලබා දෙන්නේ සම්පූර්ණ සමාවක් ද නැතහොත් නීත්‍යානුකූල කොන්දේසි සහිත සමාවක්ද යන්නත් ජනාධිපතිවරයාට තීරණය කළ හැකිය.

අදාළ වරදකරුට නියම කර ඇති දඬුවම වෙනුවට ලිහිල් දඬුවමක් නියම කිරීමට හෝ නියම කරන ලද දඬුවම මුළුමනින්ම නිශ්ප්‍රභ කිරීමටද ජනාධිපතිවරයෙකුට ව්‍යවස්ථාවෙන් බලය හිමි වී තිබේ. අධිකරණයකින් මරණ දඬුවම නියම වූ පුද්ගලයකුට සමාව ලබාදීමේදී 34 (ඈ) වගන්තිය යටතේ ජනාධිපතිවරයාට යම් සීමා පනවා තිබේ. එවන් පුද්ගලයකු නිදහස් කිරීමට පෙර අදාළ නඩුව විභාග කළ විනිසුරැගෙන් වාර්තාවක් ගත යුතුය. එමෙන්ම ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් හා අධිකරණ අමාත්‍යාංශයෙන් උපදෙස් ගත යුතු බව සඳහන් කර ඇත.

ජූඩ් ශ්‍රමන්තට ජනාධිපති සමාව හිමිවීමත් සමඟ මරණ දඬුවම නියමවී සිටින ඇතැම් සිරකරුවෝ තමන්ට ජනාධිපති සමාව ලබා දෙන ලෙසට ඉල්ලමින් උපවාසවල නිරත වූහ. කොළඹ වැලිකඩ බන්ධනාගාරයේ පමණක් මරණ දඬුවම හිමි වූ චූදියන් 1000කට අධික පිරිසක් සිටින බව පැවසේ. ඇතැම් පිරිස් වසර 28, 30 පමණ කාලයක් සිරගෙදර ගත කළවුන්ය. ඔවුන්ද තමන් ජනාධිපති සමාවක් දෙන ලෙසට ආයාචනා කර තිබේ. ජූඩ් ශ්‍රමන්ත ධනවත් පවුලක තරුණයකු හෙයින් ඔහුට ජනාධිපති සමාව හිමි වූ බවට රාවයක් පැතිර ගියේය. එය සත්‍යයක් වුවද, නොවූවද දැන් ඔහු නිදහස ලබා තිබේ.

“මෙම සිදුවීම වන විට මගේ වයස අවුරුදු 19යි. දැන් මට අවුරුදු 34ක්. මගේ තරුණ දිවිය ගෙවුණේ අඩි 6X8 කුටියකයි. දිනකට පැය 12ක් මාව හිරකරලා තිබුණා. මා හිරැඑළිය දුටුවේ දිනකට විනාඩි 30යි. මම නිදාගත්තේ බිම. එය මගේ ජීවිතයේ අඳුරුතම කාලයක්. ජොන්සන් පවුලට සිදු වූ දේ පිළිබඳව කනගාටුව ප්‍රකාශ කරන්න මට වචන නෑ. කිසිවකුට හානියක් කිරීමේ අදහසක් මට තිබුණේ නෑ” යනුවෙන් නිදහස ලද ජූඩ් ශ්‍රමන්ත ප්‍රකාශ කර තිබේ.

ජූඩ් ශ්‍රමන්තට සමාව දීමට ප්‍රථම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවස්ථා දෙකකදී චූදියන් දෙදෙනකුට සමාව දී තිබේ. ඉන් එක් අයෙක් තමා ඝාතනය කිරීමට පැමිණියා යැයි පැවසෙන එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකි. දෙවැනි අවස්ථාව හිමිවූයේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ටය.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා